lakbima.lk

වයඹ ශ්‍රී විභූතිය යළි පිබිදෙයි

එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය සහ වයඹ ඇළ දෙවන අදියර ඇරඹීම නිමිත්තෙනි.
ශ්‍රී ලංකාව වැවයි, දාගැබයි, කෙතයි යන පදනමින් සමාජ ක්‍රමය ගොඩනගාගත් කෘෂිකාර්මික රටකි. පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ශ්‍රී ලංකාවට හිමිවූයේ අප පුරාණ රජවරු කෘෂිකර්මාන්තයට දැක්වූ ළැදියාවෙන් ලද ‍පෝෂණය හේතුවෙයි.
පෙර රජ දරුවන් ගෙනගිය රටේ සංවර්ධනය මැනවින් තේරුම්ගත් රාජ්‍ය නායකයෙකු ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද දැක්ම වනුයේ මේ රට යළි නඟා සිටුවිය හැක්කේ කෘෂිකර්මාන්තය පදනම් කර ගනිමින් බවයි. කෘෂිකර්මාන්තය සහ ගොවි ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් පුළුල් වැඩකොටසක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන්නේ එම අරමුණ පෙරදැරිවය.
රටේ කෘෂිකර්මාන්තය සහ ගොවි ආර්ථිකය නඟා සිටුවීමේදී ප්‍රධාන සාධකයක් වන්නේ වාරි කර්මාන්තයේ පුනරුදයක් ඇති කිරීමයි. ඒ කෘෂිකර්මාන්තයේ රුධිරවාහිනී වන්නේ මෙරට වාරි පද්ධතිය බැවිනි. නිදහසින් පසු යුගය තුළ, අපේ වාරි පද්ධතිය ගොඩනැගීම සඳහා හිටපු රාජ්‍ය නායකයන්ගේ මගපෙන්වීම යටතේ විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවුණද කෘෂිකාර්මික ජල සම්පාදනය කෙරෙහි වත්මන් යුගයේ තරම් අවධාරණයක් ලබාදුන් අවස්ථාවන් එම යුගයන්හිදී සනිටුහන් නොවුණි.
මහවැලි ව්‍යාපාරය පරිපූර්ණත්වයට පත් කරමින්, එම ව්‍යාපෘතියේ පංච මහා ජලාශයන්ගෙන් කෘෂිකාර්මික ජල සම්පාදනයට මුල් තැන දුන් එකම ජලාශය වූ මොරගහකන්ද- කළුගඟ ව්‍යාපෘතිය දැන් සාර්ථකව නිමවෙමින් පවතී. කෘෂිකාර්මික ගොවිබිම් පුරා විසිරී ඇති වැව් පද්ධතිය යළි පිළිසකර කොට ශ්‍රී ලංකාවේ වියළි කලාපය සරු ගොවිබිමක් බවට පත් කිරීමට දිවයිනේ වැව් 2400ක් එකවර ප්‍රතිසංස්කරණය කිරීමේ මහා ව්‍යාපෘතියටද දැන් ජනාධිපතිතුමාග් මගපෙන්වීම යටතේ පණ ‍පොවා ඇත.
එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය.
භූ විෂමතා ලක්ෂණ උපයෝගී කරගනිමින් කුඩා වැව් ගණනාවක් එකිනෙක සම්බන්ධ කර මහවැවක් ‍පෝෂණය කරන පද්ධතියක් එල්ලංගා පද්ධතියක් ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ලොව මවිත කළ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදයක් වන මෙම වැඩපිළිවෙළ හරහා මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ යළි පිබිදීමක් ඇති කිරීම ජනාධිපතිතුමාගේ අරමුණයි.
ඒ අනුව එල්ලංගා පද්ධති මගින් සබැඳුණ දිවයින පුරා ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරය මෙම 24 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාතෙන් ආරම්භ කෙරෙයි.
