lakbima.lk

ඇස්වහ කටවහ ගැන විශ්වාසයට ආගම් භේද නෑ

ශ්‍රී ලාංකික ජන සමාජයේ ගුප්ත විශ්වාසය පිළිබඳ ගවේෂකයකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන තිලක් සේනාසිංහ ලියූ එකොළොස් වන කෘතිය ඇස්වහ-කටවහ, දැන් නිකුත් වී තිබේ. එක්දාස් නවසිය හැටේ දශකයේ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් විසින් දියත් කරන ලද හේතුවාදී ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිණිස සුවිසල් දායකත්වයක් ලබා දෙන ගවේෂකයකු, ‍ලේඛකයකු සහ  මාධ්‍යවේදියකු ලෙස බොහෝදෙනකු හඳුනාගත් මෙම කෘතියේ රචකයාගෙන් ඒ පිළිබඳ කෙරුණු විමසීමකි මේ.

 හේතුවාදී ව්‍යාපාරයේ ප්‍රගමනය පිණිස මහත් සේ කැප වී ක්‍රියා කළ ඔබගේ “ඇස්වහ-කටවහ” කෘතිය තුළින් ඒ ලක්ෂණ වැඩිපුර ඉස්මතු වන්නේ නැහැ. ඊට හේතුව?

මා කළ ගවේෂණ ඒ ඇසුරින් ලියූ ‍පොත-පත සහ  පුවත්පත් ලිපි ආදියෙන් මෙරට හේතුවාදී ව්‍යාපාරයට යම් ධෛර්යක් ශක්තියක් අනුබලයක් ලැබෙන්න ඇති. නමුත් මා කිසිවිටෙක ඒ අරමුණ සිතේ දරාගෙන කටයුතු කොට නැහැ. මා සැමවිටම ක්‍රියාකොට ඇත්තේ නිදහස් චින්තනයෙන් ගවේෂකයෙක් හා ‍ලේඛකයෙක් ලෙසයි. ඒ අනුව මට හෘද සාක්ෂියට එකඟව ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ඒක මගේ මූලික අයිතිවාසිකමක්.

 නමුත් ඔබේ පළමුවෙනි කෘතිය “ජනකාන්ත මිථ්‍යා මත”. ඔබ එමගින් අප රටේ පවත්නා ජන සංස්කෘතිකාංග සහ ජන සම්ප්‍රදායන්වලට “මිථ්‍යා” ‍ලේබලය අලවා තිබෙනවා.

මෙතැනදී මට වැරදීමක් වුණා. ඉංග්‍රීසි භාෂාවේ මිත්  කියා වචනයක් තිබෙනවා.  දේව කතා, පැරණි වීරතකතා, ජනප්‍රවාද, පුරාණෝක්ති ආදිය වගේම සත්‍යයෙන් යථාර්ථයෙන් තොර විශ්වාසයන් ඒ (මිත්) කියන වචනයෙන් විස්තර කෙරෙනවා. මම මගේ  මුල් කෘතියේ ග්‍රන්ථ නාමයට “මිථ්‍යා” කියන වචනය යෙදුවේ ඒ සියල්ල අනාවරණය වන විදිහට. නමුත් පාලි භාෂාවේ එන  කියන වචනයත් (මිථ්‍යා) යනුවෙන් සිංහලයට නැගෙන අවස්ථා තියනවා. පාලියෙන් මිච්චා කියන්නේ වැරදි සහගත කියන එකට. කාම මිච්චාචාරය කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමට මිසක් කාමය මිථ්‍යාවක් සේ සලකා හැසිරීමට ‍නෙවෙයිනේ. කෙසේ හෝ අප රටේ ජීවත් වූ ප්‍රමුඛ පෙළේ සමාජ විද්‍යාඥයකු වූ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන්් එතුමන්ගේ කෘතීන්වල  ර්රබඩඵ ඉංග්‍රීසි වචනය “මිතයන්” වශයෙන්ම සිංහලෙන් ඉදිරිපත් කොට ඇති අන්දම මට වැටහී ගියේ මගේ මුල් කෘතිය නිකුත් වුණු පසුවයි. ඒ අනුව දැන් නම් මටත් හැඟෙන්නේ  ර්රබඩ කියන ඉංග්‍රීසි වචනයේ අරුත ලබාදෙන තනි සිංහල වදනක් නැති බවයි.

 වත්මන් සමාජයේ ගුප්ත විශ්වාස සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ එක්වරම “ඇස්වහ-කටවහ” දෙසට හැරුණේ ඇයි?

