lakbima.lk

ලොකු පුටු හයකට අලුත් මුහුණු හයක්

ලංකාවේ පුහුණුව ලැබූ පළමු වැනි හමුදාපති ආරක්ෂක ‍ලේකම් පුටුවට

ආරක්ෂක හමුදාව විසින් 1997 මැයි 13 දා ජය සිකුරු මෙහෙයුම ආරම්භ කළේ යාපනය නුවර (ඒ-9) ප්‍රධාන මාර්ගය අත්පත් කර ගැනීමේ අරමුණිනි. එම මෙහෙයුමේදී 55 වැනි සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේ බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩය.

එම සේනාංකයේ මූලස්ථානය පිහිටා තිබුණේ තාන්ඩිකුලම්හීය. එක වරම කොටි ත්‍රස්තවාදීහු තාන්ඩිකුලම් කඳවුර සංකීර්ණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. අලුයම 1.00 සිට පසුදින දහවල් 12.00 දක්වා එල්ල වූ එම ප්‍රහාරය ත්‍රස්තවාදීන් නම් කර තිබුණේ 'නොනවතින රැල්ල' යන නමිනි.

එම ප්‍රහාරයේ අරමුණ වී තිබුණේ තාන්ඩිකුලම් කඳවුරේ ස්ථානගත කර තිබූ මිලිමීටර් 130 කාලතුවක්කු හය පැහැර ගැනීමය. එහෙත් ත්‍රස්තවාදීන්ගේ එම උත්සාහය පරාජය කළ බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩගේ නායකත්වයෙන් යුත් භට පිරිස ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළහ. කඳවුර බේරාගත්හ.

එම සටනේදී දැක්වූ දක්ෂතාව අගය කිරීම සඳහා එවකට සිටි ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිනිය විසින් ශාන්ත කෝට්ටේගොඩට වීර වික්‍රම  විභූෂණ පදක්කම පිරිනැමූහ.

වීර වික්‍රම විභූෂණ පදක්කම පිරිනැමෙන්නේ තමන් ජීවිතය පවා අවදානමකට ලක්කර ගනිමින් සිය සගයන්ගේ ජීවිත බේරා ගැනීමේ උදාර ච්ෙතනාවෙන් සතුරාට මුහුණදෙන නිර්භීත සෙබළුන්ටය. එවැනි කැප කිරීමක් කළ ශාන්ත කෝට්ටේගොඩ ශ්‍රී ලංකා යුද හමුදාවේ දාහත් වැනි යුද හමුදාපතිවරයා ලෙස පත්වුණේ දෙදහස් හතරේ ජූලි දහඅට වැනිදාය.

ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩගේ නම ජනතාව අතර යුද්ධයේදී මෙන් සාමය පැවැති සමයේදීද කතාබහට ලක්වීම විශේෂත්වයකි. ඔහුගේ නම සාමය ඇති කාලයේ වඩාත් ප්‍රසිද්ධ වූයේ තායිලන්තයේ පැවැති සාම සාකච්ඡා සඳහා රජය නියෝජනය කරමින් සහභාගි වීමට ඔහුට අවස්ථාවක් ලැබුණ නිසාය. එම සාකච්ඡාවලදී රජයේ දූත පිරිසේ හමුදා උපදේශක ලෙස කටයුතු කළේ ශාන්ත කෝට්ටේගොඩය. සාම සාකච්ඡා ඉතිහාසයේ යුද හමුදා නිලධාරියකු උපදේශක මට්ටමෙන් සහභාගි වූ මුල්ම අවස්ථාව වන්නේද මෙයයි.

පාබළ රෙජිමේන්තු නිලධාරියකු ලෙස පුරා තිස්හතර වසරක් සේවය කළ ඔහුගේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ සිය මූලික කැඩෙට් පුහුණුව ලංකාවේදී ලබාගත් ලංකාවේ ප්‍රථම හමුදාපතිවරයා ඔහු වීම නිසාය.

