lakbima.lk

බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය


දුහුවිල්ලෙන් වැසී ගිය හාත්පස සිහි කරන්නේ, මාස ගණනක් දිය ‍පොදක් හෝ නොලැබුණ වගය. දුඹුරු පැහැ ගැන්වුණු ගස්කොළන් පසුකරමින් අම්පාර අක්කරෙයිපත්තු මාවතේ ඉදිරියට යද්දී, ඈතින් දිස්වන,  නීලවර්ණ කඳු පන්ති, කතරට දිය ‍පොදක් සේ නෙත සිත සනහාලන වග නොරහසකි. ගල්ඔය මිටියාවත සමීපයෙහි දිගාවැව අසබඩින් වන බිම ද ඈතට දිස්වන්නේ, එවන් නීල වර්ණ කඳුවැටියක් මෙනි. එහෙත් එය එසේ නොවේ., ගරා වැටුණු මතකයට ඔබ්බෙන්, තැනිතලාව බිඳ යළි නිසංස‍ලේ ඉහළ නඟින්නට අරඅදින මේ පුදබිම, උතුම් බුද්ධෝත්මයාණන් වහන්සේගේ පිවිතුරු පාද ස්පර්ශයේ පහස ලැබූ දීඝවාපී පුදබිම ය.


අම්පාර අක්කරෙයිපත්තු මාර්ගයේ කිලෝමීටර හයක් පමණ ගිය තන්හි හමුවෙන්නේ, වරිපතන්ච්ෙන (රජගම) හන්දිය යි. එතැනින් හැරී, තවත් කිලෝමීටර දොළසක් පමණ ගිය කල්හි, දීඝවාපී පුදබිමට ළඟා වන්නට ඔබට හැකි වනු ඇත.


රෝහණ රටට අයිතිව තිබූ   දීඝවාපිය ජනවහරෙහි පවතින්නේ, “දිග් වූ වැව - දිගා වැව - දීඝවාපිය” ලෙසිනි. මහාවංශය සාක්ෂි දරන්නේ, බුදුරදුන් ලක්දිවට වැඩි තෙවැනිවර දී, ශ්‍රී පාදය පාමුල, දිවා කාලය ගත කොටැ, පසුව දීඝවාපියට වැඩම කළ බව ය. ඒ ආසන්නයෙහි මහරහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි බව ය. සුවහසක් බොදු දනන්ගේ මුදුන්මල්කඩ වන සොළොස්මස්ථානයෙන් එක් ස්ථානයක් ලෙස අදද  දීඝවාපිය ගෞරව බහුමානයට පාත්‍ර වන්නේ එබැවිනි.


රූස්ස වෘක්ෂයන්ගෙන් සෙවණ වූ, අක්කර හයසියයක පමණ විසිරී පවතින මේ බිම නැගෙනහිර බොදු උරුමයේ යටගියාව පිළිබිඹු කරන අපූරු කැඩපතක් බඳු ය. මේ බිමට පා තැබූ සැණින් දිස්වන්නේ, යළි හෙමින් සීරුවේ ඉහළ නඟින්නට තනන මහා දාගැබ් වහන්සේ පමණි. එහෙත් ඒ බිම දහස් ගණනක භික්ෂුන් වහන්සේලාට සෙවණ දුන් මහා ආරාම භූමියක හැඩහුරුව කියාපාන වග නම් නොරහසකි. නටබුන්ව ශේෂ වී හාත්පස විසිරී ගිය බෝධිඝර, ප්‍රතිමාඝර, උ‍පෝසථාඝර, සංඝාරාම, වෙදහල් ආදී සියල්ල ඊට කදිම සාක්ෂි සපයන්නෝ ය.
ඒ යටගියාව සොයා ගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෑතකාලීනව මේ බිමට පා තබන්නේ ඉකුත් දෙදහස්   එකොළහේදී ය. ඊට පෙර එහි විධිමත් කැණීම් කටයුතු කෙරෙන්නෙ, එක්දහස් නවසිය හැටදෙක තරම් ඈත කාලයේදී ය. ඒ, එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කළ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරගේ අධීක්ෂණයෙනි.  දීඝවාපී පුදබිම යුග ගණනාවක අතීතයකට අයත් වග පුරාවිද්‍යා නිලදරුවන් හෙළි කර ගන්නේ, දෙදහස් එකොළහේදී කරන ලද පර්යේෂණ කැණීම්වලදී ය. ක්‍රි. ව.     අට නවය සියවස්වලට අයත් යැයි සැළකිය හැකි ෙශෙලමය ගවරූපයක්, සිංහ රුවක්, බුදු පිළිමයක ශීර්ෂයක් මතු නොව එකලට අයත් යැයි සැලකෙන කාසි, පබළු, කරාබු ආදිය ද එහිදී ඔවුහු මතුකැර ගන්නෝ ය.


ඉන් වඩාත් සුවිශේෂි වන්නේ, දීඝාවාපී පුදබිමෙන් හමු වූ ලෝකඩ මූර්ති ය. ෙචෙත්‍යයෙහි නැගෙනහිර දොරටුවේ සිට මීටර තිහක් පමණ ඊසාන දෙසින් වන සලපතළ මළුවෙහි ගරා වැටුණ පස්තට්ටුවක කරන ලද කැණීමකදී මෙම ලෝකඩ ප්‍රතිමා හමු වී තිබිණි. සෙන්ටි මීටර එකොළහක උසකිනුත්, සෙන්ටිමීටර අටක පළලකිනුත් හෙබි මේ ප්‍රතිමා බොහොමයක් කුමනාකාරයේ රූප ද යන වග හෙළි වී නිශ්චිතව හෙළි වී නැතත්, ඒවා සතරවරම් දේව රූප යැයි සැකයක් පවතී.


