lakbima.lk

මම කියපු දේ අද ඇත්ත වෙලා


මාස අටක් තිස්සේ සිරගතව සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය 23 වැනිදා නිදහස ලැබිණි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උන්වහන්සේට වසර දහනවයක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කෙරුණේ පසුගිය වසරේ අගෝස්තු 18 වැනිදාය.

ඒත් උන්වහන්සේට ජනාධිපති ‍පොදු සමාවක් ලැබිණි. වසර හයක් සිරබත් කන්නට නියම වී සිටි උන්වහන්සේ මාස අටකින් එළියට ආවේ ඒ ‍පොදු සමාව නිසාය.


උන්වහන්සේ මෙසේ හිර ගෙදරින් නිදහස් වීම රටේ බොහෝ බෞද්ධයන්ගේ සතුටට හේතු වී තිබිණි. ඥානසාර හිමියන් හිරෙන් නිදහස් වී පැමිණෙන විට උන්වහන්සේ පිළිගැන්මට සූදානම් කර තිබූ උත්සව ආදියෙන් ඒ බව මනාව පැහැදිලි විය.


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත්තේ 2016 වසරේ ජනවාරි 26 වැනිදාය. එදින උසාවියට පැමිණි බොදු බලසේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අධිකරණය තුළ කලහකාරී ලෙස හැසිරුණේ යැයිද එයින් උසාවියට අපහාස වුණේ යැයිද චෝදනා නැගුණි.


එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වර්තමාන කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය  හමුවේ චෝදනා හතරක් යටතේ පැමිණිල්ලක් ගොනු කළේය. ඒ පිළිබඳව වසරකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු ඥානසාර හිමියන් එම චෝදනා හතරටම වරදකරු කරමින් අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව උන්වහන්සේට මෙම සිරදඬුවම  නියම කරනු ලැබිය.


තම සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ නමුත් අභියාචනාධිකරණය විසින් එම පෙත්සමද ප්‍රතික්ෂේප කළේය.


පසුව උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. පසුගිය 2018 වසරේ ඔක්තෝබර් 05 දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවූ අතර එහිදී එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව තම දඬුවම ලිහිල් කර ගැනීමට හෝ අහෝසිකර ගැනීම සඳහා ඥානසාර හිමියන්ට තිබූ අධිකරණමය කටයුතු සියල්ලම අවසන් විය.

මේ අතර ඥානසාර හිමියන් තවත් නඩුවකට වරදකරුවන්නේය. ඒ 2016 වසරේ ජනවාරි 25 දා   ප්‍රගීත් එක්නැලිගොඩගේ  බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැණ අපහාස කිරීමේ චෝදනාව මත ඇය විසින් එම අධිකරණයේ ගොනු කරනු ලැබූ නඩුවකට අදාළවය. එහිදී උන්වහන්සේට මාස 6ක් ගෙවී යන පරිදි බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් පණවනු ලැබිණි.

පසුව එම දඬුවම සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණය හමුවේ බොදුබලසේනා සංවිධානය විසින් අභියාචනයක් ගොනු කරනු ලැබිය. එම අභියාචනය සලකා බැලූ මහාධිකරණය අදාළ දඬුවම වසර 5කට අත්හිටුවීමට තීරණය කළේය.


කෙසේ වෙතත් ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවට අදාළව සිර දඬුවම එලෙසම විඳින්නට  සිදුවිය.


ඉන් අනතුරුව බොදු බලසේනා සංවිධානය ඇතුළු භික්ෂු සංවිධාන වරින් වර උන්වහන්සේ නිදහස් කර ගැනීමට විවිධ උත්සාහයන්වල නිරත විය. උන්වහන්සේ නිදහස් කර ගත යුතු බවට දේශපාලන නායකයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන්ද අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ නිකුත් කරමින් කියා තිබිණි.


ඒ අතර ඥානසාර හිමියන්ගේ මෑණියන් ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන ලෙසටද ඉල්ලීමක් කළාය. පසුගිය ජාතික නිදහස් දිනයේදී ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිවන බවට නොයෙකුත් කටකතාද සමාජය පුරා පැතිරෙන්නට විය. ඒ වෙනුවෙන් බොදු බලසේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ කොටුව බෝධිය ඉදිරිපිට සත්‍යයක්ග්‍රහයක්ද ආරම්භ කළෝය. එසේ වුවද ඥානසාර හිමියන්ට පෙබරවාරි 4දාද ජනාධිපති ‍පොදු සමාව ලැබුණේ නැත.


