lakbima.lk

නුඹලාගේ අත්වලත් ‍ලේ ද?

උප්පැන්නයේ හැටියට, මගේ ජාතිය සිංහල ය. කතා කරන භාෂාව සිංහල ය. අම්මා තාත්තා පරම්පරාවෙන් බෞද්ධ වූ නිසා මා ද ‘බෞද්ධ’ ය.

එහෙත් මගේ අම්මා නිතර දෙවේ‍ලේ කියන්නේ මා ‘අන්ත මිථ්‍යාදෘෂ්ටිකයකු’ බව යි. අම්මා එසේ කියන්නේ, ‍පෝයටවත් පන්සල් නොයන, රේඩියෝවේ බණ නාසන දවස් ගණන් ‍පෝලිමේ ගොස් ධාතු වන්දනා නොකරන මගේ හැසිරීම ගැන පමණක් සලකා ය.

මා සමග එකම දහම් පාස‍ලේ එකට උගත් මිතුරෙක්ද මා මිථ්‍යාදෘෂ්ටික යැයි කියමින් මෑතක පටන් දුරකථන කෙටි පණිවිඩ මගින් නොයෙක් වර මත ගැටුම් ඇති කර ගනිමින් සිටියි. හේ දැන් උග්‍ර මුස්ලිම් විරෝධියෙකි. මුස්ලිම් විරෝධී ‘‍පෝස්ට් ෂෙයාර් කරන්නට එපා’ යැයි ජංගම දුරකථනයට යැවූ පණිවිඩයකට, ‘ඇයි දැන් ආගම වෙනස් කරලා දැ’යි පෙරළා මගෙන් විමසා තිබුණි. මගේ වැඩිමල් සොයුරාටද මා මිථ්‍යාදෘෂ්ටික ය.

මිථ්‍යාදෘෂ්ටික යැයි ‍ලේබලය වැදුණද, මෑතක මගේ ‘දෘෂ්ටියේ’ වූ කිසිදු වෙනසක් නොවූ බව මට සහතික වශයෙන් කිව හැකි අතර, මා මවිතයට පත් කරමින් මා මිථ්‍යාදෘෂ්ටික යැයි කියනා වැඩි දෙනා ඉතා කෙටිකලක් ඇතුළත සිදූ වූ සිදුවීම් හේතුවෙන් සිය දෘෂ්ටිකෝණය වෙනස් කරගත් අය බවට පත්ව සිටිති.


මට මුස්ලිම් කඩවලින් කෑම කන්නට පුරුදු කළේ මගේ සොයුරා ය. “අපේ එවුන්ගෙ කඩවල් වගේද බලනවාකො, මේවා හරි පිරිසිදුයි’ මුස්ලිම් කඩයකින් කෑම කන්නට ගොඩ වූ මුල්ම දවසේ ඔහු කීවේය. කුඩා කල ඔහු සමග කොළඹ ආ එකදු වතාවකවත්, පිටකොටුවේ තෝසෙ කඩයකින් බඩ පුරවා නොගෙන මා ගෙදර ගොස් නැත.

එතැන් පටන්, වසර ගණනක් තිස්සේ, මිතුරන් සමගද, සැමියා සමගද, ගමන් බිමන් යද්දී මුස්ලිම් කඩවලින් බඩ පුරවා ගත් වාර ගණන කොතෙක්දැයි මට මතක නැත. 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුදින සොයුරාගේ ෆේස්බුක් වෝලය පරීක්ෂා කළ මට සිතුණේ, ‘මේකා නම් මගේම සහෝදරයා වෙන්නට බැරි යැ’යි කියාය.

‘ඕකුන්ගෙ කඩවලින් බඩු ගන්නවත් එපා’ යැයි දැනට අවුරුද්දකට දෙකකට කලින් පටන්, මට කියන්නට පුරුදු වී සිටින සොයුරා පාස්කු ප්‍රහාරයෙන් පසු සිය මුස්ලිම් විරෝධී මතවාදයේ උච්චතම තැනට නැග සිටිනු දක්නට තිබුණි. 
දැන් වසර ගණනක් තිස්සේම, මා දන්නා කියන ඇතැම් පිරිස්ද ජීවිතේට දැක නැති පිරිස්ද, මුස්ලිම් කඩවලින් බඩු ගන්නට එපා කියමින් මට ‘මැසෙන්ජර්’පණිවිඩ එවති. හැම අවුරුද්දකම අවුරුදු කාලයට එසේ ලැබෙන පණිවිඩ ගණන නම් නිමක් නැත.


