lakbima.lk

පාතාලයන්ට නම් තබන්නේ මෙහෙමයි

උප්පැන්න සහතිකයට අනුව නම් ඔහුගේ නම සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතය. ඔහුගේ ලිපිනය සමරගිර, ගතාර, කඹුරුපිටියය. එහෙත් ගතාරේ උපන් සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත කිවහොත් ඔහුගේ රූපකාය හෝ වගතුග රට්ටුන්ට මතකයට නොඑන බව සහතිකය.

එහෙත් මාකඳුරේ මධුෂ් යනුවෙන් කීවේ නම් ඔහු ගැන නොදන්නා අයෙක් මේ මොහොතේ මේ ලක්බිමේ නැත්තේය. කඹුරුපිටියේ උපන් මධුෂ් මාකඳුරේ මධුෂ් වූයේ මාකඳුරෙන් පෙළවහක් කරගෙන එහි බින්න බැස පාතාලයට සම්බන්ධ වූ නිසාය. එතැන් පටන් ඔහු බෞතිස්ම වූයේ මාකඳුරේ මධුෂ් යන අලුත් නමිනි. එහෙත් ඒ අලුත් නම නම් ඔහුගේ උප්පැන්නේ නැත්තේය.

මධුෂ් පමණක් නොව පාතාලයේ සියල්ලෝම හඳුන්වන්නේ සැබෑ නමින් නොව ඔවුන්ගේ නමට ඉදිරියෙන් ඔහුගේ නම, ගම ඇඳා ගනිමිනි. එවැනි සිරිතක් ලංකාවේ ඇත්තේ භික්ෂුන් වහන්සේ හා පැරණි කලාකරුවකු හඳුන්වන විටය. ඔවුන් හැරුණුකොට ගම සමග නම එකතු කර හඳුන්වන අනෙක් පිරිස පාතාල සාමාජිකයන්ය.
මීට බොහෝ කලකට ඉහතදී ලංකාවේ පාතාල සාමාජිකයෝ සිටියේ නැත. එනමුත් අතින් පයින් ගහ ගන්නා චණ්ඩි සිටියෝය. ඔවුන් හැඳින්වීමටද ඔවුන්ගේ ගම යොදා ගැනුණි. ”මරදානේ චොප්පේ අයියා, අග්ගොන චන්දරේ” එවැනි අයය.

එහෙත් දැන් ඉන්නේ අතින් පයින් ගහගන්න චණ්ඩින් නොව හොස්ස ළඟින් මැස්සා ගියත් පිස්තෝල, ටී 56 දික් කරන පාතාලයෝය. ඔවුන්ට නම් පටබැඳී ඇත්තේද හරි අපූරු ආකාරයටය.

පාතාලයේ නොවුණත් පිස්තෝල මංජු ද එවැනි අපූරු චරිතයකි. ඔහුට ඒ නම පටබැඳුණු කතාව මෙසේය.
මිනුවන්ගොඩ  පදිංචි මංජුල යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී දිනක් ඔහු ‍පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට ලක් වූයේ ඔහුගේ හැඩිදැඩි පෙනුම නිසාය. මොහු චණ්ඩියෙකු බවට පෙනුණ හෙයින් ‍පොලිස් නිලධාරීහු ඔහුගේ යතුරුපැදිය නැවැත්වීමට සංඥා කළහ. ‍පොලීසිය දුටු සැණින් මංජුල ‍පොලිස් සංඥාවද නොතකා කෙළින්ම යතුරුපැදිය සිය ගම් ප්‍රදේශයේ වෙළෙඳසලක් අසලට පදවාගෙන ගොස් නැවැත්විය.
ඔහු පසුපස පන්නා ආ ‍පොලිස් නිලධාරීන් ඔහුගේ හිසට පිස්තෝලය තබා “තමුසේ මොකද අපිව දැකලා පැනලා ආවේ? තමුසේ චණ්ඩියෙක්ද? යැයි ගෝරනාඩු හඩින් විමසන්නට විය.