තත්ත්වය එසේ තිබියදී පසුගිය වෙසක් ‍පොහොදා ජනාධිපතිවරයා විසින් සිරකරුවන් හත්සිය හැට දෙකකට ජනාධිපති ‍පොදු සමාව ලබා දුනි. වෙසක් ‍පොහොය දිනයේදීවත් ඥානසාර හිමියන්ට ජනාධිපති ‍පොදු සමාව හිමිවනු ඇති බවට බොහෝ දෙනා තුළ බලා‍පොරොත්තුවක් ඇති වී තිබිණි. ඊට හේතු වූයේ රටේ පැතිර ගිය මුස්ලිම් අන්තවාදයට, එරෙහිව කතා කරන සියලු දෙනා ඥානසාර හිමියන්ගේ අඩුව පිළිබඳ කතා කිරීමය.


එවන් තත්ත්වයක් යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවයට සහභාගිවීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරයේ වාට්ටු අංක 01හි රඳවා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීමට ගියේය.


එහිදී ජනාධිපතිවරයා සහ උන්වහන්සේ අතර විනාඩි 42ක සාකච්ඡාවක් සිදුවුණි. ඉන් අනතුරුව වාර්තාවූයේ ඥානසාර හිමියන්ට ජනාධිපති ‍පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි. උන්වහන්සේට නිදහස ලබාදීම පිළිබඳව සියලු ලිපි ‍ලේඛනවලට ජනාධිපතිවරයා අත්සන් තැබූ පසු ඉකුත් 22 දා පස්වරුවෙ උන්වහන්සේට ජනාධිපති ‍පොදු සමාව හිමිවිය.


ඥානසාර හිමියන්ට නිදහස් ලැබෙන දිනයේ උදෑසන සිට උන්වහන්සේගේ මෑණියන් ඇතුළු  බොදු බලසේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පමණක් නොව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද සාමාන්‍ය ජනතාවද අති විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට රැස්ව සිටියහ.


නමුත් අවසානයේ ඥානසාර හිමියන් බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුවෙන් නොපැමිණ වෙනත් දොරටුවකින් පිටට ගිය බව බන්ධනාගාරය තුළ සිට පිටතට පැමිණි භික්ෂුන්වහන්සේ නමක් මාධ්‍යයට කීය. උන්වහන්සේ බන්ධනාගාරයෙන් එලෙස පිටවන්නේ පවතිනආරක්ෂක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් නොවන නිසා බවද එම භික්ෂුන් වහන්සේ කීය.


වැලිකඩ හිර ගෙදරින් නික්මුණ ඥානසාර හිමියන් මුලින්ම  වැඩම කළේ තම නිකාය වන සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැ දැකීමටය.


ඥානසාර හිමියන් ඉදිරියේදී ආගමික හා ශාසනික කටයුතුවල නිරත වෙමින් භික්ෂුන්වහන්සේ නමක් විසින් සමාජයට ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ඉටු කරණු ඇති බව තමන් වහන්සේ විශ්වාස කරන බව ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් මෙහිදී පැවැසූහ.

මම කියපු දේ අද ඇත්ත වෙලා

- ජනපති සමාව ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියයි

මේ රටේ අන්තවාදීන් එක්ක සටන් කරලා මට හුඟක් මහන්සියි. ඉදිරියේදී බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතයක නිරත වෙන්නයි හිතාගෙන ඉන්නේ. සිංහලයන්ට සිංහලයකු ලෙසත් භික්ෂුන් වහන්සේලාට භික්ෂුවක ලෙසත් මම කතා කළා. රට වෙළාගෙන තිබෙන අන්තවාදය ගැන පාලකයන්ට පෙන්නලා දුන්නා.

අපි කියපු සියලු දේ අද ඇත්ත වෙලා. දැන්වත් පාලකයන් මේ අන්තවාදයෙන් රට බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි හිතනවා. රට රකින්න, රට බේරා ගන්න නිකන් බොරු පූචානම්, කයිවාරු ගහලා වැඩක් නැහැ. ඒවා හදවතින්ම කරන්න ඕන දේවල්.

අද මේ රට ඉතාම භයානක තත්ත්වයකට මුහුණ දී සිටිනවා. ඒ නිසා අපි ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. ඉවසීම අවශ්‍යයි. මාගේ නිදහස වළක්වන්න ජාතික හා ජාත්‍යන්තර බලවේග නොයෙකුත් බලපෑම් කළා. ඒ සියලු බලපෑම්වලට බය නොවී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එඩිතර තීන්දුවක් ගනිමින් මාව නිදහස් කළා.

මම එතුමාට පුණ්‍යානුමෝදනා කරනවා යැයිද කීවේය.

 පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.