lakbima.lk

‍පොළොන්නරුවේ ඇඟලුම් සේවිකාව පුලුස්සා මරා දැමූ “ප්‍රේමය”

අයේෂා මධුමාලී කිසිවකුටත් වරදක් නොකළ තරුණියක් බව එම කම්හ‍ලේ සේවිකාවෝ පවසති.                           ‍පොළොන්නරුව හිඟුරක්ගොඩ රතනසාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අ.‍පො.ස (උ.පෙළ) විභාගය සඳහා වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලට යන ඇය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් අහිමි වූ නිසා බාහිර උපාධිය හදාරමින් සිටියාය.

අයේෂා කෞෂල්‍යා මධුමාලි තරුණිය රැකියාව කළේ ‍පොළොන්නරුව කුරුප්පු හන්දිය ප්‍රදේශයේ ඇති ඇඟලුම් කම්හලකය. ඇය පදිංචිව සිටියේ   පොළොන්නරුව කරුවලගස්යාය, අක්කර අටසීය, අංක 3 නිවසේය. ඉකුත් අප්‍රේල් මස 10දා වැනදා මෙන් අයේෂා මධුමාලි නිවසින් පිටවන්නේ අලුත මිලදී ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන් නොව සුපුරුදු ගාමන්ට් බස් රථයෙනි.

ඇය බසයට නගින්නට නිවසෙන් පිට ආවේ පියා වන ඩබ්ලිව්.එම්.ඒ.ජී. ප්‍රේමරත්නගේ (51) යතුරුපැදියෙනි. බස් රථයෙන් කුරුප්පු හන්දියේ සේවාස්ථානයට වාර්තා කළ ඇය තමන්ට පැවැරී තිබුණු පරිගණක අංශයේ රාජකාරි කටයුතු නිමකර ඇය සේවා ස්ථානයෙන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පිටවීම සටහන් කරන්නේ සවස 6.32ටය.

වෙනදාට සේවා ස්ථානයෙන් පිට වූ වහාම පියා වන ප්‍රේමරත්නට දුරකථන ඇමැතුමක් ගන්නා අයේෂා මධුමාලි එදින කතා කළේ නැති නිසා පියා කලබලයට පත්විය. මම දුවගේ යාළුවෙක්ගෙන් ඇහුවාම කිව්වා ගෙදර යනවා කියලා ආවා කියලා. නමුත් රෑ වෙනකල් ආවේ නැති නිසා මම ගාමන්ට් එක ගාවට ගියා. ඒක වහලා තිබුණේ. ඒ නිසා මම පුලස්තිපුර ‍පොලීසියට පැමිණිල්ලක් කළා මගේ දුව අතුරුදන් වෙලා කියලා.


අයේෂා කෞෂල්‍යාගේ පියා පවසන්නේය. ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර ගණනාවක් සේවය කර විශ්‍රාම ගෙන සිටින ප්‍රේමරත්නට දුවගේ හදිසි අතුරුදන් වීම ගැන සැක ඇති විය. ඔහු ‍පොලීසියට පැවැසුවේ මේ පිළිබඳව සැකකරන ප්‍රධාන පුද්ගලයකු සිටින බවයි. ඉන්දික යන නමින් හඳුන්වන එම පුද්ගලයා කුරුප්පු හන්දියේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේම සේවය කළ අයෙකි. එම සැකය ඔස්සේ විමර්ශන කළ ‍පොලිස් කණ්ඩායම මෙකී ඉන්දික නමැත්තා අත්අඩංගුවට ගත්තේය. ඒ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ තොරතුරු අනුවය.


එක දවසක් මගේ ෆොන් එකට කෝල් එකක් ආවා. මම කවුද කියලා අහද්දී කවුද කියලා කීවේ නෑ. ඒත් දුව ගැන ඇහුවා. මම ඇහුවා කවුද කියලා ඒත් උත්තර නොදී මට බණින්න ගත්තා. ඊට පස්සේ ආයේ දවසක් කතා කළා. ඒ නොම්බරයෙන්මයි. එදා මිනිහ මට කුණුහරුපෙන් බැන්නා. මමත් බැන්නා. මිනිහ කිව්වා බලාගමු මම අත්හරින්නේ නෑ. පලිගන්නවා කියලා. ඒ ගැන අහපුවාම දුව කිව්වා ඔය මිනිහගෙන් මට හරිම කරදරයි කියලා.

එදා අප්‍රේල් 10දා වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට මට කෝල් එකක් ආවේ නැති හින්දා දුව බඳින්න ඉන්න ගම්පහ ළමයට කතා කරලා ඇහුවා දුව කතා කළාද කියලා. ඒ    ළමයා කිව්ව එයාට කතා කරලා ගෙදර යන බව කිව්වයි කියලා. මේ   තර්ජනය කරපු මිනිහා ගැන සැක හිතිලා ඒ ෆොන් නම්බර් එක ‍පොලීසියට දුන්නා.

අයේෂාගේ පියා කියන්නේය. මේ අතර දුරකථන විශ්‍ලේෂණ වාර්තාවලදී සැකකාර පුද්ගලයා කෙරෙහිම වඩාත් ප්‍රබල සාක්ෂි හා තොරතුරු ලැබිණි. මෙම ඝාතනයට සැකපිට අදාළ සැකකරු පසුගිය මැයි (13) දා පුලස්තිපුර ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය. ‍පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු මුලින්ම ‍පොලීසිය නොමග යවන්නට උත්සාහ කළේය. ඒත් ඉන් පළක් වූයේ නැත.


