lakbima.lk

පුපුරන්න බලා සිටින බෝම්බ නිෂ්ක්‍රිය කරන STF සෙබළු

අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු දින වූ ඉකුත් 22 දා කොළඹ නගරය පුරාම පැවතියේ දැඩි පාළු ස්වභාවියකි. ආරක්ෂක අංශ ඒ වනවිටත් බෝම්බ ප්‍රහාරයට ලක් වූ ස්ථාන සෝදිසියට ලක් කරමින් සිටියහ.

පස්වරු 4.00ට පමණ එක්වරම කොළඹ පිටකොටුව මාළු කඩේ දෙසින් මහා පිපිරුමක හඬක් ඇසුණි. ඒ හඬත් සමගම කොළඹ වැසියෝ ඉහ අත් බදාගත්තේ ශෝකයෙන් හා භීතියෙනි. මෙම පිපිරුමත් සමගම රජයේ හා පෞද්ගලික අංශවල සේවයේ නියුතු වූවන්ට කල්තියාම කාර්යාල වලින් බැහැර වීමට අවසර ලැබුණි.

මෙම පිපිරීම සිදුව තිබුණේ ඊට පෙරදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ප්‍රහාරයට ලක් වූ කොටහේන - කොච්චිකඩේ සාන්ත අන්තෝනි  මුනිඳුන්ගේ දේවස්ථානය අසලය. ඒ පිපිරුම් හඬ ඇසුන කොළඹ වෙනත් ප්‍රදේශවල වැසියෝ බියට පත් වුවද කොච්චිකඩේ පල්ලිය අසල ප්‍රදේශවාසීන් නම් මෙම පිපිරුමෙන් බයට පත්ව තිබුණේ නැත. මන්ද මෙම පිපිරීම මහජන ආරක්ෂාව පිණිස ආරක්ෂක අංශ විසින් සිදු කළ එකක් බව ඔවුන් ඒ වනවිටත් දැන සිටි බැවිණි.

කොටහේන සාන්ත මුනිඳුන්ගේ දේවස්ථානයට මීටර් 20ක් පමණ දුරින් මාර්ගයේ නවතා තිබූ සුදු පැහැති කුඩා වෑන් රිය නෙත ගැටී තිබුණේ පෙරදින (21) දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටි ‍පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශයටය. හිමිකරුවෙකු නොමැති මෙම වෑන් රිය පෙරදින පැමිණි ප්‍රහාරකයා විසින් පදවාගෙන එන්නට ඇති බව මෙහිදී ‍පොලීසිය සැක කළේය.

එහෙයින් වහාම ‍පොලීසිය බෝම්බ පිළිබඳ විශේෂඥයන් වන ‍පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවන්නට පියවර ගත්තේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ උපදෙස් පරිදි  ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ සහකාර ‍පොලිස් අධිකාරි දිමුතු සමරනායක ඇතුළු නිලධාරීන් පැමිණ පළමුව තොරතුරු ලබා ගන්නට විය.

පසුව දුරස්ථව සිට වෑන් රිය එක්ස් කිරණ පරීක්ෂාවට ලක් කළේය. එහිදී දැක ගත හැකි වූයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හතරකට ටයිමරයක් දමා සැකසු බෝම්බයක් එහි ඇති බවය. ඊට උඩින් රුපියල් දහසේ නෝට්ටුවක් තබා තිබූ අතර එහි නූලක් ඇද තිබුණි. කිසියම් අයෙකු මෙම මුදල් නෝට්ටුව ලබා ගත්තේ නම් බෝම්බය පුපුරා යන අයුරින් මෙය සකස් කර තිබුණි.

මෙම අධිබලැති බෝම්බය ඉතාම සංකීර්ණ අයුරින් අටවා තිබූ බව ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ ප්‍රවීන නිලධාරීන්ට වටහා ගැනීම එතරම් අසීරු වූයේ නැත. යුද සමයේ පවා දිනකට බෝම්බ හත අටක් නිෂ්ක්‍රීය කර ඇති මොවුන්ට බෝම්බයක් අතපත ගෑම කජු කන්නාසේය. එහෙයින් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරීන් ගුවන් හමුදාවේද සහාය ලබා ගනිමින් බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට අවැසි පසුබිම සකස් කර ගන්නට විය.

