lakbima.lk

1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි

ඌව පළාත් සභාව ඉකුත් සතියේදී මුළු රටේම අවධානය දිනා ගන්නා යෝජනාවක් සම්මත කර ගත්තේය. ඒ යෝජනාවෙන් කියැවුණේ, හරියටම මීට අවුරුදු දෙසීයකට ප්‍රථම ඉකුත්වූ එක්දහස් අටසිය දහඅටේ ඌව-වෙල්ලස්ස අරගලයේදී ඌව පළාතට සිදුකළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලමින් බ්‍රිතාන්‍යයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ගොස් අත්සන් ලක්ෂ පහළොවකින් යුතු මහා ජනතා පෙත්්සමක් ඉදිරිපත් කළ යුතු බවකි.
මේ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කරමින් ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පැවැසූයේ, බ්‍රිතාන්‍යයන් සිය අතීත හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිදු යටත් විජිතයකට සිදු නොකළ තරමේ දැවැන්ත විනාශයක් ඌවට කරන ලද බවයි. “අදටත් ලංකාවෙ දුප්පත්ම පළාත ඌව පළාත. පැවැති එකදු රජයකටවත් ඒ පළාත ගොඩනගන්න බැරි වුණා. ඒ නිසා මේ පළාත ගොඩනැගීම සඳහා ලක්ෂ පහළොවක් වන පළාතේ සියලු ජනතාවගේ අත්සනින් යුතු පෙත්සමක් රැගෙන පළාත් සභාවේ මහජන නියෝජිතයන් සියලු දෙනා ම  මානව හිමිකම් කවුන්සලය වෙත යා යුතුයි.” මහ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව දැන් ඔවුන් සැරසෙන්නේ, ඌව පළාත සංවර්ධනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයෙන් මුදල් ලබා ගැනීමටය. ඒ ණය ආධාර හෝ ප්‍රදානයන් ලෙස නොවේ. පළාතට කරන ලද විනාශය වෙනුවෙන් වන්දි හැටියටය.
එහෙත් අපි මේ ගැටෙන්නට සැරසෙන්නේ ලොව තෙවැනි බලවතා සමගිනි. අනෙක් අතට මහා බ්‍රිතාන්‍යය මතෛක් කිසිදු දිනෙක තමන්ගේ යටත් විජිතයක්ව තිබුණ රටකට වන්දි මුදල් ලබා දී නැත්තේය. එවන් තත්ත්වයක් තුළ ඌව පළාත් සභාව මේ සැරසෙන්නේ කළු ගලක ඔළුව හප්පා ගන්නදැයි, අපි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නගෙන් විමසුවෙමු. අපි ඔහුගෙන් එසේ ඇසුවේ මේ යෝජනාව මුලින්ම පළාත් සභාවට ගෙන ආවේ ඔහු නිසාය.
“අපි කියන්නේ මේ කර්තව්‍යය සඳහා ආණ්ඩුව සෘජුව මැදිහත් විය යුතු බවයි. මේකට මැදිහත් වෙන එක ආණ්ඩුවෙ වගකීම. ඉතිහාසයේ ඒ ආකාරයෙන් මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ලෝකය පුරා පැමිණිලි ඉදිරිපත් වෙනවා. අපිත් විවිධ චෝදනාවලට පිළිතුරු දෙන්න ජිනීවා යනවා. ඒ නිසා අපිට සිදු වුණ මේ අසාධාරණය ගැන අපිත් මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යුතුයි.”
ඔහු පවසන්නේ ඊට අදාළව පළාත් සභාව තුළ සම්මත කරගත් චෝදනාව පසුගිය එකොළොස්වන දා රජයට ඉදිරිපත් කළ බවයි.
බ්‍රිතාන්‍යයට එරෙහිව ඇති සමූල ඝාතන අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ, එක්දහස් අටසිය දහඅටේ දී හටගත් ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු ඌවේ උද්ගත වූ තත්ත්වය යි. සමන්ත විද්‍යාරත්න පෙන්වා දෙන්නේ, එය ලොව අන් කිසිදු තැනක සිදු නොවූ ආකාරයේ කුරිරු හා මි‍ලේච්ඡ තත්ත්වයක් බවයි. අවුරුදු දහසයට වැඩි පිරිමි සියල්ලෝ ඝාතනය කරන්නට  එකල සිටි ඉංග්‍රීසි පාලකයෝ සිය හමුදා බළඇණිවලට නියෝග කළෝය. ඇතැම් නායකයන් රටෙන් පිටුවහල් කරන්නට නියම කෙරිණි. රටේ සශ්‍රීකත්වය ඔප් නැංවූ වැව් අමුණු සියල්ල කඩා බිඳ දැමුණි.
