lakbima.lk

පාස්කු ඉරිදා සිට මාධ්‍ය හැසිරුණේ කොහොමද?

ඉකුත් පාස්කු ඉරිදා නොසිතූ මොහොතක සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයත් සමගින් අන්දමන්ද වූ ජනතාව රූපවාහිනියට දෑස් දල්වා බලා සිටියේ ඊළඟ මොහොතේ කුමකින් කුමක් වේදෝ’යි බියෙනි. ප්‍රහාරය සිදුවූ දිනට පසු දිනයේ සිට උදෑසනින්ම පත්තර ලෑලිවල පත්තර සියල්ල අහවරය. ඇතැම් නිවෙස්වල උදේ සිට රෑ වෙන තුරුම ගුවන්විදුලියට නිවනක් නැත.

ඕනෑම ව්‍යසන අවස්ථාවකදී ජනතාව සිද්ධිය ගැන දැනගන්නට මෙන් ම ඊළඟ මොහොතේ කුමක් වේදැයි දැනගැන්මට රොක්වෙන්නේ ජනමාධ්‍ය සමඟිනි. එබැවින් එවන් මොහොතක ජනමාධ්‍යයේ හැසිරීම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව මෙන්ම ව්‍යසනකාරී දින කිහිපයේ  මාධ්‍යයේ හැසිරීම කෙබඳුද යන්න සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කළෙමු.

මාධ්‍යවේදීන් ප්‍රවේසම් සහගතව කාර්යය කළා

- සන්ඩේ ටයිම්ස් දේශපාලන කර්තෘ, ආරක්ෂක තොරතුරු විශ්‍ලේෂක ඉක්බාල් අතාස්


මම විශ්වාස කරන පරිදි, බරපතළ කාරණයක් රට තුළ සිදු වුණාම සිදුවූ දේ පිළිබඳව ජාතීන් අතර ගැටුම් ඇති නොකර මහජනතාවට ඉදිරිපත් කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමක්. ජනතාවට තම ප්‍රදේශයේ, රට තුළ සිදුවන දේ ගැන දැන ගැනීමේ අයිතියක් තියෙනවා. ඒ නිසා යම් සිදුවීමකදි  ඊට අදාළ නිවැරිදි තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදීන් වගබලා ගත යුතු වෙනවා.  ඒක තමයි මූලිකම දේ. එහිදී ජාතිභේද ඇති නොවන ආකාරයෙන් තොරතුරු වාර්තා කිරීමට මාධ්‍යවේදීන් කටයුතු කළ යුතුයි.

ඒ වගේම මේ වෙද්දි අපේ මාධ්‍යවේදීන්  යම්  සිදුවීමක්  වාර්තා  කිරීමේදි බොහොම ඉවසිලිවන්තව ඒ දේ ඉටුකරන බවක් පෙනෙන්නට තිබෙනවා. පසුගිය සතියේ සිදුවූ සිද්ධියෙදීත් මාධ්‍යවේදීන් බොහොම ප්‍රවේශසම් සහගතව තම කාර්යය ඉටු කළ බව දකින්න ලැබුණා. වගකිව යුතු ආකාරයෙන්, රට තුළ ජාතිවාදය අවුස්සන්නෙ නැතිව මෙවැනි දේවල් රටේ සිදුවන බව පමණක් ජනතාවට දැනුම් දීමට මාධ්‍යවේදීන් කටයුතු කළා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ‍පොඩි ‍පොඩි තැන්වල යම් යම් අඩුපාඩු සිදුවෙන්න ඇති. නමුත් බොහෝ දුරට මාධ්‍යවේදීන් වගකීමෙන් තමයි දැන් ව්‍යසන අවස්ථාවලදි තොරතුරු වාර්තා කරන්නෙ.