ප්‍රථමයෙන්ම අවට ජනතාව එම ස්ථානයෙන් ඉවත් කෙරුණි. මෙම නිෂ්ක්‍රිය කිරීම කුමන ආකාරයට කළ යුතුදැයි මෙහිදි තීරණය කර එහිදි ඇතිවිය හැකි පීඩනය පාලනය කර ගත හැකි ආකාරය පිළිබඳවද තීරණය කෙරුණේය.

ඒ අනුව මෙම වෑන් රියේ තිබූ බෝම්බය පාලක පිපිරීමක් මගින් සිදු කිරීමට ‍පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය නිලධාරීන් කටයුතු කළෝය.

මේ සඳහා ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් සැරසි සිටියේද ඒ සඳහාම වෙන් වූ ඇඳුම් කට්ටලයකිනි. ඒ නිෂ්ක්‍රීය කිරීමේදී ඇතිවිය හැකි පිපිරුම් මුළු සිරුරටම බලපාන බැවිනි. හිසේ සිට පාදන්තය දක්වාම සියල්ල ආවරණය වන සේ නිපදවා ඇති මෙකි ඇඳුම තුළින් පිපිරීමකින් ඇතිවිය හැකි පීඩනය නතර කිරීම හෝ අවම කිරීම මෙයින් සිදු කෙරේ.

මෙම බෝම්බය නිෂ්ක්‍රීය කිරීමේදී හටගත් ශබ්දය බෝම්බ පිපිරුමක් සේ කොළඹ ගිගුම් දී තිබුණි. මෙහිදී වෑන් රියද ගිනි ගැනීමට ලක් වූ අතර අසල තිබූ තාප්පයක්ද කඩා වැටුණි. මෙහිදී කිසිවෙකුත් තුවාල නොලබා සිදු වන්නට ගිය මහා විනාශයක් වලකා ගන්නට ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ කණ්ඩායම සමත් වූහ. පිපිරුමෙන් පසු එහි කොටස් පශ්චාත් පිපිරුම් පරීක්ෂාවට යොමු කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රියාවලියේ අවසානය වේ.

ඉකුත් දා වැල්ලවත්ත සැවෝයි සිනමා අසල තිබූ සැක කටයුතු යතුරුපැදියක්ද, ගෑස්පහ හන්දියේ තිබූ සැක කටයුතු යතුරුපැදියක්ද පුපුරවා හැර තිබුණේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසිනි. මෙහිදී එම යතුරුපැදිවල පුපුරන  ද්‍රව්‍ය කිසිවක් නොතිබූ නමුත් යතුරුපැදියේ අසුන ගැලවීමට නොහැකි වූ බැවින් මෙය සරල පිපිරවීමකට ලක් කර තිබේ. එහිදී යතුරුපැදියේ ඇති ඉන්ධන රත් වී තිබිම නිසා පිපිරුමත් සමග ගිනි ගෙන ඇති බව බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් කීහ.


මීට දස වසරකට පෙර නම් මෙරට වැසියන් සිටියේ නිරතුරුවම තැති ගැන්මෙනි. ඒ කොයි මොහොතේ කොතැනක කොටි ඇටවු බෝම්බයක් පිපිරේවිද? යන්න සිත් තුළ පැවති බිය නිසාය. මේ බිය රට්ටුන්ගෙන් තුරන් වූයේ සම්පූර්ණයෙන්ම කොටි සංවිධානයේ බල මෙරට බිඳ දැමූදාය. ඒ 2009 මැයි 18 වෙනිදාය.

අවුරුදු තිහක් බෝම්බ බියෙන් වෙලී තිබූ රටට සාමය උදා වීමෙන් පසු සියලු දනොම ගත කළේ නිදහස් ජීවිතයකි. ආරක්ෂක අංශවලට පවා එතෙක් තිබූ වගකීම් ලිහිල් විය. මහජනතාවද ආරක්ෂාව පිළිබඳ තමන්ගේ වගකීම් යුතුකම් අමතක කර දැමුයේ රටේ බෝම්බ බියක් හෝ යුද නොතිබුණු බැවිනි.

