lakbima.lk

රත්නපුර කම්කරු කාර්යාලයට ගල් භීතියක්

ගල් පෙරළීමේ අවදානමක් ඇති බව පවසා මීට වසර දෙකකට පමණ පෙර රත්නපුරේ කම්කරු කාර්යාලය හා වන ජීවි කාර්යාලය විශාල කුලියකට වෙනත් තැනකට ගෙනයාමෙන් රත්නපුර නගර මධ්‍යයේ පිහිටි වටිනා ගොඩනැගිලි රැසක් මේ වනවිට වල්බිහි වී ඇති අතර ඒවායේ සමහර වටිනා දේ විවිධ පුද්ගලයෝ රැගෙන යමින් සිටිති.
අතහැර දැමූ රජය සතු එම ගොඩනැගිලි මේ වනවිට වල්බිහි වී ඇති අතර එම ගොඩනැගිලි තුළ හා ඒ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම, විවිධ පුද්ගලයන් කාන්තාවන් රැගෙන ඒම ආදී අපචාර රැසක් සිදුවෙන බවට අසල්වාසී ජනතාව චෝදනා කර සිටී. ඔවුන් පවසා සිටින්නේ ගල් පෙරළෙන බව පවසා එම කාර්යාලවලින් පැය අටක් රාජකාරී කරන නිලධාරීන් ඉවත්ව ගියද ඒ ආසන්නයේ පැය විසිහතරම රැඳී පදිංචි පවුල් 14ක ජනතාව එම ගල්වලට යට වී මළත් කමක් නෑ යැයි සිතා රජය හා වගකිව යුතු නිලධාරීන් කටයුතු කිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවයි.
එම ජනතාව වැඩිදුරටත් පවසා සිටින්නේ දේශපාලනඥයන්ගෙන්, වගකිව යුතු නිලධාරීන්ගෙන් අවදානම් ගල් ඇත්නම් ඒවාට පිළියමක් කර මෙම පවුල් දාහතරේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙසත් රජය සතු මෙම වටිනා ගොඩනැගිලි කුමන හෝ කටයුත්තකට යොදාගන්නා ලෙසත් අවස්ථා ගණනාවකදී විවිධ ඉල්ලීම් කළද ඒවා ඔවුන් තඹයකටවත් ගණන් නොගෙන විවිධ බොරු පවසමින් සිටින බවත්ය.
මේ පිළිබඳව අදහස් දැක්වූ සබරගමුවේ අපි සංවිධානයේ සභාපති හා සබරගමුවට හෙටක් සංවිධානයේ නියෝජ්‍ය කැඳවුම්කරු ජයසිරි මහතා මෙසේ පැවැසීය.
මා මෙම ප්‍රදේශයෙන් පසුගිය පළාත් පාලන චන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ මෙම නිවාස දාහතරේ ජනතාව මේ පිළිබඳව මා හට දන්වා සිටියා. ඒ අනුව මම මෙම තත්ත්වය සබරගමුව පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් ද අල්විස් මහතාට දැනුම් දුන්නා ඒ මොහොතේම මන්ත්‍රීවරයා මෙම ස්ථානයට පැමිණ මේ පිළිබඳව සොයා බලා ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳවත් කළයුතු පිළියම් පිළිබඳවත් රත්නපුර ප්‍රාදේශීය ‍ලේකම් වෙත දැනුම් දුන්නා නමුත් එතනින් එහාට මේ පිළිබඳව සැලකිය යුතු දෙයක් සිදු වුණේ නෑ. මම මේ අවස්ථාවේ සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමියගෙන් හෝ ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව ඇත්ත තත්ත්වය සොයාබලා මෙම ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දීමටත්, රජය සතු මෙම වටිනා ගොඩනැගි කුමන හෝ කටයුත්තකට යොදා ගැනීමට කටයුතු කරන ලෙසත්ය.
මෙම ස්ථානයේ නිවසක පදිංචි ඒ. විජේසිංහ මහතා මෙසේ පැවැසීය.
මෙම ගොඩනැගිලිවලට ඉහළින් ඇත්තේ තරමක් විශාල කන්දක් එම කන්ද මුදුනේ අවදානම් ගල් දෙකක් තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරීන් පැමිණ මෙම ගල් පෙරළීමේ අවදානමක් ඇති බවත් ඒවාට ඉක්මනින් පිළියමක් කළ යුතු බවත් එය සිදු කරන තෙක් මේ අවට ඇති රජයේ කාර්යාලද වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසත් නිවාස දහ හතරේ ජනතාවටත් මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් දැනුම් දුන්න. ඒ අනුව රජයේ කාර්යාල දෙක මෙතනින් ඉවත් කර ගත්තත් අපට යන්න තැනක් නැති නිසා අපි මෙම නිවාසවලම රැඳී සිටිනවා. මේ තත්ත්වය ඇති වී දැනට වසර දෙකක් පමණ වෙනවා. නමුත් තවමත් එම ගල් පෙරලුනේ නෑ. ළඟදී කුඩා ගලක් නම් පෙරළී ඇවිත් රජයේ ගොඩනැගිල්‍ලේ වැසිකිළියටද තරමක හානියක් සිදුවී තිබෙනවා.
