lakbima.lk

පෝට් සිටියේ පළමු අදියරේ වැඩ තව ටික දවසකින් අවසන්

භූමි ප‍්‍රමාණය
    
    මේ වෙද්දී පෝට් සිටි එකේ වැඩ පටන් අරගෙනයි තියෙන්නේ. ඒ කොළඹ වරාය ආසන්නයේ ගෝල් ෆේස් එක කිට්ටුවෙන්ම තිබෙන බිම් කඩක. බිම් කඩක් කිව්වාට මේ පෝට් සිටි එක හදන්න යන බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 269 ක්. මේ බිම් ප‍්‍රදේශයට අයිති වෙන්නේ ගෝල්ෆේස් මුහුද. ඒ කියන්නේ මුහුදේ හෙක්ටයාර 269 ක බිම් ප‍්‍රදේශයක් ගොඩ කරලා තමයි මේ කියන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදි කරන්නේ. ඒ කියන්නේ අක්කරවලින් නම් 665කට ආසන්න ප‍්‍රමාණයක්. වර්ග කිලෝ මීටර්වලින් නම් 2.33ක විතර ප‍්‍රමාණයක් තමයි මේ භූමියට අයිති වෙන්නේ.

කාලය සහ වියදම
    

    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අදියර කීපයක් යටතේයි. පළමුවෙනි අදියරේ වැඩ මේ වෙද්දී ආරම්භ වෙලයි තියෙන්නේ. පළමු අදියරට අනුව ඉස්සෙල්ලාම කරන්නේ සම්පූර්ණ බිම් ප‍්‍රමාණයම ගොඩ කරන එකයි. ඒ වගේම දියකඩනය ඉදිකිරීමත් පළමු අදියරේ දී අවසන් කරන්න නියමිතව තිබෙනවා. මේ අදියරේ වැඩ සම්පූර්ණ කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් වැය වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ මුදල ආයෝජනය කරන්නේ මේ ව්‍යාපෘතියේ සැලසුම නිර්මාණය කරලා තිබෙන චීනයට අයත් චයිනා කමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම විසිනුයි. 2015 අවුරුද්දේ තමයි පළමු අදියරේ වැඩ පටන් ගත්තේ. එය මාස 39 ක් තුළ අවසන් කරන්න නියමිතව තිබෙනවා. ඒ කියන්නේ අවුරුදු 3 කුත් මාස 3 ක් ඇතුළත පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ඒ කියන්නේ පළමු අදියරේ වැඩ අවසන් වෙන්න ඔන්න මෙන්න තමයි මේ වෙද්දී තිබෙන්නේ. ඊළ`ගට දෙවෙනි අදියරේ වැඩ පටන් ගන්නවා. ඒ වෙනුවෙන් ගත වන කාලය අවුරුදු 8 ක්. ඒ කාලය තුළ කරන්නේ හෙක්ටයාර 95 ක බිම් ප‍්‍රමාණයක ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සම්පූර්ණ කරන එකයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් වුණාට පස්සේ එක් පර්චස් එකක් ලක්ෂ 200 ක විතර මුදලකට විකුණන්න පුළුවන් කියලා වරක් පාඨලී චම්පික රණවක ඇමැතිතුමා කියලා තිබුණා. පළමු වෙනි අදියරේ වැඩ අවසන් වුණු ගමන්ම මේ අලූත් නගරයේ බිම් කොටස් වෙන්දේසි කිරීමටත් පටන් ගැනීමට නියමිතයි.

අයිතිය කාටද?
    
    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකරන්න ප‍්‍රතිපාදන ලබා දෙන්නේ චීනය නිසා ඔවුන්ට මේ නගරයෙන් හෙක්ටයාර 20ක් සින්නක්කරව ලබා දෙන්න යනවා කියලා කතාබහක් පහුගිය කාලෙ ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ චීනයට අයත් ඉඩමක් ලංකාවේ තිබෙනවා කියන එකයි. නමුත් ශ‍්‍රී ලංකා රජය පසු කාලයේ ගත් තීරණවලට අනුව කලින් කියපු හෙක්ටයාර 20 ක භූමියේ සින්නක්කර අයිතිය චීනයට දෙනවා වෙනුවට ඒ භූමිය 99 අවුරුදු බදු පදනම මත චීනයට ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ කියන හෙක්ටයාර 20 භූමියට අයිති වෙන්නේ දැනට ලංකා සිතියමේ තිබෙන භූමිය නෙමෙයි, අලූත් නගරය ඉදිකරන්න මුහුද පුරවා ගොඩ කරන භූමියෙන් කොටසක් විතරයි කියලත් රජය කියලා තිබෙනවා.

හැදුවට පස්සේ?
    
    කොහොමින් හරි මේ ජාත්‍යන්තර මූල්‍ය නගරය හදලා ඉවර කළා කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? රජය කියන විදියට නම් මේ මූල්‍ය නගරය නිසා අපේ රටේ අයට රැුකියා අවස්ථා ලක්ෂ 4 ක් විතර බිහි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 4 ක් දෙනාගේ රැකියා ප‍්‍රශ්නය විසඳෙනවා. ඒ වගේම මේ නගරයේ බිම් කොටස් වෙන්දේසි කරද්දී ඒවා ලබා ගත් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට පුළුවන් තම තමන්ගේ ව්‍යාපාර මේ නගරය ඇතුළේ ආරම්භ කරන්න. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ වගේ භාණ්ඩ විතරක් නෙවෙයි සේවා පහසුකම් පවා මේ තුළින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සංචාරක නගරයක් බවට පත් කෙරෙන නිසා මේ නගරය පැය 24 ම නොනිදා අවදියෙන් සිටින නගරයක් බවට පත් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