“මුස්ලිම් කඩයකින් බඩු නොගෙන සිටීමට ඔබට අයිතියක් ඇත. ඒ ඔබේ කැමැත්ත නිසාය. එහෙත් ඔබේ කැමැත්ත මගේ අයිතිවාසිකමේ සීමාව ඉක්මවා යන්නට පෙර ඔබම නතර කර ගත යුතුයැ”යි යනුවෙන් මම එක්තරා කථිකාචාර්යවරයකුට ‘ඉන්බොක්ස්’ කළ පසුව, ඔහුගේ මුස්ලිම් විරෝධයට මා හවුල් කර ගැනීම නැවතිණි. 


මේ ලිපිය ලියන මොහොත වන විට, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් තුන්සියයකට අධික පිරිසක් මියගොස්, තවත් පිරිසක් තුවාල ලබා සිටිති. බෝම්බයෙන් වැනසුණු ජීවිත රටාවද, තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ඊටත් සතියකට පසු හලාවත, නාත්තන්ඩිය, මිනුවන්ගොඩ පුපුරා ගිය ‘ජාතිවාදී බෝම්බ’වලින් තවමත් මාධ්‍යය හරිහැටි නොඇඳිනූ ‘එක් පුද්ගලයකුගේ’ දිවි තොර විණැයි වාර්තා විණි. ගැටුම් දිගින් දිගට පැතිරිණි නම්, බෝම්බ මාලාවෙන්, වැනසුණු ජීවිත ගණනට වඩා ප්‍රමාණයක් ‘හඳුනා නොගත් ත්‍රස්තයින්’ වනසන්නට ඉඩ තිබුණි. 


21 වැනිදා කතෝලිකයින් පාස්කුව සමරන ඉරිදාවේ පිපිරී ගිය බෝම්බ ප්‍රහාර මාලාව, සිංහලයන්ගේ කතෝලිකයන්ගේ බෞද්ධයින්ගේ පමණක් නොව, මුස්ලිම් මිනිසුන්ගේද ජීවිත මැද්දේ පුපුරා ගිය එකකැයි මුස්ලිම්මු වැඩිදෙනෙක් කියති. මේ කතාව සටහන් කරන්නේ, ඊට නිදසුනක් වශයෙනි.


“කවුද අම්මේ බෝම්බ පුපුරවන්නෙ?” යි පාස්කු ඉරිදා බෝම්බය පුපුරා යාමෙන් දින කිහිපයකට පසු මගේ හය හැවිරිදි දරුවා මගෙන් විමසුවේය. මේ ප්‍රශ්නය සමග ගනුදෙනු කරන ආකාරය ගැන මා කල්තියා කල්පනා කර සිටි බැවින් “ ඒ ටෙරරිස්ට්ලා පුතේ” යැයි පිළිතුරු දීමට පුළුවන් විය. එහෙත් ඊළඟ මොහොතේ දරුවා පෙරළා ඇසූ දෙයින් මම ගල් ගැසී ගියෙමි.


“ඒ කියන්නෙ මුස්ලිම්ද අම්මේ?” ඔහු මගෙන් ඇසුවේය. පාස්කු ඉරිදා සිට දරුවා රූපවාහිනියෙන් ඈත්කර තැබිමට කටයුතු කෙරුණු ඔහු දහවල රැඳෙන මවගේ නිවසේ, එවැන්නක් ඔහුගේ ඔළුවට දැම්මේ කවුදැයි මම විමතියට පත් වීමි.


“කවුද පුතාට කිව්වෙ ඒ ගොල්ලො මුස්ලිම් කියලා?
“රූපා ආච්චි, අපේ ආච්චි එක්ක කිව්වා.”
මට වැටහුණේ, අප ජීවත් වන්නේ අපේම දරුවන් අන් අයගේ අදහස්වලින් ඔළුව විකෘති කර ගන්නා පරිසරයක බවය. එවැනි පරිසරයක මේ බෝම්බ මාලාව, මුස්ලිම් මිනිසුන්ගේ ජීවිත මැද්දේ පුපුරා ගියේ යැයි ඔවුන් කියන්නේ, ත්‍රස්තවාදයට එරෙහි වන අතරේම, සියලු මුස්ලිම් මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙසින් අනෙකුත් ජාතීන් විසින් සලකනු ලැබිමේ නින්දාවට හා සෘජු විරෝධයට ඔවුනට මුහුණ දීමට සිදු වීම නිසාය.

