lakbima.lk

හැත්තෑහත් අවුරුද්දකට පෙර ජපන්නු කොළඹට බෝම්බ දැමූ පාස්කු ඉරිදා

එක්දහස් නවසිය හතළිස් දෙකේ දෙසැම්බර් මාසයේදී ජපානය, ඉංග්‍රීසීන්ට විරුද්ධව යුද ප්‍රකාශ කරන ලදී. ජපානය සිය ආධිපත්‍යය අග්නිදිග ආසියාව සහ දකුණු ආසියාවේ රටවල් දක්වා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව විය.
මේ නිසා ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ ශ්‍රී ලංකාව ජපනුන්ගේ ප්‍රධාන ඉලක්කයක් විය.

ඒ නිසා ඉංග්‍රීසි පාලකයන් ශ්‍රී ලංකාව යුද්ධයට සූදානම් කිරීම සඳහා මූලික කටයුතු සකස් කළෝය. මේ නිසා සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සැලසීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරුණි. සර් ඔලිවර් ගුණතිලක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වශයෙන් පත්කෙරුණි.

කොළඹ යූනියන් පෙදෙසේ විශාල ගොඩනැගිල්ලක 1942 ජනවාරි පළමුවැනි දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණි.


1942 මුල් කාලය වන විට ජපන් හමුදා ඉන්දුනීසියාව සහ මලයාව යටත් කරගෙන තිබුණි. ජපනා ඊළඟට ප්‍රහාරය එල්ල කරන්නේ ලංකාවටය. මේ නිසා බ්‍රිතාන්‍ය රජය ලංකාවේ අණ දෙන ප්‍රධාන හමුදාපති ලෙස ‍‍‍ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු වන අද්මිරාල් සර් ජෙප්රි ‍ලේටන් පත්කරන ලදී.


1942 අප්‍රේල් මස හතරවන දින රාත්‍රී අටට රජගෙදර විශේෂ රැස්වීමක් පැවැත්වුණි. එදින රාත්‍රියේ හෝ පසු දින උදෑසන ජපනුන් කොළඹ වරායට පහර දෙන බව බ්‍රිතාන්‍ය ගුවන් බුද්ධි සේවා අංශ, ලංකාවේ ප්‍රධාන අණදෙන නිලධාරී සර් ජෙප්රි ‍ලේටන්ට වාර්තා කර තිබිණි.


රජ ගෙදර පැවැති මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියේ ආණ්ඩුකාරවරයා, ප්‍රධාන අණදෙන නිලධාරිවරයා, ‍පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සර් ඔලිවර් ගුණතිලකය. මෙහිදී සර් ‍ලේටන් පැවැසුවේ ජපනුන් මලයාසියාවේ සහ ඉන්දුනීසියාවේදී මෙන් ලංකාවට ගුවනින් පහර දී පසුව මුහුදින් දහස් ගණනින් පැමිණ ප්‍රහාර එල්ල කර ලංකාව යටත් කරගත හැකි බවය.
1942 පාස්කු ඉරු දින යෙදී තිබුණේ අප්‍රේල් මස හතරවන දිනය.


එදින උදෑසන ජපනුන් කොළඹට පහර දෙන බව ස්ථීරය. එදින උදෑසන සිය ගණනින් කතෝලිකයන් දිව්‍ය පූජාවට සහභාගිවීම නිසැකයෙන්ම සිදුවෙන්නකි. කොළඹ සිට බොහෝ කතෝලික දෙව් මැදුර පිහිටියේ මුහුදු වෙරළට ආසන්නවය. සෘජුව ජපන් ගුවන් ප්‍රහාරයන්ට ආසන්නවය.


පාස්කු ඉරුදින සිදුවන, සිදුවිය හැකි ප්‍රහාරයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම භාර වූයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටය. නමුත් එවැනි දැනුවත් කිරීමක් සිදු නොවුණි.
පාස්කු ඉරිදා පාන්දර හයට පමණ එවක අග්‍රාණ්ඩුකාරවරයා වූ සර් ඇන්ඩෘ කැල්ඩිකෝට්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දුරකථන ඇමතුමක් දුන්නේය.


