lakbima.lk

අපරාධකරුවෙකුට රැකවරණදී රිමාන්ඩ් වුණු හමුදා තුනේම ලොක්කා

සිය නිල රියේ එක පසෙක නිල් පැහැති පසුබිමක තරු හතරකුත් අනෙක් පසක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධජයකුත් ගහගෙන ගාම්භීර ගමනින් ඉකුත් 28 වැනිදා උදේ වරුවේ උසාවියට පැමිණි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එදින සවස්වරුවේ ආපසු ගියේ දෑතට  මාංචු දමාගෙන බන්ධනාගාර බසයෙනි. ඒ නිල ඇඳුම් උනා දමාය.

මින් පෙර එවැනි දෙයක් ලංකා ඉතිහාසයේ ෙනාවූ තරම්ය. ශ්‍රී ලංකා ඉතිහාස  සක්‍රීය  සේවයේ යෙදී සිටියේදී ‍පොලිස් අත්අඩංගුවට පත් ඉහළම හමුදා නිලධාරියා වන්නේ ඔහුය. ඔහුට පෙර අත්අඩංගුවට පත් ‍‍‍ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන් වූයේ යුද  හමුදාපති (1964-1966) මේජර් ජෙනරාල් රිචඩ් උඩුගම හා ගුවන් හමුදාපති (1998-2002) එයාර්  මාර්ෂල් ජයලත් වීරක්කොඩිය. රිචඩ් උඩුගම අත්අඩංගුවට ගන්නේ හැට හතරේ හමුදා කුමන්ත්‍රණ චෝදනාවටය. ජයලත් වීරක්කොඩි අධිකරණයට ආවේ රිය අනතුරක් කර පුද්ගලයෙකු මරණයට පත් කිරීමේ චෝදනාවටය. එහෙත් ඔවුන් දෙන්නට වඩා නිලයෙන් අද්මිරාල් විජේගුණරත්න ‍‍‍ජ්‍යෙෂ්ඨය.

දැනට ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සේවයේ සිටින තරු හතරේ එකම ජෙනරාල්වරයා එසේ නැතිනම් ත්‍රිවිධ හමුදාවේම සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහුගේ දෑතට විලංගු වැටුණේ ඔහු  සිය පූර්වගාමී නාවික හමුදාපතිවරයකුගේ කායාරක්ෂකයකුට රැකවල් දීමේ චෝදනාවටය. එම කායාරක්ෂකයා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිය. ඔහු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති (2005-2009) ධුරය දැරූ කාලයේ ඔහුගේ කායාරක්ෂකයකුව හුන්නේය. ඒ සමයෙහි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි අහිංසක දෙමළ තරුණයන් එකොළොස් දෙනකු කප්පම් ගැනීම පිණිස පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා එල්ල විය. ඒ ගැන පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා සෙව්වේය. එහෙත් ඔහු ආ ගිය අතක් නැති විය. එතැන් සිට කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

පසුගිය මැයි විසි දෙවැනිදා නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට ‍පොලීසියේද නීති ක්ෂේත්‍රයේද ආරක්ෂක අංශ ප්‍රධානීහුද සහභාගි වී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර එම සාකච්ඡාවේදී හෙළි කළේ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි රටින් පිට කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න බවය. ඔබ තුමා තමයි හෙට්ටිආරච්චිගේ අතට ලක්ෂ පහක් දීලා රටින් පිට කළේ' යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා හෙළි කර තිබුණි.