වාර්තාකරණයේ හදා ගතයුතු තැන් තව තිබෙනවා  

- විද්‍යා ‍ලේඛක, මාධ්‍ය විශ්‍ලේෂක නාලක ගුණවර්ධන


ව්‍යසනයක්  විවිධ  මුහුණුවර ගත හැකියි. ආපදාවක්,  ඉක්මනින්  බෝවෙන දරුණු වසංගත රෝගයක්, අවි ආයුධ ගබඩාවක් පිපිරී යෑමක් නැතහොත් ත්‍රස්ත ප්‍රහාරයක් ආදි වශයෙන් එය විවිධ වෙනවා. මේ සෑම අවස්ථාවකදීම සිදුවෙමින් පවතින්නෙ කුමක්ද යන්න ගැන නිවැරිදි හා නිරවුල් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට කොයිකාටත් ඕනෑ වෙනවා.  සමාජයේ තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවලට ඒ නිසාම විශේෂ වරප්‍රසාද ලබා දී තිබෙනවා. ඊට සමාන්තරව පුවත් මාධ්‍යවලටත් වගකීම් සමුදායක් පවතිනවා.

ව්‍යසනයකින් පසු නිවැරිදි තොරතුරු සොයා ගැනීම අභියෝගාත්මකයි. සිදුවීමේ බිහිසුණු බව සහ විහිදුණු පරාසය අනුව එක් තැනකින් හෝ බොහෝ තැන්වලින් තොරතුරු එක් රැස් කරන්නට සිදුවෙනවා. දෙදහස් හතරේ සුනාමියෙන් අපේ වෙරළ තීරයේ බහුතරයක් බැට කෑ නිසා සමස්ත චිත්‍රය තේරුම් ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට ද දින ගණනාවක් ගත වුණා. ඒ වගේම පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් අදාළ තොරතුරු හොඳාකාරව මතුවෙන්නට දින දෙක තුනක් ගතවුණා.

කෙසේ වෙතත්, ක්‍ෂේත්‍රයේ විවිධ ප්‍රායෝගික දුෂ්කරතා මැද වුවත්, හැකිතාක් අලුත් සහ දැනට දන්නා පරිදි වඩාත්ම නිවැරිදි තොරතුරු ගෙන ඒම මාධ්‍යවල වගකීමයි. එහිදී නිල තොරතුරුවලට සහ විග්‍රහයන්ට මුල්තැන දෙන අතර තම වාර්තාකරුවන් ස්වාධීනව සොයා ගන්නා ලද කරුණු ද ඊට එකතු කළ හැකියි.  මේ  සියල්ල  කළ  යුත්තේ, දැඩි සංයමයක්  සහිතවයි.  භාවප්‍රකෝපකාරී වාර්තාකරණය නුසුදුසුයි. තොරතුරු තහවුරු කරගන්නට යම්කිසි අවම කාලයක් හා වෙහෙසක් අවශ්‍යයි. සැමට කලින් පුවතක් ප්‍රචාරය කරන්නට තැත් කරන විට මාධ්‍ය ප්‍රමිතීන් සහ මාධ්‍ය ආචාර ධර්ම කඩවන්නට හැකියි.

අනෙක් අතට පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ඉක්බිති සිදු වූ වාර්තාකරණයේ හොඳ ප්‍රවණතා මෙන් ම හදාගත යුතු තැන්ද අප දුටුවා. නිල මූලාශ්‍රයකින් තහවුරු කර නොගත් නොයෙක් දුස්තොරතුරු සමහර විද්‍යුත් මාධ්‍ය වාර්තා කරනු විටින් විට දැකිය හැකි වුණා. දුස්තොරතුරු ගලා ගියේ,  සමාජ  මාධ්‍ය හරහා පමණක්  නොවෙයි.  අපේ මහා මාධ්‍ය සමහරක්ද ප්‍රහාරකයන්ගේ අනන්‍යතාව ගැන නිල විග්‍රහයක් එන්නටත් කලින් නොයෙක් අනුමාන කරනු අප දුටුවා. නමුත් රූපවාහිනී සියල්ලම පාහේ මළ සිරුරුවල රූප පෙන්වීමෙන් වැළකී සිටියා. තුවාලකරුවන් ඔසවාගෙන යන දර්ශන පවා පෙන්වූයේ ඔවුන්ගේ අනන්‍යතාව නොදැනෙන පරිද්දෙන්.