1970 පෙබරවාරි මස 05 වැනිදා ආධුනික කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක්වී පුහුණුව ලැබූ හෙතෙම 1971 අගෝස්තු පළමු වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරි පත්වීම ලැබිය.

1990 වසරේදී යුද හමුදා බුද්ධි අංශය  ආරම්භ කළ අවස්ථාවේදී එහි ආරම්භක නිලධාරියකු ලෙස සේවය කිරීමට ඔහුට අවස්ථාව උදාවිය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බුද්ධි අංශයේ මාණ්ඩලික නිලධාරී ධුරය භාරගත් හෙතෙම ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා දායක විය. එහිදී දැක්වූ දක්ෂතා මත 1984දී ජාතික බුද්ධි කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වූයේ ඔහුය. පසුව ඔහු යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ ධුරයටද පත්විය.

යාපනය 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස 1997.11.01 දින පත්වූ කෝට්ටේගොඩ 1998.02.23 දින මේජර් ජෙනරාල් නිලයට උසස්වීම ලැබිය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති සඳහා 2000.12.12 වන දින හෙතෙම පත්කරනු ලැබිය.

2003 වසරේදී යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුර භාරගත් ඔහු 2003 නොවැම්බර් 23 සිට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්විය.

නැගෙනහිර පළාතේ උද්ගත වූ අර්බුදයත් සමග ජනාධිපතිනිය විසින් ඔහුව නැගෙනහිර පළාතේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති තනතුරට පත්කර තිබිණි. එමගින් ඔහුට නැගෙනහිර පළාතේ ඇති සන්නද්ධ හමුදා ‍පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පාලනය කිරීමටද බලය පැවරුණි.

යුද පිටියේදී පෙන්නූ දක්ෂතා නිසා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම පදක්කම, උත්තම සේවා පදක්කම, රණශූර පදක්කම, පූර්ණ භූමි පදක්කම හා වඩමාරච්චි මෙහෙයුම් පදක්කමද ඔහු හිමිකරගෙන ඇත.

ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් ඇතිවූ පුරප්පාඩුවත් සමග ශාන්ත කෝට්ටේගොඩ හමුදාපතිවරයා ලෙස පත්විය.

රට ආරක්ෂා කිරීමට යුද්ධය කිරීමට අවශ්‍ය නම් යුද්ධ කිරීමත් එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡාවලට එකඟවී කටයුතු කරන්නේ නම් එයට සහය දීමට යුද හමුදාව සූදානම් බව ලුතිනන් ජෙනරාල් කෝට්ටේගොඩ හමුදාපති ධුරයේ වැඩ භාරගත් විට කීවේය.  නමුත්  මහින්ද රාජපක්ෂ ජනපති වූ පසුව ඔහු ගෙදර යවා යුද්ධය ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට භාර කළේ ඔහු යුද හමුදාපති කරමිනි.

හමුදා සේවයේ විශ්‍රාම ලැබිමෙන් පසු ජෙනරාල් නිලයට උසස්වීම් ලද ඔහු බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්විය. ආරක්ෂක අමාත්‍යංශයේ ‍ලේකම් ධුරයට පත්වීමට පෙර ඔහු තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රාජකාරි කරමින් සිටියේය.

ආරක්ෂක ‍ලේකම් වන බව කී හිටපු ‍පොලිස්පතිට උපදේශක ධුරයක්

ජනපති අගමැති හෝ ඇමැතිවරුන්ගේ උපදේශකයන් මිසක් මෙපමණ කලක් ආරක්ෂක   අමාත්‍යාංශයට උපදේශකයෙක් සිටියේ නැත. එහෙත් දැන් ආරක්ෂක අමාත්‍යාංශයටද උපදේශකවරයෙක් පත්ව සිටී. ඔහු විශ්‍රාමික ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ය. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි මහත්මයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු සිය සේවා කාලයේදී කිසිදු දිනක නම නොකිළිටි කරගත් නිලධාරියකු ලෙස ගරු සම්භාවනාවට පාත්‍ර වූ චරිතයකි.

උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස එක්දහස් නවසිය අසූවේදී ‍පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු විශේෂ කාර්ය බළකායේ ආරම්භක සාමාජිකයෙකි. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරු රැසක් දරා ඇති ඔහු තිස්තුන් වැනි ‍පොලිස්පති ලෙස පත්වූයේ කටුනායකදී ‍පොලිස් වෙඩි තැබිමේ ඇඟලුම් කම්හල් සේවකයකු මියගිය පසු ගෙදර ගිය අපකීර්තිමත් ‍පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරියගෙන් පසුවය.

දෙදහස් එකොළහේ ජූලි දාසය වැනිදා සිට දෙදහස් දහසයේ අප්‍රේල් එකොළහ දක්වා වසර පහක් ‍පොලිස්පති ධුරය දැරූ ඔහු දේශපාලන බලපෑම්වලට යට නොවී රාජකාරිය හරි හැටි ඉටු කළේය. දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන වැනි එකල ආණ්ඩුවට හිතවත් චරිතවලට එල්ල වූ අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔවුන් එල්ලුම්ගහට යැව්වේ එන්.කේ. ඉලංගකෝන් ‍පොලිස්පති ධුරය දැරූ සමයේය.

දැන් රටේ සිවු වැනි පුරවැසියා ජයන්ත ජයසූරිය

රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු මෙන් නොව නීතිපති දෙපාර්තමේන්තුව වූකලී මහේශාක්‍ය තැනකි. ඒ රාජ්‍ය නායකයා ඇතුළු රජයට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට නීති උපදෙස් දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් බැවිනි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හෙවත් නීතිපති හැඳින්වෙන්නේ රජයේ ප්‍රධාන නීති උපදේශකයා ලෙසය.

එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ලංකාවේ සිවු වැනි පුරවැසියා ලෙස ඉකුත් සඳුදාවේ (29) උසස්වීමක් ලැබිය. ඒ අගවිනිසුරු ලෙසය. රාජ්‍ය ධුරාවලිය අනුව ජනපති, අගමැති, කථානායක යන තිදෙනාට පසු රටේ ප්‍රධාන පුරවැසියා අගවිනිසුරුවරයාය. අගවිනිසුරුවරයා ව්‍යවස්ථාදායක සභාවෙන් නිර්දේශ කර ජනපතිවරයා විසින් පත්කරනු ලැබූ ජයන්ත ජයසූරිය නීතිඥයකු ලෙස දිවුරුම දෙන්නේ එක්දහස් නවසිය අසූදෙකේය.

දශක තුනට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකරි කර ඇති ඔහු එක්දහස් නවසිය අනූහයේදී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලෙස පත්වීය. අනූහතරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙසද, දෙදහස් දාහතරේ ‍‍‍ජ්‍යෙෂ්ඨ  අතිරේක සොලිසිටර් ජනරාල් ලෙසද ඉනික්බිතිව සොලිසිටර් ජනරාල් ලෙසද හෙතෙම පත්විය. ඔහු ජනාධිපති නීතිඥවරයකු ලෙස පත්වූයේ දෙදහස් දොළහේදීය.

ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නීතිපති ධුරයට පත්වූයේ දෙදහස් දාසයේ පෙබරවාරි දහ වැනිදාය. මෑත කාලයේදී ඔහුගේ නම නිතර කියැවුණේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලදී ජනපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි නිසාය.

වැඩ බලන නීතිපති බැඳුම්කර නඩුවෙන්  කරළියට ආ ජනපති නීතිඥ  දප්පුල ද ලිවේරා

නීතිපති හැරුණු විට නීතිපති දෙපාර්තමේන්තුවේ බලවත්ම නිලය සොලිසිටර් ජනරාල්ය. එම ධුරය එම දෙපාර්තමේන්තුවේ දෙවැනි තනතුරයි. සොලිසිටර් ජනරාල් ධුරය දරන ජනපති නීතිඥ දප්පුල ද ලිවේරා ද ඉකුත් කාලයේ රටේ සුප්‍රසිද්ධ චරිතයක් බවට පත්විය.