පාරිසරික හානි
    
    මේ නගරය ඉදි කරන්න මුහුදින් වැලි ගොඩ දැමීමත්, තෝරාගත් ප‍්‍රදේශ 11 කින් කඩා ගත් කළුගල් යොදා මුහුද ගොඩ කිරීමත් සිදු වෙනවා. මේ ගැන පරිසරවේදීන්ගේ අදහස නම් එච්චර සුබදායක නැහැ. මේ ව්‍යාපෘතියට වැලි ලබා ගන්නේ හැඳල නගරයේ ඉඳලා මීගමුව දක්වා මුහුදු තීරයෙන්. ඒ මුහුදු තීරයේ වර්ග කිලෝ මීටර් 100 ක භූමියකින් වැලි ඝන මීටර් මිලියන 65000 ක් ලබා ගන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. නමුත් මේ ප‍්‍රදේශයේ මුහුද හාරා වැලි ලබා ගන්න පුළුවන් උපරිමය වන්නේ කිලෝ මීටර් 100 ක භූමියකින් වැලි ඝන මීටර් 1,10,000ක ප‍්‍රමාණයක් විතරයි කියලා පරිසරවේදීන් කියනවා. ඊට වඩා වැඩියෙන් වැලි ගොඩ දැමීමෙන් විශාල පරිසර හානියකට මුහුණ දෙන්න සිදු වෙනවා කියන එකයි ඔවුන්ගේ මතය. ඒ වගේම මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන කළුගල් කඩා ගන්න පුපුරන ද්‍රව්‍ය අධික වශයෙන් යොදන්න වෙනවා. ඒකත් පරිසරයට ඒ තරම් හිතකර නැහැ. මේ ව්‍යාපෘතියට වැලි හැරීම නිසා දැනට ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් 30,000 කට විතර රැකියා අහිමි වෙනවා කියලත් වාර්තා වෙලා තියනවා.

පාම් දුපත - ඩුබායි

    මුහුද ගොඩ කරලා නගර හදපු එකම රට අපේ රට නෙවෙයි. මීට කලින් ඩුබායි නගරයේත් මේ වගේම මුහුද ගොඩ කරලා කෘති‍්‍රම දුපතක නගරයක් හැදුවා. ඒ වැඬේ පටන් ගත්තේ 2001 අවුරුද්දේ. අවසන් කළේ 2011 අවුරුද්දේ. ‘පාම් අයිලන්ඞ්ස්’ කියලා නම් කරලා තියෙන මේ මූල්‍ය නගරය දුපත් තුනකින් යුක්තයි. මේවා ෂික්බා  කියලා නම් කරලා තියනවා. මේ දුපත් තුනට පාම් අයිලන්ඞ්ස් කියලා නම යොදන්න හේතුව ඒවා පාම් අත්තක හැඩයට ඉදිකරලා තිබීමයි. මේ දුපත් තුනේම හෝටල්, නිවාස, උද්‍යාන, ජල තටාක, ආපන ශාලා ආදිය ඉදිකරලා තියෙනවා. දුපත තමයි ලෝකයේ මිනිසා විසින් ඉදිකරන ලද විශාලතම කෘත‍්‍රිම දුපත විදියට සැලකෙන්නේ. ඒකෙ ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 15.3ක්. වර්ග කිලෝ මීටර් 5.72 යි.  දළ වශයෙන් මේ කෘත‍්‍රිම නගරය ඉදිකරන්න වියදම් වෙලා තිබෙන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් කියලයි වාර්තා වෙන්නේ.

පර්ල් දුපත - චීනය

    අපිට කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදි කරන්න ආයෝජන කරන චීනයේත් මේ වෙද්දී කෘත‍්‍රිම දුපතක මූල්‍ය නගරයක් ඉදිවෙමින් පවතිනවා. ඒක නම් කරලා තියෙන්නේ ‘පර්ල් දුපත’ කියලා. නමුත් ඒකෙ තිබෙන්නේ අඩ සඳක හැඩයක්. ඒකෙ ප‍්‍රමාණය හෙක්ටයාර 250 ක්. චීනයේ හයිනෑන් ප‍්‍රාන්තයේ හයිකෝ බොක්ක ආසන්නයේ ඇති මුහුදු සීමාවක් තමයි මේ දුපත වෙනුවෙන් ගොඩ කරන්නේ. පර්ල් දුපතේත් හෝටල්, නිවාස, උද්‍යාන, ජල තටාක, ආපන ශාලා ආදිය ඉදිකළත් එය පරිසර හිතකාමී දුපතක් බවට පත් කරන්න තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. මේ දුපතේ තිබෙන විශේෂත්වය තමයි දුපත චීනය එක්ක සම්බන්ධ වෙන්නේ බිම් තීරුවකින් නෙවෙයි පාලමකින්. මේ නගරය ඉදිකරන්න ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක විතර මුදලක් වැය කරන්නත් නියමිතයි.

පාවෙන දුපත - ප‍්‍රංශ පොලිනීසියාව

    ලෝකයේ පාවෙමින් පවතින පළමු දුපතේ වැඩත් මේ වෙද්දී පටන් අරගෙනයි තියෙන්නේ. ඒ ප‍්‍රංශ පොලිනීසියාවේ. මේ දුපතත් ඉදි කරන්නේ සංචාරක කලාපයක් බවට පත් කරන්නයි. හෝටල්, නිවාස, ආපන ශාලා, උද්‍යාන, ජල තටාක සහිතව ඉදි කරන මේ පාවෙන දුපත වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක විතර මුදලක් වැය කරන්න නියමිතව තිබෙනවා. 2020 අවුරුද්ද වෙද්දී ඔබටත් පුළුවන් මේ පාවෙන දුපතේ හෝටල් කාමරයක් විවේකය ගත කරන්න වෙන් කර ගන්න.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.