එහිදී යතුරුපැදියේ සිටි මංජුල “අනේ සර්, එහෙම කෙනෙක් නෙමේ මම” යැයි පවසමින් වැඳ වැටෙන්නට විය. එවිට වෙළෙඳස‍ලේ මුදලාලිද එම ස්ථානයට පැමිණ “අනේ
රාළහාමි මේ අහිංසක ළමයෙක්” යැයි පවසන්නට විය. ඉන්පසු ‍පොලිස් නිලධාරීන් මංජුලව මුදා හැරියේය. එදා සිට ගම්වැසියන්ට ඔහු පිස්තෝල මංජු විය.

පිස්තෝල මංජු ට එසේ නම පටබැඳෙද්දී පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස එකල විරුදාවලී ලැබුයේ නාවල නිහාල් ය. ඔහුගේ නම ඇසීම පවා ඇතැමුන්ට භීතිය ගෙන දෙන්නක් විය. ඔහු නාවල පදිංචිකරුවෙකු වූ හෙයින් පාතාලයේ පමණක් නොව රට්ටු සියලු දෙනාම ඔහුව හැඳින්වූයේ නාවල නිහාල් ලෙසිනි. නාවල නිහාල් වුවත් ඔහු පසු කලක නාවල පදිංචිය අතහැර ජීවිතාරක්ෂාව පතා යුරෝපයට ගියේය.

අසූව දශකයේ මුළු රටම හෙල්ලු පාතාල නායකයා වූයේ ගෝනවල සුනිල් ය. කැලණිය, ගෝනවල නිසා ඔහු ගෝනවල සුනිල් විය. එකල ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ පාසල් ශිෂ්‍යාවක දූෂණය කර හිරේට නියම වී, ජනපති විශේෂ සමාව ලැබිම නිසාය. ජේ. ආර්. ඔහුට ජනපති සමාව දුන්නා පමණක් නොව මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක්ද පිරිනැමීය. ගෝනවල සුනිල් සේම සොත්ති උපාලි ද කරළියට ආවේ ආර්.ප්‍රේමදාස ජනාධිපති සමයේය. සොත්ති උපාලි ගම්උදාවට පස් පිඩැලි සැපයීමේ කොන්ත්‍රාත්කරු විය. එකල එජාප මහ ‍ලේකම්ව සිටි සිරිසේන කුරේ වරක් ඔහු හැඳින්වූයේ අපේ ළමයකු ලෙසය.
උපාලි සොත්ති උපාලි වූයේ මොහුගේ එක් අතක පැවැති ආබාධයක් නිසාය. මේ නිසා තමාට සොත්ති උපාලි යනුවෙන් අමතනවාට ඔහු කැමැති වූයේ නැත.

ගෝනවල සුනිල්, සොත්ති උපාලිලාගෙන් පසු කරළියට ආවේ බැද්දගානේ සංජීව ය. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්දය ඉල්ලූ සමයේ ඇගේ පෞද්ගලික ආරක්ෂකයකු විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගානේ ජීවත් වූ ඔහු චන්ද්‍රිකා ජනපති වූ පසු ‍පොලිස් දෙපාර්තමේන්තුවට එක්කර ජනපති ආරක්ෂක අංශයට බඳවා ගැනුණි. ‍පොලීසියට බැඳුණාට ඔහු කොස්තාපල් සංජීව ලෙස නොව බැද්දගානේ සංජීව ලෙසටම ඝාතනයට ලක්වන තුරුම හඳුන්වනු ලැබුණි.

