lakbima.lk

මහින්දගේ නමත් පැටළුණ ඉරාන ජාතිකයාගේ ඩොලර් මල්ල

කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය කවදත් කාර්ය බහුලය. එහි නිලධාරීහු කොහොමටත් සිටින්නේ උකුසු ඇස් දල්වා ගෙනය. ඊට හේතුව නීති විරෝධීව මෙරටින් ගෙන යන භාණ්ඩ ප්‍රවාහන දිනෙන් දින ඉහළ යෑමය. එලෙස උකුසු ඇස් දල්වාගෙන සිටි නිලධාරියෙකුට පසුගිය දා රටින් පිටවීමට එන මගියෙකු පිළිබඳ සැකයක් ඇති විය. කඩිමුඩියේ පිටවීමේ පර්යන්තයෙන් පිටට යෑමට එන මගියා නතර කරගත් ඔහු ගුවන් ප්‍රවේශපත්‍රය ඇතුළු ‍ලේඛන පරීක්ෂාව ඇරඹුවේය. ඒ කිසිවක අඩුපාඩුවක් දැකගන්නට නොවීය. අමුත්තා පිටව යෑමට සිය බෑගය අතට ගත්තේය. ඒ සැණින් මගියා නතර කළ නිලධාරියා ඔහුගේ ගමන් මල්ල විවෘත කරන්නැයි දන්වා සිටියේය.
මගියාගේ මුහුණ වෙනස්වන ආකාරය දුටු ගුවන්තොටුපළ නිලධාරීහු වහා ඔහු වටකරගත්හ. ඉරාන ජාතිකයෙකු වූ මගියා නොකැමැත්තෙන් මෙන් විවර කළ මල්‍ලේ වූ පැසක් තුළ බහා තිබුණේ අලුත්ම ඩොලර් නෝට්ටු තොගයකි. ගණනින් 53455ක්වූ එම ඩොලර් තොගය ශ්‍රී ලංකාවෙන් පිටකිරීමට නිශ්චිත ක්‍රමවේදයක් ඔහු අනුගමනය කර නොතිබූ හෙයින් රේගු නීතිය අනුව සියලුම මුදල් රාජසන්තක විය.
එහෙත් එම සිදුවීමෙන්  දින දෙකක් තුනක් ගත වෙද්දී ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවූයේ අමුතුම කතාවකි. ඒ ඉරාන ජාතික මගියා සතුව තිබි රේගුව මගින් රාජසන්තක කළ එකී මුළු මුදලම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව යළි මුදාහැර ඇති බවයි. එපමණක්ද නොව මෙම මුදල රැගෙන රටින් පිටවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයා උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ සේවකයෙකු බවත් ඔහු මෙරටින් රැගෙන යෑමට උත්සාහ කළ ඇමෙරිකානු ඩොලර් 53455ක මුදල ඔහු ලද වැටුප බවද වාර්තා විය.
ඒ සමගම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ කරුණ වූයේ මෙරටින් මුදල් කොපමණ ප්‍රමාණයක් රැගෙන යෑමට විදේශිකයෙකුට හැකිද යන්නයි. ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව විවිධාකාරවූ මත පළකළද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනුයේ ශ්‍රී ලාංකිකයෙකු වුවත් විදේශිකයෙකු වුවත් විදෙස් ගතවීමකදී රැගෙන යා හැකි උපරිම මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 10,000ක් බවයි. ඊට වඩා මුදලක් රැගෙන යන්නේ නම් ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශනයක් කර තිබිය යුතුයි. බැංකුවකින් එම මුදල ලබා ගත්තේ නම් ඒ බව ගුවන් බලපත්‍රයේ සඳහන් කළ යුතුමයි. එසේ නොකර ලංකාවෙන් පිටතට මුදල් රැගෙන යෑම නීති විරෝධීයි. වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු ප්‍රකාශකයෙකු අප සමග පැවැසීය.

කෙසේ වෙතත් සංචාරයක් සඳහා නික්ම යන්නෙකුට සංචාරය කරන රටේ දුර හා ඊට වැයවෙන කාලසීමාව සලකා ගෙන යෑ හැකි මුදල වෙනස්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
මෙවැනි සිදුවීම්වලට නිතර දෙවේ‍ලේ මුහුණ දෙන ගුවන් තොටුපළ රේගු ඒකකයෙන්ද අපි මේ ගැටලුව පිළිබඳ විමසා සිටියෙමු. ඔවුන්ද පවසා සිටියේ ඇමෙරිකානු ඩොලර් 10,000 ඉක්මවා රැගෙන යෑම නීති විරෝධී බවයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයෙකු විදේශ ගතවීමකදී විදේශ විනිමය නොවන ශ්‍රී ලංකා රුපියල් 20,000ක මුදලක්ද රැගෙන යා හැකි බවද එහිදී දැනගත හැකි විය.
රටින් පිටව යන විදේශිකයෙකුට සිය වැටුප රැගෙන යෑ නොහැකිදැයි අනතුරුව අපි විමසා සිටියෙමු. වැටුප රැගෙන යන්නේ නම් එය බැංකුගත කර රැගෙන යා යුතු බවත් ගුවන්තොටුපළ රේගු ඒකකයේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් පවසා සිටියේය.