වියළි කලාපයේ ග්‍රාමීය වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ වියළි කලාපයේ ගංගා ද්‍රෝණි ආශ්‍රිත ගොවි කටයුතු දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දිය හැකි පිරිදි වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. එල්ලංගා වැව් පද්ධතිය වැඩිදියුණු කිරීමෙන් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙයි. උප ගංගා ද්‍රෝණි ප්‍රතිසංවිධානය කිරීම හා දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය හා වැඩි ඵලදාවක් ලබාගත හැකි පරිසරයට උචිත බෝග තෝරා ගැනීම, නිෂ්පාදන වැඩිකරගැනීම සහ අලෙවි කර ගැනීමේ පහසුව තුළින් අතමිට සරුවීම, ජීවනගුණය ඉහළ නංවා ගැනීමට සහයවීම සිදුවෙයි.
අතීතයේ සිටම අපේ උරුමය වී තිබූ වැව් ජාල පද්ධතිය මගින් මනා ජල කළමනාකරණයක් මෙන්ම, සාමයෙන් හා සහජීවනයෙන් ජලය බෙදා හදා ගැනීම පිළිබඳ පැරණි ජන සමාජයේ තිබූ වගකීම් සහ යුතුකම් පිළිබඳ මානව ගුණ ධර්ම ක්‍රියාකාරිත්වය පැහැදිලි වේ. කාලයාගේ අවෑමත් සමග අද එදා අප කතා කළ ශ්‍රී විභූතිය අප අතරින් ඈත් වී ඇත. වියැකී ගිය එම ශ්‍රී විභූතිය නැවත සජීවිකරණය කිරීම මේ හරහා සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින්ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබෙන යුගයක මෙම වැඩපිළිවෙළ මෙරට වාරි කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනු ඇත.
වයඹ පළාතේ පමණක් වැව් 353ක් සංවර්ධනයට වයඹ පළාතේ ජනතාවගෙ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක් වූ වයඹට ජලය ඉල්ලා හැඬූ කඳුළු කතාව නිමාකරමින් එම ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කෙරේ.
රට තුළ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද වයඹ පළාත හා ඒ අවට ප්‍රදේශ රැසකට අවශ්‍ය ජලය ලබාදීම පැවැති සෑම රජයකින්ම අතපසුවීම නිසා එම ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවිය. ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වූ ජලය නොලැබිම පමණක් නොව පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීම නිසා එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමකට ඇද වැටුණු අතර, වකුගඩු රෝගයට ගොදුරුවන සංඛ්‍යාවද දිනෙන් දින වර්ධනය විය. මෙසේ පීඩාවට පත්ව සිටි මෙම ජනතාවගේ සුබ සිද්ධිය පිණිස අතපසු වූ ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ මෙහෙවර, ජනතා හදගැස්ම හඳුනන නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ක්‍රියාවට නංවා තිබේ.
එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරය යටතේ වයඹ පළාතේ පමණක් වැව් 353ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන්නේ මේ අනුවය. ඇහැටුවැව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 91ක්ද, ‍පොල්පිතිගම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 119ක්ද, මහව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 107ක්, ග‍ලේවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 30ක් සහ පලාගල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 01ක්ද දඹුල්ල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ වැව් 05ක් වශයෙන් සංවර්ධනයට ලක් කිරීම එහිදී සිදු වෙයි.
මහවැලි ජලය වයඹට හරවයි.
වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක සිට යල-මහ කන්න දෙක අස්වැද්දීමට අවශ්‍ය ජලය නොමැතිවීමේ ගැටලුවට විසඳුම් ලබාදෙමින් මොරගහකන්ද-කළුගග මහා වාරි ව්‍යාපෘතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ 2016 වසරේදී වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.
මාත‍ලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් පද්ධතින් වෙත ජලය සපයා වෑමැඩිල්ල හා දේවහුව යන මහා වාරි ව්‍යාපෘතිවල සුරක්ෂිත ජල සැපයුම ලබාදීම හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පානීය ජල හිඟයට තිරසාර විසඳුමක් ලබාදීමද මෙමගින් අපේක්ෂිතයි.