ඒ සමගම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසා තිබුණේ ශානි ඔයා මේ රටේ ඉහළම ආරක්ෂක නිලධාරියාට තමයි ඔය චෝදනා කරන්නේ. ඔයා මේවා ඔප්පු කරනවා නම් මම හෙටම ඉල්ලා අස්වෙනවා යනුවෙනි. මේ සිද්ධියට එකල නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි කළ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සබඳතාව දැන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී එළියට ආවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිට රැකවරණ දීමට නාවික හමුදාපතිව සිටි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කළ ආකාරය හෙළිවන්නේ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි දුන් කට උත්තරයෙනි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරාක්‍රම කඳවුරේ රාජකාරි කළ නිලධාරියෙකි. කඳවුරේ ඔහු නතරව සිට ඇත්තේ තට්ටු අටකින් සමන්විත මහල් ගොඩනැගිල්‍ලේ තුන් වැනි මහ‍ලේ විසි දෙවැනි කාමරයේය. එකල ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිද නවාතැන්ගෙන ඇත්තේ ලුතිනන් කමාන්ඩර් ගලගමගේගේ ඉදිරිපස කාමරයේය. දිනක් හෙට්ටිආරච්චි සමග විදුලි සෝපානයෙන් පහළ මාලයට පැමිණෙද්දී බිම් මහලය අසලදී නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මුණ ගැසී හෙට්ටිආරච්චිගෙන් කොහේද යන්නේ යනුවෙන් විමසූ බව ලුතිනන් කමාන්ඩර් ගලගමගේ දුන් ප්‍රකාශයේ සඳහන් වේ. ඒ අවස්ථාවේදී ඔහු නාවික හමුදාපතිවරයාට පවසා තිබුණේ බිරිඳ බැලීමට ලයිට් හවුස් එකට යන බවය . හෙට්ටිආරච්චි එසේ කී විට නාවික හමුදාපතිවරයා තමුසෙ අරෙහෙ මෙහෙ ගිහිල්ලා ‍පොලීසියෙන් අල්ලගත්තොත් මට කරන්න දෙයක් නැහැ කියා හෙට්ටිආරච්චිට පැවැසූ බව අධිකරණයට වාර්තා කර තිබේ. මේ පිළිබඳව ඇති වූ කුතුහලය නිසා තමා හෙට්ටිආරච්චිගෙන් නාවික හමුදාපතිතුමා විමසූ කාරණය ගැන විමසූ අවස්ථාවේදී සී.අයි.ඩී.  එකෙන් මට එන්න කියලා තියෙනවා ඒ ගියොත් ඇතුළට දානවා ඒ නිසා සී.අයි.ඩී. එකට ගියේ නැති බව හෙට්ටිආරච්චි තමාට පැවැසු බවත්, මෙම සිද්ධියට පසු දිනයේදී රාත්‍රි කාලයේ තමා හෙට්ටිආරච්චිගේ කාමරයට ගිය අවස්ථාවේදී කලබල ගතියෙන් ගමනක් යාමට සූදානමින් සිටි බවත් ඒ අවස්ථාවේදී ඔහුගේ අල්මාරියේ තිබූ පාර්සලයකින් මුදල් ගත් බවත් ඒ වෙලාවේ එම මුදල් පිළිබඳ තමා හෙට්ටිආරච්චිගෙන් විමසූ අවස්ථාවේදී තමාට වියදමට මෙම මුදල් නාවික හමුදාපති විසින් ඔහුගේ ‍ලේකම් රියර් අද්මිරාල් හෙට්ටිආරච්චි ලබා දුන් බවට ප්‍රකාශ කර තිබේ. පසුව ඊළඟ  දිනයේ රාත්‍රී කාලයේ සිට හෙට්ටිආරච්චි යන අය තමා නොදුටු බවත් මෙම කාලය තුළදී සී.අයි.ඩී.යෙන් හෙට්ටිආරච්චි සොයනවා. ඔහු පැනලයි ඉන්නේ කියා නාවික මූලස්ථානය තුළ රාවයක් තිබූ බවට ලුතිනන් කමාන්ඩර් ගලගමගේ දුන් ප්‍රකාශයේ සඳහන් වේ. මේ අතරේ ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට කළ දැනුම් දීම ඔහුට ලැබි ඇති බව පරික්ෂණවලදී හෙළි විය. ඒබව දැන දැනත් එකල නාවික හමුදාපතිවරයා සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයාට රැකවරණය දී ඇතිබව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. මේ කතාව 'ලක්බිම ඉරිදා සංග්‍රහය' මුල් වරට හෙළි කළේ ඉකුත් ජුනි 10  වැනිදාය. ඒ 'තරුණයන්ව පැහැරගෙන ගිය සැකකරුට රැකවරණය දුන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා යන ශීර්ෂ පාඨය යටතේය. මෙම හෙළිදරවුවෙන් පසු ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියම කෙරුණි. එහෙත් ඔහු එය මග හැරියේය. ඉහළ හස්තයකින් ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැරීමට තල්ලුවක් ලැබුණු බවට සඳහන්ය. ඔහු ‍පොලීසිය මග හැරියේ තමා ලංකාව නියෝජනය කරමින් මෙක්සිකෝවේ නිදහස් උළෙලට යෑමට සිද්ධ වූ බව කියමිනි. දෙවැනි වතාවේ ඔහු අල්ලා ගන්නට ‍පොලීසිය උත්සාහ ගන්නා විට ඒ ගැන කතා කිරීමට විශේෂ කැබිනට් සාකච්ඡාවක්ද පැවැත්වුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසන්නට ලැබුණේ බැණුම්ය.

එහෙත් ජුපටිපන්න ගුණයෙන් යුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලාධාරීහු අද්මිරාල් විජේගුණරත්න අරබයා කෙරෙන පරීක්ෂණ නතර නොකළහ. ඉන් බේරෙන්නට ඔහු තමා ගැන පරීක්ෂණ පැවැත්වූ ‍පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට කොටි ‍ලේබලයද ඇලවීය. එහෙත් ඉන්ද ඵලක් නොවීය. මේ අතරේ මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ ‍පොලීසියට පැමිණිලි කළේ සැකකාර අද්මිරාල්වරයාගේ භට පිරිසක් තමාට පහර දුන් බවය.

