lakbima.lk

දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා



දිනය පසුගිය 23 වැනිදාය. බණ්ඩාරගම කළුතර පාර කොත්තුවක් ගසන්නට තරම් රත්වී තිබුණේය. එහෙත් මග දෙපස රැස්කකා උන් මහ පිරිසට ගිනි යම් වූ මාර්ගය මෙන්ම ආකාසේ විරිත්තා ගෙන සිටිනා සූර්ය දිව්‍ය රාජයාද අමතකව ගොසිනි. ඊට හේතුව ඔවුනගේ අවධානය මුළුමනින්ම වෙනතක යොමුව තිබිමය. ඒ කිදෙල්පිටියෙන් ඇරඹි බණ්ඩාරගම වෑවිට මෛත්‍රී විදුහ‍ලේ පිටිය කරා ඇදෙනා පෙරහරක් වෙතය. මේ පෙරහරේ කොඩි සේසත් නැත. බෙරකරුවෝද කසකරුවෝද නැත. අලි ඇත් සේනා, උඩ පහතරට නැට්ටුවන්ද නැත්තේය. පෙරහරේ යන්නේ ජපනුන් පිරිසක්ය.
වැඩබිම් ගොවිබිම් සිසාරා චීනුන් පිරීයන වර්තමානයේ බණ්ඩාරගම කළුතර පාරේ ජපනුන් පෙරහරක් යන්නේ අහවල් දෙයකටදැයි ඔබට හිතෙන්නට බැරි නැත. එහෙත් මේ ජපනුන් පිරිස එහි උපන්නාට දැනට අවුරුදු තිහ හතළිහක් තිස්සේ පදිංචිව ඉන්නේ මේ ලක්බිමේය. ටොයෝටා නම් ‍පොදු නම දරන ඔවුහු සියලු දෙනා එකම මොටොකාර් පවුලක දරු දැරියෝය. වසර තිහහතළිහක් ලංකාවේ මංමාවත්වල සැරුවේ ටොයෝටා රථ කේ 10 මාදිලියෙන් ඇරඹී කේ.ඊ.20,25,30,50,55 ආදී ලොකු පවුලකට අයත්ය.
මේ රථවලට අසීමිතව පෙම්බැඳි තරුණයකු මීට වසර පහ හයකට පෙර මුහුණු‍පොතේ අපූරු ‍පෝස්ටුවක් පළ කළේය. ඒ පැරණි ටොයෝටා රථවලට ප්‍රියකරනා මිතුරන් ඉලක්ක කර ගෙනය. ඔහු නමින් ලලිත් දිල්ශාන්ය. වෘත්තියෙන් වාහන අලංකරණ ශිල්පියෙකු වූ දිල්ශාන් රථගාය උපරිමයෙන් වැළඳුන අයෙකි.
ලලිත් දිල්ශාන් තම රථගාය හොඳකර ගනු වස් කලකට පර කේ.ඊ. 20 රියක් මිලට ගත්තේය. එහෙත් එහි වූ සුළු සුළු අඩුපාඩු සකස් කර ගන්නට කාර්මිකයන් වෙත ගිය ඔහුට තම මොටෝරිය පමණක් නොව ජීවිතයම එපා වූවේය. ඒ තරමට කට්ටිය මාව ඇන්දුවා ලලිත් දිල්ශාන් වචනයෙන් දෙකෙන් තමා ලද කටුක අත්දැකීම කියා නිම කරන්නේ එසේය.
අවට බාස් උන්නැහේලාගෙන් කම්මර වී සිටි එක මොහොතක ඔහු නිකමට තම ජංගම දුරකථනය අතට ගෙන මුහුණු ‍පොතට පිවිසෙන්නේය. කාටවත් කීමට බැරි තම හිතේ හිරවූ දුක ඔහු නිකමට මුහුණු ‍පොතේ සටහන් කළේය. සැණින් ඔහුට පිළිතුරු කොමෙන්ටු රැසක් ලැබුණි. මේ රැවටිල්ලට හසුව ඇත්තේ තමා පමණක් නොවනා බව දිල්ශාන්ට වැටහුණේ එවිටය. තමා වැනිම අසරණ වූවන්ට දුක පවසන්නට ඇපිල් උසාවියක් බදු ෆේස්බුක් පිටුවක් ඔහු අතින් නිර්මාණය වූවේ එහෙයිනි.  ඒ ඊධරධබච ඛිඥපපධතතච ඬ10 ඊ ම්ජ්55 සමාජයයි.