ඔලිවර්, මේ මිනිස්සුන්ට පූජාවට යන්න දෙන එක හොඳද?
තමුන්නාන්සේ පූජාවට යන්න. මට හිතෙන්නෙ බෝම්බ ප්‍රහාරයක් වුණොත් වෙන්නේ මිනිස්සු පල්ලිය ඇතුළට වෙලා ඉද්දියි සර් ඔලිවර් ගුණතිලකගේ පිළිතුර විය.


අනතුර පිළිබඳව කතෝලිකයන්ට දනුම් දීමක් නොකෙරුණි. 1942 අප්‍රේල් මස හතරවන දින පාස්කු ඉරිදාය. එවකට මගේ මව දහහතර හැවිරිදි දැරියකි. එකල ඇය පදිංචිව සිටියේ පමුණුගම කැපුන්ගොඩය. කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දෙව්මැදුර පිහිටා ඇත්තේ මුහුදු වෙරළ ආසන්නයේය. මුහුදු රළ වදින්නේ පල්ලිය පිටුපස තාප්පයේය. පල්ලිය අසල වෙරළට ගොස් බැලූ විට කොළඹ වරාය අපූරුවට දැක බලාගත හැක.


එදා උදේ හතටයි පාස්කු මංගල්‍ය පූජාව තිබුණේ ඇය පවසන්නීය.
වෙරළබඩ කතෝලිකයන් වෙනත් ප්‍රදේශවල කතෝලිකයන්ට වඩා දැඩි භක්තිමතුන්ය. පමුණුගම, කැපුන්ගොඩ, පිටිපන, මීගමුව ආදී පෙදෙස් හඳුන්වන්නේද පුංචි රෝමය යනුවෙනි. එනිසා සෑම කෙනෙක්ම අනිවාර්යයෙන් පාස්කු ඉරු දින දිව්‍ය මෙහෙයට සහභාගී වෙති.


වේලාව උදෑසන 7.22 ය.
පූජාවෙ සත්ප්‍රසාද දීලා තිබුණෙ නැහැ. පල්ලියට උඩින් ඉතාමත් ළඟින් අහස් යනා යන ශබ්දය ඇහුණා. ස්වාමි පූජාව මැද්දෙදි පූජාව නවත්තලා අන්තිම ආශිර්වාදෙ දීලා බිම දිගාවෙන්න කිව්වා ඇය එදින සිදුවූ සිදුවීම මතකයට නංවමින් පවසන්නීය.


එකල පාසල්වල පවා යුද්ධයකදී හැසිරිය යුතු ආකාරය උගන්වා තිබුණි. පාසල් අසල ආරක්ෂක අගල් සහ බංකර ඉදිකර තිබුණි. කිසියම් සතුරු අහස් යානා අහසේ සැරිසරන විට ලී කැබැල්ලක් දත්වලින් හපාගෙන ‍පොරොප්ප දෙකක් කනෙහි ගසාගෙන ආරක්ෂක අගල් වෙත දිව ගොස් එහි බිම දිගාවිය යුතුය.


පල්ලියේ පියතුමා පූජාවට සහභාගි වූ අයට බිම දිගාවිය යුතු යැයි අවවාද දුන්නත් මිනිසුන් කළේ වෙනස් දෙයකි.
කට්ටියක් මිනී පිට්ටනිය පැත්තෙන් මුහුදු වෙරළට ගියා,  සමහර දෙනෙක් ලැගුම් ගෙය පැත්තෙන් මුහුදු වෙරළට ගියා එසේ පවසන ඇයද එදා එම පිරිස් සමග මුහුදු වෙරළට ගොස් තිබුණාය.