ශ්‍රී ලාංකීය සමාජයේ විවිධ ආගමික සංස්කෘතික සංදර්භයන්ට අයත් ජන කොටස් තුළ එක් එක් ගුප්ත විශ්වාස තිබෙනවා. නිදසුනක් හැටියට බෞද්ධයන් සහ හින්දුන් අතර පවතින ‍ජ්‍යොතිෂ්‍යය පිළිබඳ විශ්වාසය මෙරට කිතුණුවන් සහ ඉස්ලාම් භක්තිකයන් අතර ඇත්තටම නැති තරම්. ඒ වගේම සූනන් ඇඟ වැටීම උදයේ හෝ වැදගත් ගමනක් යනවිට ඉදිරියට මුණ ගැසෙන්නවුන් මුල් කොට සුභ අසුභ නිරීක්ෂණය කිරීම වගේ නිමිති ශාස්ත්‍ර පවා බුදු දහමට ඉඳුරාම පටහැනි වුණත් හින්දු සංස්කෘතික ආභාෂයෙන් අපේ බෞද්ධ සංස්කෘතිය තුළම ඒවාත් කාවැදී තිබෙනවා. නමුත් ඒක දේවවාදී ආගම්වන කිතුණු දහමෙනුත් ඉස්ලාම් දහමිනුත් මේවා ප්‍රතික්‍ෂේප කෙරෙනවා. නමුත් “ඇස්වහ-කටවහ” පිළිබඳ විශ්වාසය අප රටේ සෑම ආගමික සංස්කෘතියකට අයත් ජන කොටස් තුළ යම් යම් ආකාරවලින් පැවැතීම මා ඒ පිළිබඳව ගවේෂණය කිරීමට ‍පොළඹවන්න ඇති. මේ කෘතිය අවුරුදු දහයකට වැඩි කාලයක් තිස්සේ මා කළ ගවේෂණ රැසක ප්‍රතිඵලයක්.

 කිතුණුවන් සහ ඉස්ලාම් භක්තිකයන් “ඇස්වහ-කටවහ” පිළිබඳ විශ්වාස දැරීම ඔවුන්ගේ ආගමික සංකල්පවලට එකඟද?

මූලික ආගමික සංකල්ප කෙසේ වුණත් මේ ලෝකයේ පවතින නපුරු, අයහපත්, දුෂ්ට, ගුප්ත බලවේග නිසා තමන්ට නරකක්, නපුරක් අයහපතක් විපතක් ඇතැයි යන විශ්වාසය ලොව සෑම ජන කොටසක් තුළම තිබෙනවා. ඔවුන් ඉන් අත්වන මානසික පීඩාව දුරු කර ගැනීමට තමන්ගේ ආගමික සංස්කෘතික පදනමින් සහය ලබා ගන්නවා. “මෙම නිවසට බුදු සරණයි“ හෝ මෙම “නිවසට ජේසු පිහිටයි“ යනුවෙන් අලුතින් නැගෙන නිවෙස් ඉදිරියේ ලොකුවට ප්‍රදර්ශනය කිරීම වගේම සමහර ඉස්ලාම් භක්තියන්ගේ ත්‍රිරෝද රථ පිටුපස “මාෂාඅල්ලාහ්”යනුවෙන් ලොකු අකුරින් ප්‍රදර්ශනය කොට තිබෙනු ඔබත් දැක ඇති. අරාබි බසින්  “ මාෂාඅල්ලාහ්” කියන්නේ “අල්ලා දෙවියන්”ගේ කැමැත්ත පරිදි කියන එකයි. මේවාට තමයි ඇස්වහ-කටවහ නිවාරක කියන්නේ.

 ඔබේ ඇස්වහ-කටවහ කෘතියේ අප ජන සමාජයේ ඇස්වහ-කටවහ දුරුවීම සඳහා සිදු කරන සාම්ප්‍රදායික ප්‍රතිකර්මත් විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා. මෙය ඔබේම වදන්වලින් කියන “මිථ්‍යාව“ කෙරෙහි ජනතාව වැඩිපුර යොමු කරවීමක් නේද?

 ඇස්වහ-කටවහ පිළිබඳව විස්තර කිරීමේදී ඒවා සම්බන්ධ සාම්ප්‍රදායික නිවාරක ක්‍රම සහ ඒවා පිටු දැකීමේ ක්‍රම පිළිබඳව විස්තර නොකිරීම සැලකිය යුතු අඩුවක් නිසයි මා ඒ කරුණු මේ කෘතියට ඇතුළත් කළේ. මොකද
 ඒ සම්බන්ධ සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක් කිරීමයි මගේ මූලික අරමුණ වුණේ. ඒ වගේම ඇස්වහ-කටවහ පිළිබඳ මනෝවිද්‍යාත්මක වගේම මනෝ වෛද්‍ය විද්‍යාත්මක වශයෙනුත් පාඨකයන් දැනුවත් කිරීම අවශ්‍ය යැයි මට සිතුණා.

ඔබේ ඉදිරි කෘතීන්වලට තේමා වන විෂයයන් මොනවාද?

සුනඛයන් පිළිබඳව අපේ සමාජය දරන්නේ ඉතාම පටු පහත් ආකල්පයක්. ඊට මූලික හේතුව ඔවුන්ට ශිෂ්ටත්වයක් නොමැතිවීමයි. නමුත් සුනඛයන් තුළ එසේ ශිෂ්ටත්වයන් නැත්තේ ඔවුන්ගේ මොළයේ ෙඓන්ද්‍රීය වශයෙන් ඒ සඳහා වෙන්වුණු කොටසක් නොමැති නිසා මිසක් ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. නමුත් මිනිසුන් සදාචාර ධර්ම ලෙස අගයන ඇතැම් කරුණු සුනඛයන් තුළ මිනිසුන්ටත් වඩා හොඳින් පිහිටා තිබෙනවා. ඒ සම්බන්ධ සත්‍ය නිදසුන් සහ විද්‍යාත්මක කරුණු සහිත “සුනඛ මිතුරු අගය” නමින් කෘතියක් සම්පාදනය කිරීමට මා මේ දිනවල වෙහෙසනවා. එයත් මේ වසර තුළම එළි දැක්වීමටයි මගේ අදහස.

ඡායාරූපය - සිසිර හේමකුමාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.