එදා හිතේ දුක තුනී කරන්නට ලලිත් දිල්ශාන් සැදූ ෆේස්බුක් පිටුවේ අද මිතුරන් ගණන 7000 ඉක්මවන්නේය. ලංකාවේ හතර දිග්භාගයේ මතු නොව කරදිය වළල්ලෙන් එහාද මේ සමාජයේ මිතුරෝ වෙති. අද ලංකාවේ ඊධඨධබධ ඛිඥපපධතතධ ඬ 10 ඊධ ජ්55 සමාජය කාර් ලෝකයේ ප්‍රකට මිතුරු සමාජයකි. අපේ ක්ලබ් එකේ මූල්‍ය අරමුණු නෑ. දැනුම තියෙන අය තම දැනුම අපේ අය එක්ක බෙදා ගන්නවා. තමන් ළඟ වැඩිපුර බඩු තියෙනවා නං අනිත් අයත් එක්ක බෙදාගන්නවා. පිටරටවලින් ගෙන්වා ගන්නවා. අපේ අරමුණ මේ කාර් යකඩවලට විකිණෙන එක නතර කරලා ආරක්ෂා කරගන්න එක ලලිත් දිල්ශාන් තම සමාජයේ අරමුණ පැහැදිලි කරන්නේය.
රටපුරාම විසිරී සිටින 7000කට අධික ඊධරධබච මිතුරන්ගෙන් පනහකට හැත්තෑපහකට ආසන්න පිරිසක් මෙවර රැළියට සහභාගි වන්නේය. මේ පිරිසේ සිටි අයගෙන් එක වරම අප සිත් ගත්තී මාරියා සැන්චිස්ය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊධරධබච සමාජ නියෝජනය කරමින් මෙහි පැමිණි ඕ රටවල් ගණනාවක ටොයෝටා සමාජ නියෝජනය කරන්නීය. ඇගේ ටොයෝටා සබඳතා කොතරම් ප්‍රබලද යත් ලෝකය පුරා ටොයෝටා ලෝලීහු ඈ හඳුන්වන්නේ කොරොල්ලා මමා යන නමිනි. මාරියා සමග කෙටි පිළිසදරක යෙදෙන්නට මේ ලියුම්කරුට සිත් විය. එහෙත් තමා කථන ආබාධ සහිත බව ඕ අංග චලනයෙන් පහදා දුන්නාය.
මාරියාට කථා කරන්න බෑ. ඈ කථන ආබාධිතයි. ලලිත් දිල්ශාන් වැඩිදුරටත් මා දැනුවත් කළේය. එහෙත් කොරොල්ලා රථවලට පෙම් බඳිමින් ලෝපුරා සංචාරය කරන මාරියා සැන්චින්ගේ අපූරු කොරොල්ලා දරු සෙනෙහසට ඇගේ කථන ආබාධ සහිත බව බාධාවක් වී නැත්තේය.

මෙවර රැළියට පැමිණි කොරොල්ලා රථ පෙරහරේ අපූරු සාමාජිකයෙකු ලෙස හෝමාගම දිමුතු වැලිවත්ත සතු 10 ශ්‍රී 6632 දරන ටී.ඊ.20 රථය දැක්විය හැක. මේ රථය විශේෂ වන්නේ එය සෑම අතින්ම ප්‍රදර්ශනාගාර තත්ත්වයෙන් පැවැතීම නිසාය. එහි හිමිකරු පවසන පරිදි ඔහුගේ ටී.ඊ. 20 රථය අදටත් ඕනෑම දුරක එක එල්‍ලේ පදවාගෙන යා හැකි තරම් ඉහළ ධාවන තත්ත්වයකින් යුක්තය.
කලකට පෙර අප හා මෙවැනි විශේෂාංග වාර්තා කිරීමට එක් වූ ලක්රුවන් වන්නිආරච්චිද මේ ටොයෝටා සමාජයේ සාමාජිකයෙකි. අටදරු පියෙකු වන ඔහුගේ දරුවන් තිදෙනෙකු හැර අනිත් පස්දෙනාටම උප්පැන්න ලබාදී ඇත්තේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නොව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙනි. ඒ පස්දෙනාම ටොයෝටා කොරොල්ලා කේ.ඊ.20 කාර් දරුවෝ වීම ඊට හේතුවය.
මේ කාර් මිතුරු සමාජයේ ඇතැම්හු පැමිණ ඇත්තේ රට හතර කොණකිනි. 9 ශ්‍රී 1844 දරන ටොයෝටා රථය පදවාගෙන හඟුරන්කෙත සිට ආ රූපසිංහද එවැන්නෙකි. කිලෝමීටර් 197කට ආසන්න දිගු දුර ගෙවා දමමින් හඟුරන්කෙත සිට බණ්ඩාරගම පැමිණි ඔහු පවසනුයේ කිසිදු කාර්මික දෝෂයකට ලක්වන්නේ නැතිව තම රථය පිම්මේ පැමිණ බණ්ඩාරගමට ළඟා වූ බවය.
