lakbima.lk

පරිගණක ක්‍රීඩා කරන්න දෙන්න එපා: දරුවන්ගේ ඇස් දුර්වල වෙනවා

අප කුඩාකල ඇස්කණ්ණාඩි පැළඳි කුඩා ළමුන් දැකීම දුර්ලභ කරුණක් විය. එය කොතෙක් දුර්ලභවීද යත් පන්තියේ උපැස් පැළැඳි සගයන් අප හැඳින්වූයේ කණ්ණාඩිය විශේෂණ දයක් ලෙස මුලට දමාය. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනසය. පාසලක් නිමවන වේලාවක ඔබ එතැන සිටිනතාක් කණ්ණාඩි පැළඳි කුඩාදරුවන් ඕනෑතරම්  දැකගත හැකි වනු ඇත. රටේ අනාගතය බරගැනීමට සිටිනා පරපුර දෘෂ්ටි ආබාධ සහිත වූවන් වීම සැබැවින්ම බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. එහෙයින් වර්තමානයේ පාසල් සිසුන්ගේ දෘෂ්ටි ඌනතා පිළිබඳ විමසා බලන්නට අප තීරණය කළෙමු.
රාගම ශික්ෂණ රෝහ‍ලේ විශේෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වත්සලා ගුණසේකර පවසනුයේ වර්තමානයේ පාසල් සිසුන් අතර දෘෂ්ටි ඌනතා බහුල බවත් ඊට හේතු කිහිපයක්ම බලපාන බවත්ය.
ඒ අතරින් මුල් තැනට ඇත්තේ පරිගණක ක්‍රීඩාවල නිතර නිතර යෙදීම සහ බහුල ලෙස ලැප්ටොප් පරිගණක භාවිතා කිරීමය. ඉතා සමීප දෘෂ්ටියක් සහිතව භාවිතාකරණ මෙම උපකරණවලට නිතර හුරුවීම නිසා කුඩාදරුවන් අතර දුර නොපෙනීම (අවිදුර දෘෂ්ටිකත්වය) ඇතිවන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය වත්සලා ගුණසේකර පවසන්නීය. ළමුන් අතර ඇස්කණ්ණාඩි පළඳින ප්‍රමාණය ඉහළ යෑමට මෙම තත්ත්වය හේතුවී ඇති බවත් දිනෙන් දින ඉහළ යන තාක්ෂණික උපකරණ භාවිතය නිසා බාල පරපුර දෘෂ්ටි ආබාධ සහිත වූවන් වීමේ පැහැදිලි අවධානයක් ගොඩනැගෙමින් පවතින බවද ඈ පවසන්නීය.
ෆේස් බුක්, ට්විටර් වැනි විනෝදාත්මක සබඳතා මෙන්ම යූටියුබ්, ෆොටෝෂොප්, ෙවබ් ඩිසයිනර්, ඔන්ලයින් බිස්නස් වැනි අවශ්‍යතා වෙනුවෙන් ඇතැම්විට දවස පුරාම දුරකථනයේ හෝ පරිගණකයේ රැඳී සිටින අය බොහෝය. පාසල් වයසේ දරුවන් අතරද මෙම ප්‍රවණතාව වේගයන් ඉහළ යෑමක් දැක්විය හැක. විනෝදස්වාදය හා දැනුම පහසුවෙන් ලබාගත හැකි වුවද මේ ඔස්සේ ඔබේ ජීවිතයට නොඑසේනම් ඔබේ දරුවාගේ ජීවිතයට අවාසනාවන්ත ඉරණමක් වන බව ඔබ අමතක කර දැමීම කනගාටුවට කරුණකි.
පරිගණක ක්‍රීඩාවල යෙදීම, වීඩයෝ ගේම්ස් නැරඹීම, ලැප්ටෝප ආදිය එකදිගට පැය ගණන් භාවිතා කිරීම ඇසේ දෘශ්‍යාබාධික තත්ත්වයන් ඇති වීමට බලපාන බව පරස්තුත ගණනාවකින් තහවුරුව ඇති කරුණකි. එහෙත් මේ පිළිබඳ ගුරු දෙගුරුන්ගේ අවධානය ප්‍රමාණවත් පරිදි යොමුව නොතිබිම නිසා වසරින් වසර ඇස්කණ්ණාඩි පළඳින දරුවන්ගේ ගණන ඉහළ යමින් පවතී.
පාසල් ළමුන් උපැස් යුවළ පාවිච්චි කිරීමට හේතුවන තවත් කරුණු කීපයක් ඇත.
අවිදුර දෘෂ්ටිකත්වය, දුර දෘෂ්ටිකත්වය, ඇස් වපරය. මෙම රෝගී තත්ත්වයන් හේතුවෙන් බොඳ වූ ඡායාවක්
දෘෂ්ටිවිතානය මත පතිත වීම සිදු වේ. එනම් බොඳ වූ ප්‍රතිබිම්භයක් දෘෂ්ටිවිතානය මත පතිත වූ විට එම වස්තුව නොපෙනේ. මේ තත්ත්වය නිවැරදි කර ගැනීමට එනම් පෙනීම යථා පරිදි සකසා ගැනීමට කෘත්‍රිම ආධාරකයක් ලෙස ඇස්කණ්ණාඩි භාවිත කිරීමට සිදුවෙයි. එබඳු කාචය මගින් බොඳ වූ ඡායාව පැහැදිලි ප්‍රතිබිම්බයක් ලෙස