එහෙත් දැන් නැවත වරක් රටට බෝම්බ බයක් දැනෙන්නට පටන් ගෙන තිබේ. ඒ ඉකුත් 21 වෙනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමගිනි.මේ බෝම්බ ප්‍රහාර වලට පෙර දිවයිනේ නන් දෙසින් පාතාලයේ වෙඩි හඬ ඇසුනද රට්ටුන්ට එය එතරම් තැකීමක් වූයේ නැත. එහෙත් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරය නිදා සිටි රට්ටු අවදි කරවන්නට සමත් විය.

ඒ තරමට බෝම්බය ප්‍රබලය. ලෝකයේ හොඳම පුද්ගල නාශක අවිය බෝම්බයයි.මහජනයා මත පීඩනයක් ඇති කර මහජන සාමය කඩ කරවීම බෝම්බයක් පිපිරවීමෙන් ත්‍රස්තවාදියා බලා‍පොරොත්තු වේ. මින් ආර්ථික, මානුෂික, මානසික යන අංශ කඩා වැටීම සිදු වේ. මෙය රටකට බලවත් පහරකි.

බෝම්බය කොටස් කිහිපයකින් සමන්විත වේ. එනම් ආරම්භකය, වර්ධකය, ප්‍රධාන පුපුරන ද්‍රව්‍ය, විනාශකාරී කොටස්, මෝම්බ බහාලන ආයිත්තමයයි. බෝම්බයක් නිපදවීම එක්තරා අයුරකින් වෙස් ගැන්වීමක් බවද බෝම්බ සම්බන්ධ විශේෂඥයෝ පවසති.

මෙහි ආරම්භකය වන්නේ පිපිරවීමට යොදන බලය වන අතර එය ඇතැම් විට බැටරියක් විය හැක. එසේ පැමිණෙන බලය ආරම්භකයට යාමට පෙර විනාශ කර දැමීම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමක් ලෙස අපට සරලව හඳුන්වා දිය හැකිය.
බෝම්බයක බලය ඇති තැන හඳුනාගනු ලබන්නේ එක්ස් කිරණ ආධාරයෙනි. මෙහිදී බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ක්‍රම කිහිපයක් බෝම්බ නිෂ්ක්‍රීය අංශය සතුව පවතියි.

ලණු හා කොකු ක්‍රමය, අධි ජල ප්‍රහාර එල්ල කිරීම, පපුරන ද්‍රව්‍ය යොදා දුරස්ථ පාලක පිපිරීමක් කිරීම ආදී ක්‍රම බෝම්බයේ ස්වභාවය අනුව යොදා ගනු ලබයි.‍පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ කිසිදු නිලධාරියෙකුට මේ වනතුරුත් බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට ගොස් ජීවිත හානි වී නොමැති අතර ඔවුන් බෝම්බ නිෂ්ක්‍රීයෙහි විශිෂ්ටයින් බව මනාව පෙන්වා තිබේ.

විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට නිකම්ම නිකම් සෙබළෙකුට ඇතුල් විය නොහැක. ඒ සඳහා සපුරාලිය යුතු විශේෂ මූලික අවශ්‍යතා කිහිපයක් තිබේ. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ මූලික පාඨමාලාව, සෝදිසි පාඨමාලාව ආදි හදාරා වසර පහක් ගිය පසු බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාව හැදෑරිය යුතුව තිබේ. මෙය සති 10ක පැය 500ක පුහුණු පාඨමාලාවකි.

මෙසේ සපුරාලන විශිෂ්ට නිලධාරියෙකු බෝම්බ නිෂ්ක්‍රීය අංශයට එක් වන අතර ඔවුන්ගේ නිරතුරු මුව රැඳි වදනක් ඇත. එනම් “ඔබ බෝම්බයක් දෙස බලන සෑම මොහොතකම බෝම්බය ඔබ දෙස බලා සිටින බව මතක තබා ගන්න’ යන්නය. මෙයින් ජීවිත රැසක් බේරා ගැනීමට හැකියාව තිබේ.

ශානිකා මාධවි පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.