මෙය ලෝක සම්මත ප්‍රමිතීන්ට අනුගතයි. එහෙත් රෝහල්ගත කෙරුණු තුවාලකරුවන් සිදු වූ දෙයින් වික්ෂිප්තව සිටියදීම ඔවුන් අසලට ගොස් ඔවුන්ගෙන් අදහස් විමසන්නට කළ උත්සාහයන් ද අපි දුටුවා. එය රෝගීන්ගේ තත්ත්වය පිළිබඳ අසංවේදී වීමක්. ඔවුන්ගේ පෞද්ගලිකත්වය නොතැකීමක්. පුවත් වාර්තාකරණයට ඇසින් දුටු සාක්ෂි අවශ්‍ය බව ඇත්ත. එහෙත් දැඩි කම්පනයට පත්ව සිටින අයගෙන් “මොකද වුණේ” කියල ඇසීම කිසිසේත් සුදුසු නැහැ. මේ නිසා වඩාත් ප්‍රවේශම්කාරී විය යුතුයි. එසේ ම පුවත්  වාර්තාකරණය සහ කර්තෘ මණ්ඩලයේ අදහස් දැක්වීම පැහැදිලි ලෙස වෙන්ව තිබිය යුතු යැයි මාධ්‍ය කලාවේ මූලධර්මයක් තියෙනවා.

පාස්කු ඉරිදායින් පසු එළැඹි සඳුදා සියලු පුවත්පත් මුල් පිටු මා සමීපව  අධ්‍යයනය කළා. සමහර  සිංහල  පුවත්පත්  “මුළු  රටම ආගාධයකට ඇද වැටුණා” යැයි මුල් පිටුවේ පුවත් වාර්තාවල සහ සිරස්තලවලින් මතවාදයක් මතුකර තිබුණා. එසේ කීම ඔවුන්ගේ ප්‍රකාශන අයිතිය වුවත්, කතුවැකියකින් කිව යුතු දේ පුවත් වාර්තාවලට රිංගවීම මාධ්‍ය ප්‍රමිතිය නොවෙයි. එසේ ම රටම සංවේගයට හා භීතියට පත්වූ මොහොතක කතුවරුන්ගේ හෝ හිමිකරුවන්ගේ දේශපාලන අරමුණු සඳහා තමන්ගේ පුවත් වාර්තා හැසිරවීම ජාතික යැයි කියා ගන්නා කිසිදු පුවත්පතකට සුදුසු නැහැ.


අර්බුද අවස්ථාවකදි රජයේ හඬ ඉතා වැදගත්. එදිනෙදා ජීවිතයෙදි රජය ගැන තැකීමක් නොකර සිටින පුරවැසියන් පවා හදිසි අවස්ථාවකදි බලධාරීන් ඒ ගැන කියන්නේ කුමක්ද යන්න පිළිබඳව උනන්දු වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පැය  ගණනක් ගතවෙන තුරු සිදුවන්නේ කුමක්ද යන්න ගැන නිල විග්‍රහයක් අප දුටුවේ නැහැ.  අර්බුද අවස්ථාවක නිල තොරතුරු විශ්වසනීය ලෙස මාධ්‍යවලටත්, මහජනතාවටත්, සන්නිවේදනය කරන්නට රජයේ සූදානම සහ පෙළගැස්ම නොසෑහෙන බව නම් පැහැදිලියි. දුස්තොරතුරුවලට  හොඳම  ප්‍රතිකර්මය සමාජ  මාධ්‍ය අවහිර කිරීම නොව, නිල තොරතුරු ඉක්මනින් සහ නිරවුල්ව සමාජගත කිරීමයි.