ගුවන් යානා හතරක් මුහුදට ඉහළින් ගමන් කරනු ඔවුනට දක්නට ලැබුණි. ඒ සමගම එක් ගුවන් යානයක් ගිනිගෙන මුහුදට කඩා වැටෙනවාත්, ඊට මොහොතකට පසු මුහුදේ නැවක් ගිනි ගන්නවාත් දක්නට ලැබුණි.
ජපනුන් කොළඹට බෝම්බ දැමීම නිසා කොළඹ අවට ඉපද ජීවත් වූ බොහෝ දෙනා තමන් උපන් නිවෙස් අත්හැර ජාඇල, වත්තල, කැලණිය වැනි පෙදෙස්වලට පදිංචියට ආහ.


මෝදර, මට්ටක්කුලිය, ලුණු‍පොකුණ, රජමල්වත්ත, මාදම්පිටිය වැනි වරායට සමීපව ජීවත් වූ බොහෝ දෙනා තමන් උපන් බිම් අතහැර වෙනත් ප්‍රදේශවලට පැමිණ අලුත් ජීවිත ඇරඹූහ.


ඒ කාලයේ ගුවන්විදුලි යන්ත්‍ර වැඩිය තිබුණෙ නැහැ. අණබෙරකාරයෙක් බෙරයක් ගහගෙන කියාගෙන ගියා වහාම කොළඹින් පිටවෙන්න කියලා. අපි පැදුරු කොට්ට, වළං, පිඟන් බර කරත්තෙක පටෝගෙන මෙහාට ආවා රජමල්වත්ත සිට එදා මෙහි පැමිණි ඇන්තනි අයියා කලකට පෙර මා සමග පැවැසූ අන්දම මතකය.
මෝදර විසූ ප්‍රවීණ නළු ටෝනි රණසිංහද කොළඹට බෝම්බ දැමීම නිසා කොළඹ අතහැර අම්මා, තාත්තා, පවු‍ලේ පිරිස් සමග පැමිණ කාලයක් වත්තල ජීවත් වූ වග ඔහු වරක් මා සමග පැවැසූ මතකය ඇත.


ජපන් අහස් යානාවල ප්‍රධාන ඉලක්කය වූයේ කොළඹ වරායය. ජපනුන් බෝම්බ ප්‍රහාරය ආරම්භ කිරීමට ප්‍රථම කොළඹ වරායේ නැව් සියයකට අධික ප්‍රමාණයක් නැංගුරම්ලා තිබුණි. අණදෙන නිලධාරී අද්මිරාල් සර් ජෙප්රි ‍ලේටන්ගේ අණ පරිදි එම නැව් කොළඹ වරායෙන් පිටත්කර යවමින් තිබිණි. කොළඹ වරායට ජපන් බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී එහි ඉතිරිව තිබුණේ නැව් හතළිහක් පමණි. මේ නැව් හතළිහ අතර තිබූ ටෙනඩෝස් නමැති යුද නැවත්, හෙක්ටර් නමැති බඩු ප්‍රවාහන නෞකාවත් ජපන් බෝම්බ ප්‍රහාරය එල්ල වී මුහුදේ ගිලිණි.

ඒ අතර ඈත මුහුදේ ගමන් කරමින් තිබූ ඩෝමෙස්ටර් සහ කොන්වෝල් යන යුද නෞකා දෙකත් ජපන් බෝම්බ ප්‍රහාරයෙන් විනාශ විය. කොළඹ වරායේ ඉංජිනේරු අංශයට ජපන් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර එය සම්පූර්ණයෙන් විනාශ වී ගියේය.


පාස්කු ඉරු දින ලංකාවට පහර දීමට ජපන් අහස් යානා අසූපහක බලඇණියක් මෙරට ගුවන් කලාපයට ඇතුළු විය. එයින් අහස් යානා තිස් එකක්ම බිම දමා ගැනීමට මිත්‍ර හමුදාවන්ට හැකිවිය. අසූපහක අහස් යානා බලඇණියෙන් ආපසු ගියේ පනස් හතරක් පමණි. මිත්‍ර හමුදාවන්ට අයත් අහස් යානා විසිපහක්ම මෙම සමයේදී විනාශ වුවත් ලංකාව යටත්කර ගැනීමට ජපනුන්ට නොහැකි විය.