2014 දී සහරාන්ට විරුද්ධව පෙළපාලි ගිය කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව ඇතුළුව, 2015 දී අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයක් ලෙසින්, ලොව ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්කළ, ලාංකීය මුස්ලිම් ප්‍රජාව අද වන විට රට තුළ ත්‍රස්තවාදීන් ලෙස තමන්ට සැලකීමේ විපාක අත්විඳිති. ෆේස්බුක් හි පළවන බොහෝ ප්‍රකාශ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වන වෛරය කළකිරීම මුසු ඒවාය.

මා හොඳින් දන්නා, දැන උගත් සමාජය ඇසුරු කරන තැනැත්තකු සිය ෆේස්බුක් ගිණුමෙහි දමා තිබුණේ, ‘ඉස්ලාම් ආගම අදහන සියලු දෙනා ත්‍රස්තවාදීන් ය’. යන්නයි. ඊට විරුද්ධව මා පළ කළ කොමෙන්ටුවට ඔහු ප්‍රතිචාර දක්වා  තිබුණේ, මා මගේ ‘සිංහල’ නම වෙනස් කර ගත යුතු යැයි කියමිනි.


හලාවත, නාත්තන්ඩිය, මිනුවන්ගොඩ ඇවිළ ගිය ගැටුම්වලට ‍පොහොර සැපයුණේ මේ වැනි වෛරී සහගත, ප්‍රකාශ හා රට ගිනි අවුළුවන යූ ටියුබ් විඩියෝ පටිය. ඉකුත් කාලය තිස්සේත්, තවමත් නිදහසේ සංසරණය වන වෛරී සහගත ප්‍රකාශ කළ කිහිප දෙනකු අත් අඩංගුවට පත් වී ඇතැයි, ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉකුත් දාක පැවැසීය. එහෙත් සමාජ මාධ්‍යයක සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉඩකඩ සුළුපටු බැවින් අදටත් නිදහසේ සංසරණය වන වෛරී සහගත ප්‍රකාශ නම් නිමක් නැත.


නාත්තන්ඩියේ මිනිසා මරා දැමුණු දිනයට පෙර දින, යූ ටියුබ් වල ‘හිට්’ වූ වීඩියෝවක සිටියේ, හිමි නමකි. වීඩියෝවෙන් කීවේ පසුදින හැට දහසක් සිංහල බෞද්ධයින් මරා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව තමන් සහසුද්දෙන් දැනගත් බවයි.

එදිනම එලෙස ‘හිට්’ වූ, තවමත් යූ ටියුබ් චැනලයේ ඉහළින් ඇති විඩියෝවක පෙනී ඉන්නා කාන්තාවක කියන්නේ, අත්තිඩියේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සලකට පැමිණි කිණිස්සක් ගත් මුස්ලිම් කාන්තාවක නිසා එහි කලබලයක් හට ගත් බවයි. වැරදි වටහා ගැනීම් හා වැරදි ලෙස ප්‍රසිද්ධ කිරීමත් නිසා බරපතළ හානි වීමේ අවකාශය සැදිණි.


මැයි 13 වැනිදා  ගැටුම් ඇවිළුණේද, “ච්ධද’බ තචභඨඩ ථධපඥ ධදඥ ඤචර රධභ ඹඪතත ජපර” යන ‍පෝස්ටුවක් මුස්ලිම් තරුණයකු සිය ෆේස්බුක් පිටුවෙහි ‍පෝස්ට් කිරීමත් සමගිනි. මෙහි ඇත්තේ ‘වැඩිය හිනාවෙන්න එපා දවසක අඬන්න වෙයි’ යන සරල කියමන ය. වැරදිකාරයා ‍පෝස්ටුව දැමූ එකා නොව, රට ගිනි තියන්නට එය ‘ගූගල් ට්‍රාන්ස්‍ලේෂන්ස්’ දමා, ‘හෙට තොපිට අඬන්න වෙනවා’ යැයි වැරදි අර්ථයක් මතු කරමින් සිංහලට හැරවූ එකාත්, එය දිගින් දිගට ‘ෂෙයාර්’ කළවුනුත් ය. “Don’t laugh more one day you will cry” කියන්නට දන්නා මිනිසුන්ට  ධදඥ ඤචර රධභ ඹඪතත ජපර යන්න හරවා ගන්නට බැරි වුණේ මන්දැයි මට නොතේරේ.