බඩල්කුඹුරේ සිට පැමිණි ප්‍රදීප් රැකියාවට කරන්නේ ගොවිතැනය. ඔහු පවසනුයේ තම කේ.ඊ.20-7 ශ්‍රී 5701 දරන රථය තමුනට වඩා වසර විස්සක් වැඩි මහලු බවය. මම මේ කාරෙක අරගෙන මාස හයක්වගේ වෙන්නේ. මට තිබුන ප්‍රශ්න ගොඩකට ක්ලබ් එකෙන් උදව් ලැබුණා. දැං මමත් කේ.ඊ.20 ගැන ගොඩක් දන්නවා යැයි ඔහු පවසන්නේය. බඩල්කුඹුරේ සිට බණ්ඩාරගම එන්නට ප්‍රදීප් පිටත්ව ඇත්තේ 22 වැනි සෙනසුරාදාය. එන ගමන් කිසි කරදරයක් දුන්නේ නෑ. ඊයේ රෑ හොරණ යාළුවෙකුගේ ගෙදර ඉඳලා උදේ ආවා යැයි පවසමින් ඔහු තම මිතුරෙකුගේ රථයක සුවදුක් අසන්නට නික්මුණේය.
බණ්ඩාරගමට හූවක දෙකක දුරින් පිහිටි බෝකුන්දර සිට පැමිණි පුබුදුද කේ.ඊ.20 රියක හිමිකාරයෙකි. දැනට වසර හතරක සිට ඔහුගේ ගමන් සගයා 6 ශ්‍රී 3848 දරන කේ.ඊ.20 රථයයි. 'තවම ලීටරයකට කි.මි 18ක් විතර දුවනවා. කොළඹ අවට පාවිච්චි කරන නිසා මේ කාර් එක හරි වාසියි පුබුදු පවසන්නේය.
ජනක රත්නායකද බඩල්කුඹුරේම පදිංචිකරුවෙකි. ඔහු තම හිතවතුන් සහ ඔවුන්ගේ රිය දරුවන් දකින්නට බණ්ඩාරගම එන්නේ තම බිරිඳ, දරුවා හා සොහොයුරියද කැටුවය. 11 ශ්‍රී 4077 දරන ඔහුගේ කොරොල්ලා රිය කේඊ 30 මාදිලියේ එකකි. මම මේ කාරෙක ටික කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. කිසිම කරදරයක් නෑ. ගිය සතියේ පානම පැත්තෙත් ගිහින් ආවා. කීයකට ඉල්ලුවත් මම මේක දෙන්නේ නෑ ජනක පවසන්නේය.
රැලියට සහභාගි වූ පිරිස අතරේ සිටි ආඩම්බරකාරයා ලසන්තය. ඔහු ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලසන්තගේ ආඩම්බර කමට හේතුව ඔහුගේ 7 ශ්‍රී 0199 දරන කොරොල්ලා මෝටර් රියයි. මේ ඔහු තම ආඩම්බරකමට හේතුව කියාපාන ආකාරයයි.  මේ කාරෙක තියෙන්නේ තාත්තාගේ නමට. මේක කේ.ඊ. 25. හරිම දුර්ලභ මොඩ්ල් එකක්. කොහේ ගියත් කට්ටිය බලනවා. එක එක ගාණට ඉල්ලනවා. ඒත් අපි මේක දෙන්නේ නෑ. ඒ ලසන්ත තම දොර දෙකේ ආඩම්බරකාරයා පිළිබඳ කියන කතාවය.

ටොයොටා කොරොල්ලා ම්10-ම්ජ්55 සමාජයේ ඇත්තෝ මෙලෙස මුණගැහෙන්නේ සිව්වෙනි වතාවටය. මින් පෙර සෑම වතාවක මෙන්ම මෙවරද ඔවුන්ගේ වැඩි කතාබහ තම රිය දරුවන් ගැනය. දශක හතරකට පමණ පෙර මෙරට මං මාවත්වල රජ කළ කොරොල්ලා රථ දෙස ඇතැමුන් බලන්නේ එතරම්ම මිත්‍රශීලීව නොවේ. මේ පරම්පරාවේ බොහෝමයක් පරණ යකඩ ලෙස අවසන් ගමන් ගියේ එබැවිනි. ඒත් මේ සංවේදී මිනිස්සු පැරණි කොරොල්ලා රථවල ඉරණම වෙනස් කරන්නට දැඩි අදිටනින් යුතුව සටන් කරන්නෝය. ඔවුනට මේ යකඩ ගොඩවල් තම වියපත් මව්පියන් මෙනි. මිනිසුන් සහ යකඩ අතර සබැඳියාව දැනෙන්නට නම් කොරොල්ලා සමාජය වැනි තැන්වලට යා යුතුම යැයි අප පවසන්නේ එහෙයිනි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.