දැන් කැලයට වැසී යමින් පවතින මේ ගොඩනැගිලි ආශ්‍රිතව විවිධ අකටයුතුකම් සිදුවෙනවා නිතර නිතර මේ ස්ථානයට විවිධ පුද්ගලයන් පැමිණ තැන් තැන්වල තබා ඇති කණුවල අලවා ඇති දේවල් රැගෙන යනවා. අපි හිතන්නේ මේවා අනිවාර්යයෙන්ම මත්කුඩු බවයි. විවිධ පුද්ගලයන් මේ ස්ථානයට පැමිණ පන්තිවලට මේ ස්ථානයෙන් ගමන් කරන ගෑනු ළමයින්ට නිරුවත පෙන්වන අවස්ථාත් මා දැක තිබෙනවා. රාත්‍රී කාලයට මෙම ස්ථානයට නිතර ත්‍රිරොද රථ පැමිණෙන බවට සද්දේ ඇහෙනවා. ඔවුන් කාන්තාවන් රැගෙන එනවා හෝ මත් ජාවාරම් සිදුකරනවා විය හැකියි. ඒ නිසා දැන්වත් මේ පිළිබඳව සොයා බලා ‍පොලීසිය ඇතුළු වගකිව යුත්තන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරනවා.
මෙම ස්ථානයේ නිවසක පදිංචි ජී.වී. ගුණපාල මහතා මෙසේ පැවැසීය.
මෙම ගොඩනැගිලි ආශ්‍රිතව දහවල් මෙන්ම රාත්‍රී කාලයටද විවිධ අපචාර කටයුතු සිදුවෙනවා. කවුරුවත් මේ පිළිබඳව සොයා බලන්නේ නෑ. ඒ නිසා ජාවාරම්කරුවන්ට මෙම ස්ථානය ඔවුන්ගේ විවිධ අකටයුතුකම්වලට තෝතැන්නක් වී තිබෙනවා. වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව සොයා බලා දැන්වත් පිළියමක් කළේ නැත්නම් මෙම ගොඩනැගිලි තවත් විනාශ වී යාවි. ඒ වගේම වැසි අධික කාලයට ඔය කියන අවදානම් ගල් පෙරළී ඇවිත් අපේ ජීවිතත් නැති වී යා හැකියි.
මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී ප්‍රභාත් මහේෂ්ද අල්විස් මහතා මෙසේ පැවැසීය.
මෙම ස්ථානයේ ඇති රජයේ කාර්යාල වෙනත් ස්ථානයකට රැගෙන ගියේ එම ගොඩනැගිලිවලට ඉහළින් ඇති විශාල ගලක් එම ගොඩනැගිලි මතට පෙරළී ඒමේ අවදානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය කළ දැනුම් දීමට අනුවයි. එම ප්‍රදේශයේ ජනතාව හා ජයසිරි මහතා මට මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී දැනුම් දුන් නිසා මා එම ස්ථානයේ තත්ත්වය සොයා බැලීමට ගියා. ඒ අසල නිවාස 14ක ජනතාවක් පදිංචි වී සිටිනවා. කාර්යාල ඉවත් කළා වගේම එතන ඉන්න ජනතාවගේ ආරක්ෂාවත් සැලසිය යුතුයි. ඒ නිසා මා මෙම තත්ත්වයත් කළ යුතු පිළියම් පිළිබඳවත් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට දන්වා සිටියා. නමුත් මට දැනගන්නට ලැබි තිබෙනවා මේ දක්වා මෙයට නිසි විසඳුමක් ලබා දී නොමැති බව. මේ දක්වා එම ගල් පෙරලුනේත් නෑ. ඊට පිළියමක් කර ඇත්තෙත් නෑ.
මේ පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභීත වනසුන්දර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඒ මහතා මෙසේ පැවැසීය.
එම ස්ථානයේ තිබුණ වන සංරක්ෂණ කාර්යාලයේ වැසිකිළිය මතට 2017 වසරේ ආපදා අවස්ථාවේ ගලක් පෙරළීම
නිසා හානි සිදු වුණා. ඒ නිසා එම කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත්තා. පසුව යාබදව තිබූ කම්කරු කාර්යාලයත් එම ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගියා. එතන ගල් පෙරළීමට වඩා වැඩි අවදානමක් තිබෙන්නේ කණ්ඩි කඩා වැටීමයි. ඉහළ තිබෙන ගල් කඩා ඉවත් කර එම අවදානම් තත්ත්වය මගහැරවිය හැකියි. කළයුතු පිළියම් පිළිබඳව මා එම ස්ථානය පරීක්ෂා කර නිර්දේශ ලබාදුන්නා. නමුත් තවමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ රත්නපුර ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය ඒ පිළිබඳව කටයුතු කර නෑ. මට දැන ගැනීමට ලැබුණා මුදල් ප්‍රතිපාදන නැතිකමින් මෙම වැඩපිළිවෙළ ප්‍රමාද වී ඇති බව.

සුනිල් පියතිලක - රත්නපුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.