අපට තේරුණා මේ සැකකරු බොරු කියන බව හා මේ තරුණියගේ අතුරුදන් වීමට ඔහු සම්බන්ධ බව. ඒ අනුව ඇත්ත නොකීවොත් සිදුවන තත්ත්වයන් ගැනත් කීවට පස්සේ මිනිහා සියල්ල හෙළි කළා.
‍පොලිස් ස්ථානාධිපති පතිරණ මහතා කියන්නේය.


අයේෂා මධුමාලි ‍පොළොන්නරුව ලක්ෂ උයන මාර්ගයේ එක් ස්ථානයකට කැඳවාගෙන ගිය බවත් එහිදීත් තමන් සමග රණ්ඩු වීමට පටන් ගත් නිසා බෙල්ල මිරිකා දැමූ බවත් පසුව ඇද වැටුණු නිසා පිහියෙන් කිහිප පළකටම ඇන මීටර් 10ක් පමණ ඇදගෙන ගොස් පෙට්‍රල් වත්කර ගිනි තැබූ බවත් සැකකරුගේ පා‍පොච්චාරණයෙන් කියවිණි. ඒ සඳහා ඔහු පෙට්‍රල් ලීටර් දහයක් ගෙන ආ බවද කියා තිබිණි.


මම නම් හිතන්නේ මේ මිනිහට මේ සියලු දේවල් තනියම කරන්න බෑ. තව කාගේ හෝ සහයක් ලැබිලා තියෙනවා. කලින් සැලසුම් කරලා කරපු එකක්. මගේ දුව මෙහෙම මරාදාන්න මොකක්ද කරපු වැරැද්ද? ඒ මිනිහා බැඳපු මිනිහෙක් ළමයෙකුත් ඉන්න. අපේ ළමයගෙන් ආදරේ පතාගෙන ආවා නම් ආදරේ නාමයෙන් මරා දාන්න පුළුවන්ද? හිතා ගන්න බෑ. පියා වන ප්‍රේමචන්ද්‍ර  පවසන්නේය.


කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනුණු සැකකරු සමග ඝාතනය සිදුවූ ස්ථානය පරීක්ෂා කළ ‍පොලීසිය එම ස්ථානය අපරාධයක් සිදුවූ ස්ථානක් ලෙස සලකා  පරීක්ෂණ ක්‍රියාත්මක කළේය. පිලිස්සුණු ද්‍රව්‍ය හා අළු එම ස්ථානයේ තිබුණත් වෙනත් හෝඩුවාවක් නොවුණි. එම ස්ථානයට යාබදව තිබුණු පාවහන් යුගල දියණියගේ ඒවා බව පියා විසින් හඳුනා ගත්තේය. ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ ඝාතනය කර මෙම ස්ථානයට ඇදගෙන විත් පෙට්‍රල් වත් කළ බවයි. පිහිය හා දුරකථනය ඇළට විසිකළ බවද පවසා තිබිණි.

අධිකරණ නියෝග අනුව පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකළ අතර අපරාධය, ‍පොළොන්නරුව ‍පොලිස් වසමට අයත් ස්ථානයක සිදු වූ නිසා එහි පරීක්ෂණ කටයුතු ‍පොළොන්නරුව මූලස්ථාන ‍පොලීසියට භාර කෙරුණේය.
කෙසේ වෙතත් අයේෂා මධුමාලී කිසිවකුටත් වරදක් නොකළ තරුණියක් බව එම කම්හ‍ලේ සේවිකාවෝ පවසති. ‍පොළොන්නරුව හිඟුරක්ගොඩ රතනසාර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අ.‍පො.ස (උ.පෙළ) විභාගය සඳහා වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලට යන ඇය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් අහිමි වූ නිසා බාහිර උපාධිය හදාරමින් සිටියාය.

අධ්‍යාපන කටයුතුවලට ඇඟලුම් කම්හ‍ලේ වැඩකර ලැබෙන වැටුප කැප කළ ඇය අලුත් අවුරුද්දට ගෙදර සිටින අම්මාටත් තාත්තාතටත් අක්කාටත් මල්ලීටත් අලුත් ඇඳුම් ගෙනත් දුන්නාය. අලුත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්ද ගෙවීමේ ක්‍රමයට මිලදී ගත් ඇයගේ ගම්පහ ප්‍රදේශයේ සිටින පෙම්වතාගේ නිවැසියන් ගේ දොර බැලීමට සිංහල අලුත් අවුරුද්දට එන්නට සිටි බව නිවැසියෝ කීහ.


සිද්ධිය සම්බන්ධයෙන් වයඹ හා උතුරු මැද පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ජගත් අබේසිරිවර්ධනගේ හා උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන් ගහවත්ත යන අයගේ උපදෙස් පරිදි ‍පොළොන්නරුව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ධම්මික වීරසේකර හා ‍පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වාගේ මෙහෙය වීමෙන් පුලස්තිපුර ‍පොලීසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක පී.පී.කේ. පතිරණ, ‍පො.සැ. (26050) පතිරත්න, ‍පො.කො.වරුන් වන (43060) උපුල්, (33944) බණ්ඩාර, (31075) චම්පික යන නිලධාරීන්ද ‍පොළොන්නරුව මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද පරීක්ෂණ පවත්වති.

ප්‍රියන්ත බණ්ඩාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.