දෘෂ්ටිවිතානය පතිත කිරීම සිදුවන බව වෛද්‍යවරිය පැවසුවාය.
ඇස්පෙනීම දුර්වල ළමුන් ආයාසයෙන් යම්යම් දේ බැලීම නිසා ඔවුන්ගේ ඇස් වපර වීමටද ඉඩකඩ තිබේ. එවැනි දරුවන් උපැස් යුවළ භාවිත කිරීමෙන් ප්‍රතිබිම්බය නිවැරදිව පෙනීමට අමතරව ඇසේ වපරයද නැති විය හැකි බව ඇය සඳහන් කළාය.
ප්‍රතිබිම්භයක් දුටු විට එය මොළයට යන්නේ දෘෂ්ටි ස්නායුව දිගේ. දෘෂ්ටි ස්නායුව දෘෂ්ටි විකාශනයට සම්බන්ධයි. එවිට මොළයෙන් තමයි තේරුම් ගන්නේ මෙ දැක්කේ මොකක්ද කියලා.
එ අනුව අපැහැදිලි ඡායාවක් එන්ම බොඳ වූ ප්‍රතිබිම්භයක් දෘෂ්ටි විතානපට පතිත වූ විටත් එය මොළයට යනවා. අපැහැදිලි ඡායාවක් දෘෂ්ටි ස්නායුව දගේ මොළයට ගියාම මොළය කරන්නේ අපහැදිලි ප්‍රතිබිම්භය මත ඇස අමතක කිරීමයි. එවිට එම ඇස කම්මැලි වෙනවා. මෙහෙම අමතක කරලා කාලයත් සමග මොළය එම ඇස ස්ථාවරවම අමතක කරනවා.
වයස අවුරුදු 16 ඉක්මවූ පසු ඇහැ නැවත යථා තත්ත්වයට ගන්න අමාරුයි. ඒ නිසා තමයි කුඩා කාලයේදීම කණ්ණාඩි දාලා ඇසේ අවි දුර දෘෂ්ටිතත්ත්වය ඇති වූ විට එය නිවැරදි කර ගන්නේ.
එසේම දරුවන් අතර මන්ද ‍පෝෂණ ඌනතාවයද දරුවන්ගේ ඇස්පෙනීම අඩු කිරීමට සෘජුවම බලපෑම් කරයි. වැඩි ‍පෝෂණ ගුණයක් ලබාදෙන පලාවර්ග, ආහාරයට ගැනීමට කුඩා දරුවෝ කොහොමටත් උදාසීනය. බොහේ දරුවන් පලාවර්ග වැනි දේ ආහාරයට ගන්නේ අම්මා බත් කවනකොට පමණි. එමෙන්ම කාර්ය බහුල අධ්‍යාපන ක්‍රමය නිසාද දරුවන්ට ‍පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වෙයි. බොහෝ පාසල් සිසුන්ගේ උදෑසන සහ දහවල් ආහාරය කෙටි කෑමවලට සීමාවන අවස්ථා සුලභය. එමෙන්ම මව්පියන්ගේ කාර්යබහුල බවද දරුවන්ගේ ‍පෝෂණයට සෘජුවම බලපෑම් කරයි. මේ සියලු කරුණු නිසා අඩාලවන ළමුන්ගේ ‍පෝෂණය සෘජුවම ඔවුන්ගේ ඇස්පෙනීමට බලපෑම් කරයි. ඊට අමතරව තවත් සෞඛ්‍ය ගැටලු රැසක්ද ඇති කරයි.
රාත්‍රී බොහෝ වේලාවක නිදිමරා පාඩම් කිරීම හා නියමිත ආලෝක තත්ත්වයක් නොමැතිව පාඩම් කිරීම, ‍පොත්පත් කියවීම මගින්ද දරුවන්ගේ ඇස්පෙනීම බරපතල ලෙස අවධානමේ හෙලයි. කළුවරේ හෝ අඩඅඳුරේ පාඩම් කිරීමද දරුවන්ගේ දෘෂ්ටී තත්ත්වය පහළ දමයි.
දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ඇස් කණ්ණාඩි ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත එය සිදු කිරීම වැදගත්ය. එමෙන්ම කුඩාදරුවන්ට ලබාදෙන ඇස්කණ්ණාඩි නියමිත කාලයේදී වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරීමෙන් පසු මාරු කිරීමද කළ යුතුය. ඒ සියල්ලටම වඩා අකලට කණ්ණාඩි භාවිත කිරීමේ වැදගත් කම දරුවන්ට පහදා දීමද දෙමාපියන්ගේ වගකීමකි.
අතීතයේ දරුවන් උපැස් යුවළ භාවිතා කිරීමට සාපේක්ෂව වර්තමානයේ එය වැඩිවීමට තවත් හේතුවක් වන්නේ වැඩිහිටියන්ගේ සාක්ෂ්රතාවය හා දැනුවත්භාවය වැඩිවීම නිසා දරුවන් වාර්ෂිකව ඇස් පරීක්ෂාවට යොමු කොට ඇස් සම්බන්ධයෙන් විමසිලිමත් වීමත් උපැස් යුවළ භාවිත කරන පිරිස අතීත සමාජයෙන් කොන්වුවද අද එසේ නොවීමත් යන හේතූන් බලපා ඇතැයිද ඇය පැවැසුවාය.

රාගම ශික්ෂණ රෝහ‍ලේ විශේෂ අක්ෂි ශල්‍ය වෛද්‍ය වත්සලා ගුණසේකර

තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.