ඒ මහ බැංකුව බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙය වූ ප්‍රධාන නීතිඥයා ඔහු වූ බැවිනි. නීතිපතිවරයා විදෙස්ගත වූ විට අවස්ථා රැසකදීම වැඩ බලන නීතිපති ලෙස පත්කෙරුණේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරාය. ජයන්ත ජයසූරිය අගවිනිසුරු ධුරයට පත් කිරීමෙන් පුරප්පාඩු නීතිපති පුටුවේ වැඩ බැලීමට ඔහු පත්විය.

නීතිපති පුටුවේ පුරප්පාඩුව පුරවන්නේද ව්‍යවස්ථාදායක සභාව විසිනි. එම සභාව නම්කරන පුද්ගලයා ජනපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත.

කොහොමත් ‍පොලිස්පති වන සී.ඩී. වික්‍රමරත්න

ජනපතිවරයා විසින් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවනු ලැබිමත් සමග ‍පොලිස්පති පුටුවත් පුරප්පාඩු විය. එම පුටුවේ වැඩ බැලීමට පත්කර සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කොහොමත් පූජිතගෙන් පසු ‍පොලිස්පති වීමට සුදුසුකම් සපුරා තිබිණි.

පූජිත් ‍පොලිස්පති පුටුවේ වාඩිවීමට පෙර ඒ සඳහා තුන්කොන් සටනක් තිබිණි. ඒ එකම දිනයකදීම ‍පොලීසියට එක්වූ පූජිත් ජයසුන්දර, එස්.එම්. වික්‍රමසිංහ හා සී.ඩී. වික්‍රමරත්න අතරේය. ව්‍යවස්ථාදායක සභාව එම තුන්දෙනා අතරින් පූජිත් තෝරා ගන්නේ ඔහුගෙන් පසු ‍පොලිස්පති වීමට සී.ඩී. වික්‍රමරත්නට වයස තිබූ බැවිනි. ඔහු විශ්‍රාම ලැබිමට නියමිතව ඇත්තේ දෙදහස් විසි තුනේ මාර්තු විසිපස් වැනිදාය.


වැඩ බලන ‍පොලිස්පති ධුරයට පත්වීමට පෙර ඔහු ‍පොලිස්පති හැරුණු විට ‍පොලීසියේ ඊළඟ ‍‍‍ජ්‍යෙෂ්ඨ තනතුර වූ පරිපාලන අංශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති විය. එම තනතුරට ඔහු පත්වූයේ දකුණු පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය ‍පොලිස්පති ලෙස රාජකාරි කරමින් සිටියදීය.

නව විගණකාධිපති චූලානන්ද වික්‍රමරත්න

ඉතිහාසයේ නොවූ විරූ තරමට දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ගැනද රටේ කතාබහක් ඇතිවී තිබේ. ඒ මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන්ම අමාත්‍යංශවලින් මුදල් නාස්ති කරන ආකාරය ගැන විගණන පරීක්ෂණවලින් හෙළිවන තොරතුරු නිසාය.

මේ තොරතුරු වැඩියෙන්ම කරළියට ආවේ විගණකාධිපති ධුරය දැරූ ගාමිණි විජේසිංහගේ කාලයේදීය. ඔහු විශ්‍රාම ලැබිමෙන් පසු එම තනතුරට පත්වූයේ චූලානන්ද වික්‍රමරත්නය. එම ධුරය දැරීමට පෙර ඔහු හොබවමින් සිටියේ අතිරේක විගණකාධිපති ධුරයය.

විගණන පරීක්ෂකවරයකු ලෙස එක්දහස් නවසිය අනූඅටේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැඳුණු ඔහු පසුව විගණන අධිකාරිවරයකු ලෙසද නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ලෙසද කටයුතු කරන ලදී. දෙදහස් දාහතරේදී ඔහු වැඩ බලන විගණකාධිපති ලෙසද වසරක පමණ කාලයක් වැඩ බැලීය.

මිහිරි ෆොන්සේකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.