වෙනදාට සාපේක්ෂව මාධ්‍ය වගකීමෙන් කටයුතු කළා

-‍‍‍ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ


රට තුළ ඇතිවන විවිධ අභියෝගාත්මක අවස්ථාවලදි ජනමාධ්‍යයේ හැසිරීම සාමාන්‍ය හැසිරීම් තත්ත්වයට වඩා වෙනස් මඟක් ගත යුතු බව අපි දන්නවා. ලෝකෙ පුරාම එවැනි උදාහරණ ඕනෑතරම් දැකිය හැකියි. ලෝකය  පුරා  ඇතිවන  විවිධ ස්වාභාවික ව්‍යසන මෙන්ම යුදමය තත්ත්වයන්හිදීත් මාධ්‍යයේ හැසිරීම වෙනදාට වඩා වෙනස් වෙනවා. එලෙස ස්වාභාවික ව්‍යසන හා යුදමය අවස්ථාවලදි ඇත්ත වශයෙන්ම මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය වෙනදාටත් වඩා වැඩි සමාජ වගකීමකින් යුතුව හැසිරවිය යුතුයි. ඒ වන විට යම් ආකාරයෙන් අනුගමනය කරමින් සිටි ආචාර ධර්මවලටත් වඩා වැඩි වගකීමකින් යුක්තව මාධ්‍ය කටයුතු කළ යුතු වෙනවා.

ඒකට හේතුව අර්බුදකාරී අවස්ථාවල එක් ජන කොටසකට හෝ පීඩාවක් නොවීමටයි අපි කටයුතු කළ යුතු වෙන්නෙ. අපේ රට තුළම එවැනි උදාහරණ දැක ගත හැකියි. පසුගිය යුදමය වාතාවරණය තුළ අපේ රටේ  විවිධ ප්‍රභූ  පිරිසට ප්‍රහාර එල්ල කළ අවස්ථාවලදී, වගේම විවිධ ආගමික ස්ථානවලට කරන පහරදීම්වලදි ජනමාධ්‍ය ඒ තොරතුරු එක්වනම ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටිනවා. තොරතුරු ප්‍රචාරය කිරීම ප්‍රමාද කරනවා. ඒ සීමා කිරීම වෙන්නෙ වාරණයක් නිසා සිදුවන දෙයක් නොවෙයි. ‍පොදු සමාජ සුබසිද්ධිය උදෙසා එවැනි සීමා කිරීම් කළ යුතු වෙනවා. එය ලෝකයේ පිළිගත් මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ එක් ස්වරූපයක්.

පසුගිය සතියේ ඇති වූ තත්ත්වය බැලුවාම වෙනදාට සාපේක්ෂව නම් මෙවර මාධ්‍ය භාවිතාව යම්කිසි ආකාරයක වගකීමකින් කටයුතු කළ බවක් පෙනෙන්ට තිබුණා. ඒ වගේම ජාතික ආරක්ෂාව, ජාතීන් අතර සමඟිය, ආරක්ෂා කරගනිමින් තත්ත්වය වාර්තා කිරීමට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන යම් ආකාරයක සාර්ථක උත්සාහයක් ගත් බවක් පෙනෙන්නට තිබුණා. නමුත් එම උත්සාහය සියයට සීයක් සාර්ථකයි කියල කියන්න බැහැ. මොකද මේ වෙද්දි අපි වැඩිවශයෙන් ම ඇසුරු කරන්නෙ විද්‍යුත් මාධ්‍ය සහ නවමාධ්‍ය. තොරතුරු ප්‍රචාරය කිරීම සහ ඒවා ලබා ගැනීමට ඔවුන් තුළ විශාල උනන්දුවක් පැවතුණා.

ඒ නිසාම විද්‍යුත් මාධ්‍යවල  Breaking News  කියන සංකල්පය කිසියම් අවිධිමත් ආකාරයකින් භාවිත වුණාද කියලා මට සිතෙනවා. විශේෂයෙන් ම රෝහල්වලට ගොස් ඇතැම් මාධ්‍ය හැසිරුණ ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ගැටුමකදි තුවාලකරුවන් ගැන තොරතුරු ඉදිරිපත් කිරීම වැදගත් තමයි. නමුත්, තුවාල වූ රෝගීන්ගේ ඇඳන් ළඟට ගිහින් තොරතුරු ලබා ගැනීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළා. එය එතරම් හොඳ දෙයක් නොවෙයි. ඇතැමුන් ජනතාව කැළඹෙන ආකාරයේ තොරතුරු පවා ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. විද්‍යුත් මාධ්‍යවල තිබුණ තරගකාරීත්වය නිසාම එවැනි දේට පෙළඹුණාද කියල හිතෙනවා. ඒ නිසා ඔවුන්ගේ සමාජමය වගකීම යම් තරමකට සාර්ථක වුණත්, තවදුරටත් මාධ්‍යවේදීන් මේ වගේ අවස්ථාවලදි වැඩි සමාජ වගකීමකින් කටයුතු කරන්නට වගබලා ගත යුතුවෙනවා.

සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කර වාර්තා කිරීමක් සිදු වුණේ නැහැ

- ප්‍රංශ පුවත් සේවයේ වාර්තාකරු අමල් ජයසිංහ


මං හිතන ආකාරයට නම්, මාධ්‍යයේ හැසිරීම සාමාන්‍ය අවස්ථාවකදීත්, ව්‍යසනකාරී අවස්ථාවකදීත් අතර විශාල වෙනසක් දැකිය හැකි දෙයක් නොවෙයි. ඕනම තොරතුරක් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ මූලධර්ම එකයි. 

සාමාන්‍ය මෝටර් රථ අනතුරක් වාර්තා කරද්දිත්, මේ වගේ බෝම්බ ප්‍රහාරයකදිත්, ඒ මූලධර්මවලට හානියක් වෙන්න බැහැ. නමුත් මේ වගේ විශාල ඛිෙදජනක සිදුවීමක් වූ අවස්ථාවකදි, මුද්‍රිත මාධ්‍යයට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඊට හේතුව ඒ වගේ අවස්ථාවකදි ක්ෂණිකව තොරතුරු ගලාගෙන යන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අතර මුද්‍රිත මාධ්‍යයට ජනතාවගේ ආකර්ෂණය රඳවා ගැනීමට විශාල වෙහෙසක් දරන්නට සිදුවීමයි. සිදුවීමට පහුවදා, පුවත්පත ප්‍රකාශයට පත්වෙද්දි එහි පළවෙන බොහෝ පුවත්, ඊට පෙරදිනම ජනතාව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යවලින් ලබාගෙන අවසන්.

ඒ නිසා අපි විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යවේදීන් තව දියුණු කරගත යුතු පැත්තක් තමයි, මේ වගේ සිදුවීමකදි විද්‍යුත් මාධ්‍ය මඟින් ආවරණය කළ නොහැකි, එහෙත් ජනතාවට මේ සිදුවීම තවදුරටත් තේරුම් ගැනීමට උදව් වන ආකාරයෙන් තොරතුරු ඇතුළත් ලිපි පුවත්පතට ඇතුළත් කිරීම. නමුත් ඒ සඳහා විශාල කාලයක් සහ ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා එක් පුද්ගලයෙක් වෙන් විය යුතුවෙනවා.

තොරතුරු ගැඹුරින් සොයා බැලීම සඳහා වැඩි වෙහෙසක් දරන්න සිදුවෙනවා. ඒ නිසා එවැනි ලිපි පළකිරීමේ ප්‍රායෝගික ගැටලු අපේ සෑම මාධ්‍යයකට ම පවතිනවා.  එහෙත් එවැනි සිදුවීම්වලට පසුබිම් වූ තොරතුරු, සිද්ධියට මුල් වූවන්ගේ සමාජ පසුබිම, ආදී තොරතුරු විස්තරාත්මකව විද්‍යුත් මාධ්‍යයේ සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන්න අපහසුයි. ඒ නිසා එවැනි තොරතුරු මුද්‍රිත මාධ්‍ය තුළ ඇතුළත් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

සමස්තයක් ලෙස අපේ සියලු මාධ්‍යවල බොහොම හොඳ වාර්තාකරණයක් නම් තියෙනවා. නමුත් අපි හැමෝම උත්සාහ ගන්නෙ සිදුවීමකදි එදිනෙදා වන සිදුවීම්වල තොරතුරු වාර්තා කරන්න පමණයි. ඊට එහා ගිහින් ඒ සිදුවීම ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා ලිපි සැපයීම දියුණු කර ගන්න පුළුවන් නම් එය අපේ මාධ්‍ය කලාවේ විශාල දියුණුවක් වෙනවා.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.