මාලිගාවත්තේ විසූ ඉම්රාන් “කංජිපාන ඉම්රාන් වූයේ ඔහුගේ පවු‍ලේ කැඳ ව්‍යාපාරය නිසාය. කංජිපාන ඉම්රාන්ගේ පියා කැඳ විකුණුවේය. කුඩා කල සිටම කැඳ කරත්තය අසලට වී ඉම්රාන්ද කැඳ වික්කේය. කංජිපාන ලෙස දෙමළ බසින් කැඳ හැදින්වූ අතර ප්‍රදේශවාසීහු ඔහුට කංජිපාන ඉම්රාන් ලෙස නම් පටබැන්දහ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මොහු 2015 වසරේ ඩුබායි රාජ්‍යයට පලා ගියේ ජීවිත ආරක්ෂාව පතාය.

කොටහේන මොහොමඩ් නියාස් යනුවෙන් කියූ විට රට්ටු හඳුනන්නේ නැත. දෙමළ පාතාලය හා එක්ව ක්‍රියා කරමින් සිටි මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පාතාලයේ සිය එදිරිවාදියකු වූ විජේපාලන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්වී, සිය දකුණු ඇස අහිමි විය. එදා සිට ‍පොට්ට නවුෆර් ලෙස විරුදාවලී ලැබූ මොහු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය හා ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගතවය.

අංගොඩ-කැලණිමුල්ල පදිංචිකරුවෙකු වූ පණ්ඩිතගේ ශාන්ත කුමාර සිය මව, වැඩිමහල් සහෝදරයා සමග කැලණිමුල්ල හන්දියේ කොස් කපා විකිණීම  කළේ ජීවත් වීමටය. එහෙත් එහිදී ඇතිවූ ගැටුමක් ඔහුව පාතාලයට යොමු කරවිය. කොස් සමග දිවි ගෙවූ ඔහු එහිදී කොස් මල්ලි ලෙස පාතාලයේ ප්‍රකට විය. රණා‍ලේ සමයංගේ පාර්ශ්වයට එක්ව මොහු මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයකු වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් රිස්කාන් ඝාතනයේ සැකකරු විය. ඉකුත් අවුරුද්දේ මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත ඔහුගේ ගෝලයන් කොස් මල්ලිව ඝාතනය කර ඔහුගේ කඳින් වෙන් කළ හිස අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට තබා තිබුණේය. පාතා‍ලේ මේ බොහෝ දෙනකුගේ උපන් ගම කොළඹය. කොළඹට උතුරෙන් ඇත්තේ ගම්පහය.

ගම්පහින් බිහිවූ පාතාල නායකයකු වන්නේ මාකිලංගමුවේ සංජීව ය. ගණේමුල්ල, මාකිලංගමුවේ පදිංචිව සිටි සංජීව කුමාර සමරරත්න රැකියා කිහිපයක් කළේය. ඔහු කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළ අයෙකි. මොහු පාතාලයට බෞතීස්ම වූ මොහොතේ සිට ගමේ නාමයෙන් ඔහුව හැඳින්විය. විවිධ ඝාතන, අපරාධ රැසක් මෙහෙයවන ලද මොහු දෙමටගොඩ චමින්ද ගමන් කළ බන්ධනාගාර රියට වෙඩි තැබිමේ ප්‍රධාන සැකකරුද වේ.

ගණේමුල්‍ලේ සංජීවගේ සමීපතමයකු වූයේ ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස්පුර සම්පත් කුමාරය. මොහු කලක් යුද හමුදාවේ සේවය කර ඇති හෙයින් ඔහු ආමි සම්පත් ලෙස ප්‍රකට විය. පාතාලයකු වූ ‍පොට්ට නවුෆර්ගේ ප්‍රතිවාදියෙකු වූ ආමි සම්පත්, බ්ලූමැන්ඩල් සංඛ හා සබඳතා පවත්වන්නෙකි. මොහුත් විවිධ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. මේ වන විට සිටින්නේ ඕස්ට්‍රේලියාවේය.