“ඌව වෙල්ලස්ස අරගලය මර්දනය කරන්න රටවල් දොළහකින් හමුදා බළ ඇණි කැඳෙව්වා. මේ මර්දනය ඉතා කුරිරුයි වගේම අමානුෂිකයි. දැන් ලෝක මානව හිමිකම් ගැන මහ ඉහළින් කතා කළාට බ්‍රිතාන්‍ය ඌව වෙල්ලස්ස අරගලය මර්දනය කළේ බිම්පාළු ප්‍රතිපත්තියට අනුව. ඔවුන් විනාශ කළේ භෞතික හා මානව සම්පත් පමණක් නොවෙයි. මුළු භූමියේම සශ්‍රීකත්වය විනාශ කරල දැම්මා. අපේ රටේ පැවැති තිස් අවුරුදු යුද්ධයේ බරපතළකම අඩු කරන්න අපි කැමති නැහැ. ඒත් අපි කියන්නේ අධිරාජ්‍යවාදීන් එක්ක කළ අරගලය ඊට වඩා බරපතළ බවයි.” ඔහු අවධාරණය කරන්නේය.
ඌව වෙල්ලස්සට ඒ නම ලැබුණේ ද එහි තිබූ සශ්‍රීකත්වය මුල් කරගෙනම ය. දුටුගැමුණු රජ මාගම රාජධානියේ සිට රට එක්සේසත් කරනු වස්, එළාර සමග යුද්ධයට යාමට ප්‍රථම කල්පනා කළේ, රට සශ්‍රීක කරන ආකාරය ගැන ය. ඒ, යුද්ධය අතරතුර ආහාර හිඟයක් ඇති වුවහොත් ඊට නිර්භයව මුහුණ දී ජනතාව රැක ගැනීම උදෙසා ය. ඒ වෙනුවෙන් රට අස්වද්දන්නටත්, ආහාර සුරක්ෂිත කරන්නටත්, හෙතෙම පියවර ගත්තේ ය.වෙල් යායවල් ලක්ෂයක් නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. වෙල්යායවල් ලක්ෂය වෙල්ලස්ස විය. එකී හැම වෙල් යායක් අසල ම වැවක් හෝ අමුණක් තනන්නටත්, පන්සලක් ඉදි කරන්නටත් පියවර ගැනුණි. “වැවයි - දාගැබයි - ගමයි - පන්සලයි” සංකල්පයේ ආරම්භය ද එතැන ය. පසුකලෙක අධිරාජ්‍යවාදීන් සිය සපත්තුවට පාගා ‍පොඩිකර දැමූයේ රටේ වූ එකී සශ්‍රීකත්වය ය.
මේ සියලු විනාශයන්හි මූලාරම්භය සිදුවූයේ එක්දහස් අටසිය පහළොවේ මාර්තු දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේදීය. එහිදී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ උඩරට නිලමේවරුන් අතර අත්සන් කෙරුණ ගිවිසුමට පසුවය. ඒ ගිවිසුමෙන් පසු, කන්ද උඩරට සම්පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය කිරීටයේ තුන්වැනි ජෝර්ජ් රජුට හිමි විය. ගිවිසුමට අනුව අපේ රටේ බුද්ධ ශාසනය රැක ගැනීමට ඉංග්‍රීසිහු වග බලා ගත යුතු විය. එහෙත් ඒ ‍පොරොන්දුව ඇස් පනාපිට කඩා දැමූ ඉංග්‍රීසි පාලකයෝ දළදා මාලිගාව ඇතුළු විහාර දේවාලගම් සතු ඉඩකඩම්වල ආදායම රජය සතු කැරගත්තෝය.

සුද්දාගේ මෙකී මි‍ලේඡත්වයට එරෙහි වීමේ වැරැද්දට දඬුවම් වශයෙන් කැප්පෙටි‍පොළ මහ අදිකාරම්ගේත්, මඩුගල්ලෙ දිසාවේගේත් හිස් ගසා දමා වසර දෙසීයක් පිරෙන්නේ ලබන මස විසිහය වැනිදාටය.
බ්‍රිතාන්‍ය කිරීටය සතුරුකම් කළේ, ඌව වෙල්ලස්සට පමණක් නොවේ. සිහින් සිරි‍පොද වැහි‍පොද ආශිර්වාද කරගත් මධ්‍යම කඳුකරයට මුලින්ම සතුරුකම් කළෝ ද ඔවුහු ය. වනවැස්මෙන් ආරක්ෂිත වූ මේ බිම මුඩු කළ ඔවුහු මුලින්ම එහි කෝපි ඉන්දූහ. තේ වගා කළහ. කොකෝවා වැවූහ. මුරුගසන් වර්ෂාවකට මතු නොව, සිහින් සිරි‍පොද වැස්සකට පවා ඒ කඳුරැළි පහළට රූටා එන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. “ඒ විතරක් නොවෙයි පහළ තිබූ වැව් සියල්ල මඩවලින් පිරිලා, පුංචි වැස්සකටත් පිටාර යන්න පටන් ගත්තා. අපි අද ඒවා ප්‍රතිසංස්කරණය කරන්න කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරනවා.”