එවන් නීතියක් රටේ පවතිද්දී අග්‍රාමාත්‍යවරයා මෙන්ම රටේ මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ විසින් පෙර සඳහන් ඉරාන ජාතිකයාගේ ඇමෙරිකන් ඩොලර් 53,455/- මුදා හරින්නට රේගුවට නියෝග කළේ ඇයිදැයි යන සැකය බොහෝ දෙනෙකු තුළ ඇතිව තිබේ. වෙනකක් තබා එකී මුදල මුදා හැරීම සම්බන්ධ ගැටලුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන තරමට දුරදිග යන ලදී. පසුගිය 26දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකර ඇත්තේ එබැවිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.එම්. මරික්කාර්ගේ එකී ප්‍රශ්න කිරීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමක් කිරීමට පවා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට සිදුවිය. ඒ අනුව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉරාන ජාතිකයා සතු ඇමෙරිකානු ඩොලර් 53,455 ක මුදල නිදහස් කිරීමට නියෝග කොට ඇත්තේ ශ්‍රී ලංකා රේගු ආඥා පනතේ 164වැනි වගන්තිය ප්‍රකාර මුදල් විෂය භාර අමාත්‍යවරයාට පැවැරී ඇති බලතල අනුව බව පැහැදිලි කොට තිබේ. එපමණක්ද නොව පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම ඉරාන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිට මෙලෙස මුදල් රැගෙන යෑමට ගොස් ගුවන්තොටුපළේදී කොටුවූ බවත්, එම නිවේදනයේ සඳහන් වෙයි. පසුගිය ජුනි මාසයේදීද. උමාඔය ව්‍යාපෘතියේ ඉරාන ජාතිකයෙකු මෙලෙස විශාල ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් නීතිවිරෝධීව රටින් පිටකිරීමට ගොස් හසුවූ බවත් එවකට සිටි මුදල් අමාත්‍යවරයකු විසින්ද එකී මුදල මුදාහැරීමට නියෝග කළ බවත් වාර්තා වේ.

මේ අනුව අප සොයා බැලූ ඊළඟ කාරණාව වූයේ ඉරාන ජාතිකයන් විසින්ම මෙලෙස මුදල් නීතිවිරෝධීව රැගෙන යන්නේ ඇයිද යන්නයි. එහිදී දැකගත හැකි වූයේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සෘජු බැංකු සබඳතා නොමැති වීම ඊට ප්‍රධාන හේතුව බවයි. එකී තත්ත්වය සලකා බලන විට ඉරාන ජාතිකයන් තම මාසික වැටුප තම මව්රටට රැගෙන යෑමට උත්සාහ කිරීම මානුෂිකව සලකා බලා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරුන් කටයුතු කරනා බව පෙනෙන්නට තිබේ. අනෙක් අතට තානාපති කාර්යාල මට්ටමින් කෙරෙනා මෙවැනි ඉල්ලීම් පිළිබඳ සානුකම්පිතව සලකා බැලීම රටක අමාත්‍යවරයෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකි බවද පිළිගත යුතු තර්කයකි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද මෙරටින් රැගෙන යන ඩොලර් නිසා පමණක් නොව රුපියල් නිසාද ගැටලු මතුවූ අවස්ථා එමටය. වරක් දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකිකයන් එහි සිද්ධස්ථානවලට දමන පඬුරු නිසා බරපතළ ගැටලුවක් මතුවිය. එකී කාසි නේපාල රුපියල්වලට මාරු කිරීමට අසීරුවීම එම ගැටලුවටයි. අවසාන එම පඬුරු කාසි පෙරලා ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සාහ කළද එහි බර නිසා ගෙවිය යුතු ගුවන් ගාස්තුව සලකා එකී මුදල් එරටදීම වරින්වර මාරු කිරීමටත් පඬුරු දමන්නේ නම් නේපාල කාසි හෝ ඉන්දීය රුපියල් භාවිතා කරන මෙන් ඉල්ලා සිටීමටත් දෙරටේම නිලධාරීන්ට සිදුවිය.

වරක් එංගලන්තයේද ශ්‍රී ලංකාවේ කාසි නිසා මහත් අකරතැබ්බයක් සිදුවිය. ඒ මෙරටට එන බ්‍රිතාන්‍ය ජාතිකයෙක් රැගෙන ආ රුපියල් පහේ කාසි යෙදූ එරට ස්වයං සේවා පාරිභෝගික යන්ත්‍රවලින් විවිධ බඩු භාණ්ඩ ලබා ගැනීමය. ඊට හේතුව ශ්‍රී ලංකාවේ රුපියල් පහ බරෙන් එංගලන්තයේ ස්ටර්ලින් පවුමකට සෑම අතින්ම සමාන වීමය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රුපියල් පහේ කාසියකට පවුමක බඩු ගන්නට ලැබිම සුද්දන්ට වාසියක් වුවද එකී යන්ත්‍ර හිමිකරුවෝ ඉන් පත්වූයේ බරපතළ අසීරුතාවකටය. ඒ එවකට පවුමට සාපේක්ෂව රුපියල ඉතා අඩු අගයක් ගැනීම නිසාය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.