lakbima.lk

සොයිසාපුරේ හොර බුද්ධි මේජර්ගේ කුරුමානම මොකකටද?

ගල්කිස්ස ‍පොලිස් වසමට අයත් මොරටුව, සොයිසාපුර මහල් නිවාසයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර්වරයකු බව කියන පුද්ගලයකු සිටින බවට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ 1 කණ්ඩායම වෙත ඉකුත් සතියේ දිනක තොරතුරක් ලැබිණි.

නිවසක බුද්ධි අංශ මේජර්වරයකු සිටීම වරදක් හෝ නීති විරෝධී දෙයක් නොවුණද විශේෂ කාර්ය බළකායට තොරතුර දුන් පුද්ගලයාද මොහු සැක සහිත පුද්ගලයකු බව ප්‍රකාශ කළ හෙයින් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ  නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 01 දා දහවල් සොයිසාපුර මහල් නිවාසය බලා ගියහ.

මහල් නිවාසයේ බි කොටසේ ජීවත් වූ යුද හමුදා බුද්ධි මේජර්වරයා යනුවෙන් කියා ගන්නා පුද්ගලයා විසූ නිවස වෙත ගිය ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ඔහුගේ රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටියහ.

නමුත් ඔහු රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට අකමැති විය. සිය අනන්‍යතාව හෙළි කරමින්  ඔහු පැවැසුයේ තමා යුද හමුදා බුද්ධි බළකායේ මේජර් ජෝන් වොල්ක් බවය. එහෙත් එවැනි නමකින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරියකු නැති බව ‍පොලීස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු යුද හමුදාවට කතා කර දැන ගත්හ.

එබැවින් මොහු එහි බුද්ධි නිලධාරියකු ලෙස පෙනී සිටින්නේ මන්දැයි දැන ගැනීමට අවශ්‍ය තොරතුරු සොයමින් විශේෂ කාර්ය බළකාය ඔහුගේ නිවස පරීක්ෂා කළේය.

එහිදී ලැප්ටොප් පරිගණක දෙකක්, ඩේ‍රා්න කැමරාවක්, ඩිජිටල් කැමරා දෙකක්, යුද හමුදා ටී ෂර්ට් 03 ක්, ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි එක් ලැප්ටොප් පරිගණකයක  ඉකුත් අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ඡායාරූප කිහිපයක්ද තිබිම හේතුවෙන්  දැඩි ලෙස ඔහුව සැක කෙරුණි. එහෙයින් ඔහුව අත්අඩංගුවට ගෙන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබිණි.

සැකකරුගේ නම වූයේ මුහුම්මදු නිසාර් ඉම්රාන්ය.පනස් තුන් හැවිරිදි වියේ පසු වු ඔහුගේ උපන් ගම වූයේ අම්පාර, අක්කරෙයිපත්තුවය.වැඩිමහල් සහෝදරියක හා සහෝදරයකු සිටින ඔහු කුඩා කලදීම මව්පියන්ගෙන් ඈත්ව තිබේ.
පසුව ඔහු කොළඹ පැමිණ ප්‍රසිද්ධ සන්නිවේදන සමාගමක පාරිභෝගික කටයුතු සේවා නිලධාරියකු ලෙස රැකියාව  කර තිබේ.

අනතුරුව ඩුබායි විසූ සිය  සහෝදරයා  හා සොයුරිය  ළඟට ගොස් වසරක් පමණ එහි කාලය ගත කර නැවත ලංකාවට පැමිණ සිටියදී ඔහුට වැන්දඹු කාන්තාවක් හමුව තිබේ. දරුවන් තිදෙනකුගේ මවක වූ ඇය සමග දිවි ගෙවීමට මුහුම්මදු නිසාර් තීරණය කර තිබිණි.

ඇයත් සමග සොයිසාපුර මහල් නිවාසයේ පදිංචිව ඇත්තේ වසර තුනකට පමණ  පෙරය. මෙහිදී ඔහු අසල්වාසීන් හා හිතවතුන් ඉදිරියේ  පෙනී සිට ඇත්තේ බුද්ධි අංශයේ මේජර් ජෝන් වොල්ක් ලෙසය.


බුද්ධි නිලධාරියකු බොහෝ අවස්ථාවල නිල ඇඳුම් නොඅඳින හෙයින් මොහුව කිසිවකුගේ සැකයට ලක්ව තිබුණේ නැත. එහෙත් මොහුගේ ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් සැක සිතූ අසල්වැසියෝද සිටියහ.

මොහු කිසිදු රැකියාවක් නොකළමුත්  හොඳ හැටි විය පැහැදම් කළ පුද්ගලයකු විය. මොහුට මාස්පතා මුදල් ලබා දී තිබුණේ විදේශයේ සිටින සොහොයුරා හෝ සොහොයුරිය බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එමෙන්ම නිවසේ තිබි අත්අඩංගුවට ගැනුණු ඩේ‍රා්න කැමරාව මෙම සැකකරු විසින් සිය බිරිඳගේ කලින් කසාදයේ පුතෙකුට උපන්දින තෑග්ගකට දුන් එකක් බවද මොහු ‍පොලීසිය හමුවේ පවසා තිබේ. එමෙන්ම මෙම ලිපිය ලියන මොහොත වන විටත් මොහු කිසියම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබුණේ නැත.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ දින 14ක් රඳවාගෙන මොහුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින්නේ මොහු යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයකු ලෙස පෙනී සිටියේ කුමන කරුණක් නිසාදැයි යන්න අනාවරණය කර ගැනීමටය.

මේ අතර ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය, ඊට පසුව කෙරුණු සෝදිසි මෙහෙයුම්වලදී සහ වයඹ පළාත හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු වූ ප්‍රදේශවලදී ඒවාට සම්බන්ධ බවට සැක පුද්ගලයන් 2289 කු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අතර මුස්ලිම් ජාතිකයන් 1820ක්, සිංහල ජාතිකයන් 339 ක් හා දෙමළ ජාතිකයන් 139 ක් සිටිති.


මෙම සැකකරුවන් අතරින් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලයන් 423 කු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එමෙන්ම විවිධ ‍පොලිස් ස්ථාන මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඇතුළුව මේ වනවිට පුද්ගලයන් 211 ක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් කෙරෙනු ලබයි.


එමෙන්ම විවිධ ප්‍රදේශවල අධිකරණවලින් හා ‍පොලිස් ඇප මත පුද්ගලයන් 1655 කු මුදා හැර තිබේ. ඊට සිංහල පුද්ගලයන් 269ක්, දමිළ පුද්ගලයන් 125ක් හා මුස්ලිම් පුද්ගලයන් 1261කු ඇතුළත්ය.


ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ පුද්ගලයන් 575 ක්ද හදිසි අවස්ථා රෙගුලාසි නියෝග යටතේ පුද්ගලයන් 213 ක්ද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත කඩකළ බවට චෝදනා ලැබූ පුද්ගලයන් 72 ක්ද දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු සාමාන්‍ය නීතිය යටතේ පුද්ගලයන් 1429 කුද අත්අඩංගුවට ගෙන ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.


ඒ අනුව අත්අඩංගුවට ගැනෙන සියලු පුද්ගලයන් ත්‍රස්තයන් ලෙස හංවඩු ගැසීමට හැකියාවක් නැත. ඔවුන් වරදකරුවන්දැයි නිවැරදිකරුවන්දැයි තීරණය කරනු ඇත්තේ අධිකරණයෙනි. එතෙක් මේ සියලු දෙනාම තවමත් සැකකරුවන් පමණි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.