lakbima.lk

ලංකාව කිට්ටුවත් මළ මුහුදක්

බෙංගාල බොක්ක අවට සාගර කලාපයේ මසුන් නැතැයි කියමින් ඉන්දීය ධීවරයන් ඉකුත් කාලය තිස්සේම ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මසුන් මැරීමේ නිරත වී තිබුණේ දෙරට අතර, හොඳ හිතද පළුදු කරමිනි. ඉන්දියාවත් ලංකාවත් අතර හොඳහිත පළුදු වන්නට පටන් ගත්තේ ඔය කාරණාව නිසාම පමණක් නොවන නමුත්, මෑත එසේ වූයේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට අත තබන්නට පටන් ගැනීමත් සමගය.

එහෙත් බෙංගාල බොක්ක අවට මුහුදේ මසුන් නැතැයි ඉන්දීය ධීවරයන් කියන්නට ගත්තේත්, එම ප්‍රදේශයේ වර්ග කිලෝමීටර හැට දහසක ‘මළ මුහුදක්’ නිර්මාණය වී ඇතැයි විද්‍යාඥයන් ලොවට කියන්නට පටන් ගත්තේත්, අද ඊයේ පටන් නොවේ. බෙංගාල බොක්ක ආසන්න මුහුදේ මළ මුහුදක් ගැන කතාව ඊයේ පෙරේදා අලුත් වූයේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ ගාල්ල මහින්ද විද්‍යාලයේ පැවැත්වූ කතාවක් අතරතුර මේ කාරණය පුනර්කථනය කළ නිසාය. ශ්‍රී ලංකාව ආසන්නයෙන් මළ මුහුදක් ඇතැයි ඊට පසුදා පුවත්පත් කිහිපයකත් වබේ අඩවි කිහිපයකත් පළ වී තිබිණි,
“මේක තියෙන්නෙ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයෙ නමෛයි, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ. වර්ග කිලෝමීටර් හැට දහසක ප්‍රමාණයක ඔක්සිජන් නැහැ. නයිට්‍රජන් නැහැ. කිසිම සමුද්‍ර ජීවියෙක් නැහැ. මේ තත්ත්වය දිගටම වර්ධනය වුණොත් ඒ බලපෑම ලංකාවටත් තියෙනවා.”

අදවන විට ලොව ඕනෑම සාගර කලාපයක, සාගර ජීවින්ගේත් ශාකවලත් පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය ලෙසින් ගණන් ගැනෙන්නේ, ගොඩබිම වෙසෙන මිනිසාගේ ක්‍රියාකලාපයන්ය. සමුද්‍රජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූ හිටපු නාවික හමුදාපතිවරයා කියන්නේ, මළ මුහුදක් නිර්මාණය වීමට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හැරුණු කොට සාගරයට එක් වන ‍පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රමාණයද බලපාන බවයි.

“ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මුහුදෙ ලවණ සාන්ද්‍රණය ඉහළ යාම සිදු වෙනවා. ඒ වගේම මුහුදට එකතු කරන ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය හින්දත් ඒ කාරණාව සිදු වෙනවා. කර්මාන්ත ශාලාවලින් ඇසිඩ්, තෙල් වගේම නොයෙකුත් රසායනික ද්‍රව්‍ය මුහුදට මුදා හරිනවා. කෘෂි කර්මාන්තයට භාවිත කරන ‍පොහොර අන්තිමට නතර වෙන්නෙ මුහුදින්.

අද වෙනවිට සාගර දූෂණයට සියයට අසූවක්ම හේතු වෙන්නෙ ගොඩබිම ක්‍රියාකාරකම්.
මේ වෙනකොට ලෝකයම එකතු වෙලා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 8 ක් විතර මුහුදට එකතු කරනවා. මේ තත්ත්වය දිගටම පැවතුණොත් 2025 වෙනකොට මුහුදට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 17 ක්. ප්ලාස්ටික් බෝතලයක් පරිසරයට මුදා හැරුණම ඒක පරිසර පද්ධතියෙන් ඉවත් වෙන්න අවුරුදු 400 කටත් වඩා කාලයක් යනවා. ඊට කලින් ඒක මයිකේ‍රා ප්ලාස්ටික්වලටත්, නැනෝ ප්ලාස්ටික් බවටත් පත් වෙනවා. නැනෝ ප්ලාස්ටික් බවට පත්වුණාට පස්සේ ඒවා ක්ෂුද්‍ර අංශු විදිහට මුහුදෙ තැන්පත් වෙනවා, නැත්නම් මසුන්ගේ ආහාරවලටත් එකතු වෙනවා. ඒක මුහුදු ජීවින්ට හානිකරයි.” හිටපු නාවික හමුදාපති අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ පවසයි.