කොලොන්නාවේ තෙල් ටැංකිය යැයි සිතා අංගොඩ මානසික රෝහ‍ලේ මුළුතැන්ගෙයි දුම් කවුළුවට ජපන් බෝම්බ ප්‍රහාරය එල්ල වූ අතර එයින් මානසික රෝගීන් පනස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වූහ.


කොළඹ වරායට ජපන් බෝම්බ ප්‍රහාරය නිසා මුළු කොළඹ නගරයම සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්ත්වයට පත්විය. ගාල්ල, මාතර සිට පැමිණි බස් රථ මොරටුවේදී නතර විය. මහනුවර, හලාවත, අනුරාධපුරය වැනි ප්‍රදේශවල සිට පැමිණි බස් රථ වික්ටෝරියා පාලම සමීපයට උදය වරුවේ පැමිණියේය.

දහවල් වනවිට ජපන් පැරිචුට් භටයන් කැලණියට බැස්සාය යන ආරංචිය පැතිර යත්ම මහනුවර මාර්ගයේ එන බස් රථ කඩවතත්, හලාවත මාර්ගයේ එන බස් රථ ජාඇලත් නතර විය. ඒ අතර කොළඹ නගරය අතහැර යන විශාල පිරිස් පයින්ම ගමන් කළේ ඉදිරි නගරයකදී වාහනයක සහය ලැබේය යන සිතුවිල්ලෙනි. හදිසි නීති රෙගුලාසි පනවා තිබුණත් බොහෝ දෙනා තම සේවා ස්ථාන අත්හැර  කොළඹින් ඉවත් වෙමින් සිටියහ.


මේ අතර වරායේ සේවකයන් රැකියාවට නොපැමිණීම නිසා වරායේ කටයුතු අඩපණ විය. මේ කාලය වනවිට එවකට ගමනාගමන ඇමැති සර් ජෝන් කොතලාවල රජයේ හදිසි කටයුතු සිදුකර ගැනීමට ස්වේච්ඡා භට හමුදාවක් ආරම්භ කර තිබුණි. එයින් දෙසීයක පිරිසක් යොදවාගෙන වරායේ කටයුතු නැවත ආරම්භ කෙරුණි.

අප්‍රේල් තුන්වැනි සෙනසුරාදා සවස වැසුණ කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථාන, බෝම්බ වැටී දින තුනක් ගතවූවත් නැවත විවෘත නොවුණි. කඩ අයිතිකරුවෝ තමන්ගේ ගම් රටවල් බලා ගියහ. කොළඹ තොග වෙළෙඳාම පවත්වාගෙන ගිය ඉන්දීය ව්‍යාපාරිකයෝ දුම්රියෙන් ඉන්දියාව බලා ගියහ.

මේ වනවිට වසා තිබෙන සියලුම කඩ සාප්පු සහ හෝටල් ආදිය විවෘත කරනලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නිවේදන වරින් වර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වෙන්නට විය.
අප්‍රේ‍ලේ පස්වෙනි දින ඔහු නියෝගයක් නිකුත් කරමින් පැවැසුවේ පසුදා උදෑසන නවය වන විට විවෘත නොවන අවශ්‍ය යැයි හිතෙන සියලුම ආයතන බලය යොදා විවෘත කොට එහි ව්‍යාපාර ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමසාලීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වන උදේ‍යා්ගිමත් ක්‍රියාශීලී පුද්ගලයන්ට පවරා දෙන බවය.

අටවෙනිදා උදෑසන වසා තිබූ කඩ සාප්පුවල දොරවල් කඩා ඒවා විවෘත කර ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කරන ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන්ට පවසන ලදී. මෙලෙස විවෘත කළ කඩ සාප්පු අතරින් හැත්තෑ පහක්ම තොග වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විය.

 පීටර් කැනියුට් පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.