අංගොඩ පදිංචිව සිටි ලසන්ත චන්දන පෙරේරාව කුඩා කල සිටම ගම්මු හැඳින්වූයේ ලොක්කා ලෙසිනි. පාසල් අධ්‍යාපනයෙන් පසු පාතාලයට පිවිසි ඔහු අංගොඩ ලොක්කා නමින් ප්‍රකට වූයේ ගම අංගොඩ බැවිනි. අංගොඩ ලොක්කාගේ සමීපතයන් වූයේ බාල්දි ප්‍රියන්ත හා ලඩියා ය.

අංගොඩ ප්‍රියන්ත කුමාරගේ පියා බාල්දි නිෂ්පාදනය කළ හෙයින් ඔහු බාල්දි ප්‍රියන්ත ලෙස නම් ලැබිය. එමෙන්ම මොහු යන යන තැන ගැටුම් නිර්මාණය වන හෙයින්ද මොහුට බාල්දි ප්‍රියන්ත ලෙස මිතුරන් අමතන බව පැවැසේ.
කඩුවෙල - රණාල පදිංචිව සිටි අරුණ උදය ශාන්ත පතිරණ කඩුවෙලින් නැගී ආ චරිතයක් විය. මොහු ප්‍රහාර එල්ල කළේ අංගොඩ ලොක්කා ගේ පාර්ශ්වයටය. නිතරම දඟලන චරිතයක් වූ හෙයින් මොහු සමයං ලෙස මිතුරන් අතරේ ප්‍රසිද්ධව සිටියේය..මොහු ඉකුත් 2017 වසරේදී බන්ධනාගාර බසයකින් අධිකරණය වෙත ගමන් කරමින් සිටියදී අංගොඩ ලොක්කා ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය.

තිරිකුණාමලයේ  පාතාලය මෙහෙයවූයේ කපිලය. මොහුගේ ප්‍රතිවාදියා වුයේ අයිස් මංජු ය.
මොහු සන්තකයේ නිතරම බෝම්බ තිබූ අතර එම බෝම්බ නිරන්තරයෙන්ම ප්‍රතිවාදීන්ට දමා ගැසූ හෙයින් මොහුට බෝම්බ කපිල ලෙස අන්වර්ථ නාමය පටබැඳුනි. 2003 වසරේදී මොහු අයිස් මංජු ගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය.

තිරිකුණාමලයේ මාළු වෙළෙඳ ස‍ලේ අයිස් කඩන්නෙකු වූ මංජු අයිස් මංජු ලෙස ප්‍රකට විය. එමෙන්ම ඔහුගේ පියා අයිස් නිෂ්පාදනය කළ අතර ඔහු අයිස් ආරි විය. ඒ නිසා මොහුද අයිස් මංජු වූ බවත් පැවැසේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සබඳතා පැවැත්වූ මොහු යුද හමුදාවේ බුද්ධි අංශයේ කර්නල් රිශ්වි මීඩින් කිරිබත්ගොඩදී ඝාතනය කිරීමේ සැකකරුද වේ.

කඩුවෙල ධම්මික ප්‍රදිප් කුමාර දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකු වූ හෙයින් මොහු කරාටේ ධම්මික විය. ඝාතන රැසක මහමොළකරු වූ මොහු 2011 වසරේදී අතුරුදන් වූයේ අභිරහස් ලෙසිනි. ඔහුට පෙර කඩුවෙලින් තවත් පාතාල නායකයකු කරළියට ආවේය. ඔහු කඩුවෙල වසන්ත විය. පසුකලද ඔහුද ඝාතනය විය.

සූරියවැව සති‍පොළේ වම්බොටු විකුණු අජිත් වසන්ත 2000 වර්ෂයේදී පමණ පාතාලයට එක් වූයේ වම්බොට්ටා ලෙසය. මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට චෝදනා ලැබූවකු වූ ඔහු දැන් සිටින්නේ අඩි හයක් ‍පොළොව යටය.

ශානිකා මාධවි පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.