තත්ත්වය මෙසේ තිබියදී ඔහු ඉකුත් විසි අට වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා වන්නේ අපරාධකරුවෙකුට නවාතැන් පහසුකම් සැලසීම, රජයේ සේවකයකුට අසත්‍ය තොරතුරු සැපයීම, නිල කටයුත්තක යෙදී සිටි රාජ්‍ය නිලධාරියෙකුට බාධා කිරීමය. සැකකාර අද්මිරාල්වරයා අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වගන්තිය යටතේ වරදක්ද ගිනි අවි ආඥා පනත යටතේද වධ දීම, හා කෲර අමානුෂික වධ දීමේ පනත යටතේද වරදක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මේ අතරේ සැකකාර අද්මිරාල්වරයාගේ ආරක්ෂකයකු අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදී ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සැකකාර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දෙසැම්බර් පස් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. මේ වන විට ඔහු සිටින්නේ වැලිකඩ හිර ගෙදරය.

කවුද මේ අද්මිරාල් විජේගුණරත්න

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෑතකාලයේ මුළු රටේම ආන්දෝලනයට ලක් වූයේ ඔහු අසභ්‍ය  වචනයෙන් බැණ වදිමින් පුවත්පත් කලාවේදියෙකුට කළ පහරදීම නිසාය. ඒ සිද්ධිය වූයේ හම්බන්තොට වරායේදීය. ඒ දෙදහස් දහසයේ දෙසැම්බරයේදීය.

මේ පහර දීම සිද්ධ වන සමයේ ඔහු වයිස් අද්මිරාල්වරයෙකි. එකල ඔහු දරමින් සිටියේ නාවික හමුදාපති පුටුවය.

එක්දහස් නවසිය හැට දෙකේ පෙබරවාරි විසි දෙවැනිදා උපන් රවීන්ද්‍ර විජේගුණරත්න කොළඹ රාජකීය විදුහ‍ලේ ආදි සිසුවෙකි. එක්දහස් නවසිය අසූවේ නොවැම්බර් පළමු වැනිදා නාවික හමුදාවට එක් වූ ඔහු මේ ගෙවමින් සිටින්නේ සිය රාජකාරි දිවියේ තිස් අට වැනි අවුරුද්දය. කලකට ඉහතදී ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ රණකාමියෙකු ලෙසය. ජීවතුන් අතර සිටින නාවික භටයකුට දිනා ගැනීමට හැකි ඉහළම පදක්කම වන වීරෝධාර විභූෂණ (W.V.) පදක්කටමද ඔහු හිමිකම් කියන්නේය. අසූව දශකයේ ඔහු ඇතුළු සගයන් ගමන් කළ  නාවික යාත්‍රාවක් ඉන්දු ලංකා මුහුදු සීමාවේදී විනාශ විය. ඒ අවස්ථාවේදී ඔහු සිය සගයන් රැගෙන පැය ගණනාවක් මුහුදේ පීනමින් කච්චතිවු දූපතට ආවේය. විරෝධාර විභූෂණ පදක්කම ලැබුණේ ඔහුගේ එම වීර වික්‍රමාන්විත ක්‍රියාව නිසාය.

එදා තම දිවිය බේරා ගැනීමට ක්‍ෂේම බිම වූ කච්චතිවු දූපතේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි මුනිදුගේ මංගල්‍යයට ඔහු වාර්ෂිකව යන්නේ ඊට කෘතගුණ සලකන්නටය.

ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ (S.B.S.) නිර්මාතෘ වරයා වන ඔහු එහි මුල්ම අණ දෙන නිලධාරියාය. බ්‍රිතාන්‍යයේ රාජකීය මැරීන් විශේෂ නාවික බළකාය නිදර්ශයට ගෙන විශේෂ යාත්‍රා බළකාය ලංකාවේ ඇරඹුණේ එක්දහස් නවසිය අනූ තුනේදීය. එම ඒකකයේ සිටි කාලයේදී පුනරින්හි කොටුවූ හමුදා සෙබළුන් බේරා ගැනීමට ඔහු කළ බිහිසුණු මෙහෙයුම අදටත් නාවික හමුදාවේ වීර කතාවකි. සිවු වැනි ඊළාම්  සටන පැවැති සමයේ නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වූ ඔහු අණදීම හා පරිපාලන තනතුරු රැසක් දැරුවෙකි. රණවික්‍රම, රණශූර හා වීර පදක්කම්ද නොකළැල් සේවය වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණ, උත්තම සේවා පදක්කම්ද දිනා ඇති ඔහු යුද අධ්‍යයනය පිළිබඳ උපාධි කීපයක් හිමිකර ගත්තෙකි.

දෙදහස් පහළොවේ ජූලි එකොළොස් වැනිදා නාවික හමුදා පති ධුරයට පත්වූ ඔහු ආරක්ෂක මාණ්ඩලික ධුරයට පත්වූයේ දෙදහස් දාහතේ අගෝස්තු විසිදෙවැනිදාය. ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වූ එකම නාවික නිලධාරියාද වන්නේ ඔහුය.

සුභාෂ් නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.