වාර්ෂිකව අක්කර අඩි 105,000කට වාරි ජලය අඛණ්ඩව ලැබිම, කුඩා වැව් 353ක් සහ ප්‍රධාන වැව් 08ක් මහවැලි ජලයෙන් ‍පෝෂණය වීම, වගාබිම් හෙක්ටයාර් 12,500ක් සංවර්ධනය වීම මෙහි ප්‍රතිලාභ වන අතර ප්‍රතිලාභ පවුල් සංඛ්‍යාව 13,500කි. මහවැලි ජල සුරක්ෂතතා වැඩසටහන යටතේ රුපියල් දස ලක්ෂ 16,000ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර 2024දී අවසන් කිරීමට නියමිතය. එහි පළමු අදියරේ ඉදිකිරීම් 50ක් පමණ මේ වනවිට සාර්ථකව නිම කර තිබෙන අතර වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් වයඹ පළාතේ උතුරු කොටස වෙත මහවැලි ජලය හරවමින් එහි දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීම මෙම 24 වනදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.
එක්දහස් නවසිය හැටේ දශකයේ මහවැලි ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම වයඹ ගොවි ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරියේද ඉල්ලීමක් වූ මහවැලි ජලය වයඹට යන්න යථාර්ථයක් බවට පත් කිරීමට ඒ අනුව වත්මන් රජයට හැකියාව ලැබි තිබේ.
අතීත ශ්‍රී විභූතිය යළි කැඳවන්නට වැවයි, දාගැබයි, ගමයි පන්සලයි යන්න එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සභ්‍යත්වය හැඩ ගැස්වූ චින්තනයයි. කෘෂිකර්මාන්තය වටා ගොඩනැගෙන්නේ ජීවනෝපායක් පමණක් නොවේ. අපගේ සභ්‍යත්වයද, ජාතියක් ලෙස අප එකට බැඳ තබන ආකල්පය සහ අභිමානයද ඒ හරහා ගොඩනැගෙයි.
කෙතරම් ඉහළ ආයෝජන අපේ රටට ගලා ආවද, ඉහළ කාර්මීකරණ දියුණුවක් අත්කරගත්තද ස්වයං‍පෝෂිත සහ අභිමානවත් ජාතියක් ලෙස නැගී සිටීමට අපට විශ්වාස තැබිය හැකි එකම මාවත වන්නේ කෘෂිකර්මාන්තයයි. ඒ අනුව නිදහස් ඉතිහාසයේ පළමු වරට කිසිවෙකු මග නොහැරෙන අන්දමේ කෘෂිකාර්මික සංවර්ධන
වැඩපිළිවෙළක් අද දියත් කර තිබේ.
රටේ සංවර්ධනය යනු මහා ණය කන්දක් ලබාගෙන කොන්ක්‍රීට් සංවර්ධනයක් සිදුකිරීම පමණක් යැයි සිතූ යුගයක් නිමා කරමින් ණය බරින් නිදහස්ව සහ අපේ උරුමය සහ අභිමානය සුරකින ස්වයං‍පෝෂිත ජාතියක් ලෙස යළි නැගීසිටීමේ උත්තුංග මෙහෙවර ජාතියේ අනාගතය වෙනුවෙන් අද මෙලෙස දියත් වෙමින් පවතී.
මෙහි ප්‍රතිලාභ අදට වඩා හෙට දවසටය. කන්න, අඳින්නට පිටරටින් නැව් එන තුරු බලා නොසිටින අපේ උරුමය සහ අතීත දායාදයන් සමග යළි ගොඩනැගුණු ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපට හෙට ලොව දිනා ගැනීමට ඒ අනුව හැකියාව ලැබෙනු ඇත.

සුසන්ති ප්‍රදීපිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.