ප්ලාස්ටික් මුහුදට එක් වීමත් පසුව ක්ෂුද්‍ර අංශු බවට පත් වීමත් හේතුවෙන් මුහුදු ජලයේ රසායනික සංයුතිය වෙනස් වී මුහුදු ජීවීන්ට හා මුහුදු පැළෑටිවල පැවැත්මට අහිතකර තත්වයක් නිර්මාණය වේ. බෙංගාල බොක්කේ එක්තරා ප්‍රදේශයක් ජීවීන් විරහිත ප්‍රදේශයක් ලෙසින් විද්‍යාඥයන් සොයා ගෙන තිබුණේ අදින් දශකයකටත් පෙරාතුවය.
“බෙංගාල බොක්ක අවට මළ මුහුදෙ තත්ත්වය පිළිබඳ තවමත් විද්‍යාඥයො පර්යේෂණ කරනවා. වර්ග කිලෝමීටර හැටදාහක මුහුදු ප්‍රදේශය අඩුකරන්න පුළුවන් ක්‍රමයක් ඇති කියලා කියන්න බැහැ. ඒත් මේ ගැන අවධානය යොමු කළොත්, තත්ත්වය වර්ධනය නොවී පවත්වාගෙන යන්න පුළුවන් වෙයි” ඔහු කියන්නේය.

බෙංගාල වෙරළ ප්‍රදේශය ලොවෙ සැලකිය යුතු ජනගහනයක් වෙසෙන ප්‍රදේශයකි. බෙංගාල බොක්ක ආශ්‍රිතව, මිලියන 200 ක ජනකායක් සිය වාසභූමිය කරගෙන සිටිති. ඒ ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් සිය ජීවනෝපාය වශයෙන් නියැළෙන්නේ ධීවර කර්මාන්තයේය. ඉනුත් සියයට හැට එකක පමණ පිරිසක් දුප්පත්කමේ රේඛාවටත් යටින් දිවි ගෙවති. ඔවුන්ගෙන් යැපෙන්නෝද දිනෙන් දින සිය දහස් ගණනින් වර්ධනය වෙමින් සිටිති. ඒ හැරුණු කොට, කලින් කලට දකුණු ඉන්දියාව වසා පැතිරෙන  නියං සායන්හිදි, වෙරළෙන් දුරබැහැරව ගොවිතැන ජීවිකාව කරගෙන සිටිනා පිරිස්ද, කිසිදා නියං නැතැයි ඔවුන් සිතන මහ මුහුදේ සම්පත් කරා ඇදෙති.

බැහැරව දක්නට තිබෙන්නේ දැන් දශකයකටත් උඩදී පටන් දකුණු ඉන්දීය ආණ්ඩුත්, ධීවරයනුත් එක්ව බෙංගාල බොක්කේ මළ මුහුදක් තනා ඇති කාරණයය.
දශක ගණනක් තිස්සේ අධික සූරා කෑමට ලක්වූ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය සම්පත හීන වෙමින් පවතින බවට විද්‍යාඥයන්ටත් කලින් අවබෝධ කරගත් ධීවරයෝ එම මුහුදු කලාපයෙන් බැහැරව ශ්‍රී ලංකා මුහුදු සීමාවටත් පාකිස්තාන මුහුදු සීමාවටත් රිංගන්නට පුරුදු වී සිටියහ. 2015 වසරේ ඉන්දීය ටේ‍රා්ලර් යාත්‍රා 40,544ක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විණැයි වාර්තා විය. ටේ‍රා්ලර් යාත්‍රා 70 ක් හා ධීවරයන් 450 දෙනෙක් අත්අඩංගුවට පත් වූහ. බෙංගාල බොක්ක අවට මසුන් නැතැයි කියමින් ඉන්දීය ධීවරයෝ  පාකිස්තාන මුහුදු සීමාවද කලක් තිස්සේ ආක්‍රමණය කළහ.