ඔහු පවසන්නේ, අරගලයට වසර දෙසීයක් පිරෙන මේ මොහොතේ එය හුදු සැමරුමක් කොට නොගෙන ඒ වෙනුවෙන් මෙවන් මැදිහත් වීමක් කළ යුත්තේ මේ අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් මිදීම සඳහා බවය. එය කරන්නේ කෙසේ දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.
“මුලින්ම ආණ්ඩුව ඒ සඳහා සැලසුමක් හැදිය යුතුයි. කඩවුණ මානව හිමිකම්, ආර්ථික හානිය, පාරිසරික හානිය ආදිය නිවැරදිව ගණනය කොට ඉදිරිපත් කළ යුතුයි.” ඔහු පෙන්වා දෙන්නේ ය.
මහා බ්‍රිතාන්‍යය රටට කළ විනාශයට වන්දි ඉල්ලන්නට හැදූ මුල් ම අවස්ථාව මෙය නොවේ. වරෙක හිටපු අගමැති දි.මු. ජයරත්න ද ඒ ගැන සැලසුම් හැදුවේ ය. එකල ඔහු තැපැල් විදුලි සංදේශ හා උඩරට සංවර්ධන ඇමැති ය. බ්‍රිතාන්‍ය පාලනය නිසා උඩරට සිංහල ජනතාවගේ ජන ජීවිතයට, සංස්කෘතියට හා අයිතිවාසිකම්වලට සිදු වූ හානියට වන්දි ගත යුතු යැයි ඔහු රජයට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. එහෙත් ඒ යෝජනාවට අද වනතුරු සිදුවූ දෙයක් නැත.
එවන් තත්ත්වයක් තුළ ඌව වෙල්ලස්සට කළ මේ විනාශය වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් වන්දි ඉල්ලන්නට ජාත්‍යන්තර නීතියට අනුව අපට හැකි දැයි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාගෙන් විමසුවෙමු.
ඔහු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර නීතිරීති අනුව එවැනි ඉල්ලීමක් කරන්නට අපිට අයිතියක් ඇතත්, එය කොතෙක් සාර්ථක වේදැයි ගැටලු සහගත බවය.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හෝ මානවවාදී නීතිරීති බොහොමයක් ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කෙරුණේ දෙවැනි ලෝක යුද සමයෙන් පසුවයි. එබැවින් මේවා අතීතයට බලපාන සේ ක්‍රියාත්මක කරන්නට යාමේදී ගැටලුවක් ඇතිවෙයි. මගේ අදහස නම් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ගත යුතු හෝ හානි පූරණයක් සිදුකළ යුතු හෝ බවයි ඔහු පෙන්වා දෙන්නේය.
ඉංග්‍රීසින්ගෙන් රටට වූ අසාධාරණයට එරෙහිව මීට පෙර අවස්ථා කිහිපයකදී ද බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු පවරන්නට ශ්‍රී ලාංකික වැසියෝ පෙරට ආහ. ඉන් පළමු අවස්ථාව වන්නේ, 1848 දී කුඩා‍පොළ හිමියන්ට වෙඩි තබා මරා දැමීමට දුන් නියෝගයට එරෙහිව ඇහැළේ‍පොළ නිලමේ බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු පැවැරීමය. එහෙත් එය තඹයකට මායිම් නොකළ බ්‍රිතාන්‍යයෝ කුඩා‍පොළ හිමියන් සිවුරු පිටින්ම වෙඩිතබා මරා දැමූහ.
එහෙව් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව ගන්නට සැරසෙන මේ උත්සාහය කෙබඳු වේදැයි, යන්න ගැන ජාත්‍යන්තර දේශපාලන විචාරකයෙකු වන මොහාන් සමරනායක පැවැසූයේ මෙවැන්නකි.
“එහෙම ඉල්ලීමක් කරනවා නම් කළ යුත්තේ රජයයි. එහෙත් මතෛක් සිටි කිසිදු පාලකයෙක් එවැනි ඉල්ලීමක් නොකළ තත්ත්වයක් තුළ පවතින පාලනයත් එවැනි ඉල්ලීමක් කරාවි යැයි සිතන්න අපහසුයි. එහෙත් එහෙම ඉල්ලීමක් කරනවා නම් හොඳයි. ලොව අනෙක් රටවලුත් එහෙම ඉල්ලූ අවස්ථා තිබෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය අපේ රටට තියා කොයිම රටකට හෝ වන්දි මුදල් දේවි යැයි නම් සිතිය නොහැකියි.”

 ගයාත්‍රි ගීගනආරච්චි
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.