දීඝවාපී මහ සෑය කුමන කාලයකදී ඉදිකරන ලද්දක් දැයි නිශ්චිත නැත. එහෙත් ඒ හා බැඳුණ අපූරු කතා බොහොමයකි. මහාවංශය සාක්ෂි දරන්නේ, දීඝවාපිය  සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දක් බවය. දුටුගැමුණු රජු අනුරපුර එක්සේසත් කරන සටනේ දී, ඔවුනට අවැසි ආහාර පාන ලබා දෙනු වස්, දීඝවාපී ජනපදය අස්වද්දා ඇත්තේ සද්ධාතිස්ස ය. දුටුගැමුණු රජුට පසුකාලීනව රජ වූ සද්ධාතිස්සයන් දීඝවාපී සෑයට කංචුකයක් කරවා පූජා කළ බව ද මහාවංශයේ සඳහන් ය. මහාවංශ ටීකාව එය විස්තර කරන්නේ, “සත් රුවනින් හෙබියාවූ කංචුකයක් කරවූවා” යනුවෙනි.


ක්‍රි. ව. දෙවන සියවසේ අනුරාධපුරයේ රජ කළ කනිෂ්ඨ  තිස්ස රජු විසින් මෙම දාගැබ් වහන්සේ ප්‍රතිසංස්කරණය කළ බවට ද ඉතිහාසය සාක්ෂි දරන්නේ ය. ඒ බව වඩාත් තහවුරු වී ඇත්තේ බටහිර වාහල්කඩ සංරක්ෂණය               කිරීමේ දී හමු වූ රන් කරඬුවක තිබූ රන්පතකිනි. මේ රන්පත බහා තිබූ කරඬුව තැන්පත් කර තිබි ඇත්තේ, ගල් කරඬුවක් තුළ ය. ඒ සියල්ල සකසා තිබුණේ දාගැබ් ආකාරයට බව පුරාවිද්‍යාඥයෝ පවසති. එහි තේරුම, ක්‍රිස්තු වර්ෂ දෙවන සියවස වන විට ද, කොත්කැරැල්ලක් සහිතව නිමවන්නට තරම් දාගැබ් කර්මාන්තය සුවිශේෂී වූ වග ය.


එහෙත් අද වන විට දකින්නට ඇත්තේ, ඒ මහා සෑයේ ගර්භ කොටස පමණි. දීඝවාපී මහ සෑ රදුන්ගේ උස ප්‍රමාණය නිශ්චිත නැත. එහෙත් අදට ඉතිරිව ඇති ගර්භ කොටසෙහි පමණක් උස අඩි හැත්තෑපහත්, අසූවත් අතර වේ. දාගැබෙහි වට ප්‍රමාණය අඩි හත්සිය පනහකි.


හෙළ බොදු උරුමයේ සාරයෙන් ඔප වැටුණ මේ බිමට මුලින් ම සතුරුකම් කළෝ, ඉංග්‍රීසිහු ය. අධිරාජ්‍යවාදීන්ගේ රුදුරු හස්තයෙන් මිරිකුණ, දිගාමඬුල්‍ලේ වැව් අමුණු සියල්ල ම මෙන්  මේ පුද බිම ද නටබුන්ව ගියේය. තේජසින් විරාජමානව ඉහළ නැඟි මහා සෑය ගරා වැටී, ඒ මත රූස්ස ගස් ඉදි වූයේ ඉන් මත්තෙනි. ඉංග්‍රීසින්ගෙන් මිදුණ ද වහල් බවෙන් මිදෙන්න අමතක වූ නිසා ම, යටගිය බොහෝ දේ යළි මතු කැර ගැන්ම සිතූ තරම් ලෙහෙසි පහසු වූයේ නැත. එක්දහස් අටසිය හැට නවයේදී, එවකට මඩකලපුව දිසාව භාර දිසාපතිවරයාගේ නියෝගයක් මත, මේ මහා සෑය කැණීම් කර ඇත්තේය. එහෙත් ඒ, වෘක්ෂලතාවන්ගෙන් වැසී ගිය බොදු උරුමය සොයන්නට නොව, දාගැබෙහි ගඩොල් සහ ගල්කණු, ඒ අසල පිහිටි වීරඅඩි අමුණ සහ සෙංගප්පිලි වාරිමාර්ග ඉදිකිරීම සඳහා ගෙන යන්නටය.


ගරාවැටුණ පස්ගොඩැලි මතින් නැඟිසිටි දීඝවාපිය යළි හුදකලා වූයේ, පසුගිය දශක තුනේදීය. එවකට පැවැති එල්.ටී.ටී.ඊ. තර්ජන නිසාම මේ බිම වන්දනාමාන කරන්නට බොහෝ දෙනා මැළි වූහ.
ඒ සියල්ල අවසන, දීඝවාපී මහා සෑ රදුන් දැන් සැරසෙන්නේ, පස්ගොඩැලි මතින් සැඟවී ගිය සිය තේජස් රුව යළි මතුකැර ගැනුමට ය. පුරාවිද්‍යා නිලදරුවන් වෙහෙසෙන්නේ, එය යථාර්ථයක් කරනු සඳහා ය. ඉදින් අනාගතයේ දිනෙක, බුදුන්ගේ පාද ස්පර්ශයේ පහස ලැබූ පින්බිමෙහි සැඟව ගිය අසිරිය යළි සියැසින් දැක බලා ගැන්මට අපි වාසනාවන්ත වනු ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.