දැනට දශක දෙකකටත් ඉහතදී, එම මුහුදු ප්‍රදේශයේ, ආහාරදාමයේ ඉහළින්ම ඉන්නා, කලක් මසුන් ඇල්ලීමට පාරම්පරික ධීවරයන් බියට පත්කළ, මෝරුන් ගහනය හීන වී ගිය අතර ඉකුත් දශකය තුළ එකදු මෝරෙකු ඇමට හසු නොවනා තරමට උනුහු නැත්තටම නැති වූහ. මත්ස්‍ය දඩයමේ නිරත ධීවරයන්ට හසුව තිබුණේ, සාලයන්. සැමන් මසුන් වැනි ආහාර දාමයේ පහළින්ම ඉන්නා මසුන් පමණි.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ මළ මුහුදක් නිර්මාණය වීම, දශක ගණනක් ආපස්සට ඇදෙන කතන්දරයකි. 1960 දශකය වෙද්දී, ඉන්දියාවේ ධීවර කර්මාන්තය සඳහා ලැබුණු බටහිර ආධාර මත,  විදේශීය වෙළෙඳ ‍පොළ සඳහා ඉස්සන් යැවීම මහා පරිමාණයෙන් සිදු කිරීමට දකුණු ඉන්දීය රජය, අනුබල දුනි. මුහුදු සීමාවේ සැලකිය යුතු ප්‍රදේශයක් ආවරණය වන පරිදි මුහුදු පතුලටම එළන ලද දැල් මගින්, ඉස්සන් ඇල්ලීම එහිදී සීමා විරහිතව සිදු කෙරිණි. මුහුදු පතුළේ මඩ අස්සේ සැඟවුණු එකදු ඉස්සෙකුට බේරී යා නොහැකි ලෙස එලූ දැල් වලින් ඉස්සන් කොටු කර ගත් අතර, මුහුදු පතුලෙන් පටන් ගන්නා ජීව යාන්ත්‍රණයද මේ ක්‍රමයෙන් එක්තරා ප්‍රදේශයක් තුළ සහමුලින්ම වැනසී ගියේ, ටේ‍රා්ලර් යාත්‍රා මගින් හැතැප්ම ගණන් දුරට මුහුදු පතුලද සූරාගෙන මේ දැල් ඇදගෙන ගිය බැවිනි. ඉන් කැස්බෑවන් මුහුදු සර්පයන්, ඩොල්පින් මසුන් මෙන්ම කොරල් පර ද, වැනසිණි. අදටත් ටේ‍රා්ලර් යාත්‍රාවලින් සිදු කෙරෙන මේ මසුන් ඇල්ලීමට බොහෝ දෙනෙක් විරුද්ධ ඉන් මසුන් පමණක් නොව මුහුදු පද්ධතියද වැනසෙන බැවිනි. මෑත කාලයේ සුනාමියෙන් පසු දකුණු ඉන්දීය සුළු පරිමාණ ධීවරයන්ට සිය ජීවන තත්ත්වය නගා සිටුවීමට බල කෙරෙන ආධාර මගින් ධීවරයෝ වැඩිදෙනෙක් මහා පරිමාණ මසුන් ඇල්ලීමට යොමු වූහ.

එමෙන්ම මේ කාලපරිච්ජේදය තුළදීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ ෙජෙව පද්ධතිය බිඳ වැටෙන කාරණා ද බලපාන්නට විය. එම බොක්ක ආසන්නයෙන් මුහුදට වැටෙන මහා පරිමාණ ගංගා මහා පරිමාණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට මුදා හැර තිබුණි. ඒවායෙන් මුදා හැරෙන අහිතකර රසායනික මුහුදු ජලයේ ඔක්සිජන් හා නයිට්‍රජන් පරිමාණය අඩු කරමින් තිබුණි. 2017 වසර වන විට විද්‍යාඥයන් බෙංගාල බොක්කේ වර්ග කිලෝමීටර් හැට දහසක ප්‍රමාණයක් ඇතුළත මළ මුහුදක් නිර්මාණය වී ඇතැයි නිල වශයෙන් ලොවට කීහ. ඒ වන විටත් ඔක්සිජන් විරහිත මුහුදු කලාපයේ බැක්ටීරියා විශේෂයක් හා මුහුදු පණුවන් විශේෂයක් පමණක් සිටි බවට වාර්තා විණි.
කෙසේ වෙතත්, දැන් ජෝර්දානයේ මෙන් ‘මළ මුහුදක්’ ඉන්දියන් සාගරයේද නිර්මාණය වී තිබේ. මේ අලුත් ‘මළ මුහුද’  මිනිසුන් නිර්මාණය කළ එකක් වී තිබිම කනගාටුවට කරුණකි.

උදානි විජයසුන්දර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.