නැත්නම් සිදුව ඇත්තේ, 21 වැනිදායින් පසු සිදු වූවාක් මෙන් බොහෝ දෑ අපට ඕනෑ හැටියට කියවා ගන්නට යෑමය. දැන් ‍පෝස්ටුව දැමූ තරුණයා හිරේය. වැරදියට පරිවර්තනය කර මිනිසුන් කුලප්පු කළවුන් එළියේය. මේ ‍පෝස්ටුව ගැන, ප්‍රසිද්ධ ගුවන්විදුලි නාලිකාවක ‘පත්තර මල්ලි’ කෙනෙක් කීවේ, ‘නොදන්නා ඉංග්‍රීසියට ගොස් කඩේ කුඩු කරගන්න එපා’ යනුවෙනි. ඒ වන විටත්, ‍පෝස්ටුව දැමූ මුස්ලිම් තරුණයාගේ පියාට අයත් වෙළෙඳ සලක් කුඩු කර දමා හමාරව තිබුණි.


මුස්ලිම් කවුන්සිලයේ සභාපති හා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වන එන්. එම්. අමීන් කළ ප්‍රකාශයද එසේ විකෘති කර විකාශය කිරීම නිසා, රට පුරාම මහත් ආන්දෝලනයක් ඇති විය. ඔහු විසින් දැනුම් දුන් පසුව එම නාලිකාව වරද නිවැරදි කර යළි පළ කළත්, ඔහුට විරුද්ධව පළ කළ ‍පෝස්ටු තවමත් දහස් ගණනින් සංසරණය වෙයි.


මුස්ලිම් සමාජයේ, ක්‍රියාත්මක වූ එක් අන්තවාදයක් නතර වූයේ,  21 දායින් ලොවට හෙළිවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිරිසක් බිහි වීමෙන් ඉක්බිතිය. එම සමාජයේ මෑත කාලයේ රැඩිකල් වූ පිරිසෙන් කොටස එවැනි තැනකින් නතර වූ අතර, ඉතිරිය සාහසික ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන, අයවලුන් බවත්, ඔවුන්ගේ රැඩිකල් වීමේ සීමාවේ කෙළවර, මුස්ලිම් සම්ප්‍රදායට එරෙහි වීම පමණක් බවත්  මුස්ලිම් වියතුන් කියනා කාරණයකි.

සිංහල බෞද්ධයින්ගෙන් රැඩිකල් සුළු පිරිසක් වූ ‘අතිමහත් බෞද්ධයෝ’ සිය මතවාදයට එරෙහි වන්නන් තලා පෙළා පීඩා කිරීමට අනෙකා ‍පොළඹවමින් සිටිනු ඉකුත් කාලය පුරා අවස්ථා කිහිපයකදී අපි දුටුවෙමු. මුස්ලිම් සමාජයේ මෙන්ම, සිංහල බෞද්ධයින්ගේද අන්තවාදීන් ඉන්නේ සුළු පිරිසක් වන අතර, බහුතරය නිහඬ ව සිටීම නිසා ‘සුළුතර’ අන්තවාදී මතය ඉහළට ඒමත්, ඒ අනුව ක්‍රියාත්මක වීමත් දැකිය හැකි වෙයි. අප දන්නා නියම සිංහල බෞද්ධයෝද, ඉස්ලාම් භක්තිකයෝද කතෝලිකයෝද ප්‍රචණ්ඩත්වය පිළිකෙව් කරන්නෝ වෙති.


 ෆේස්බුක් මගින් මුස්ලිම් විරෝධි ‘‍පෝස්ට් ෂෙයාර්’ කරන මගේ මිතුරියක් සිටියි. ඇය මෙහි විශේෂයෙන් සඳහන් කරන්නේ, ඇය විවාහ වී සැමියාගේ ගෙදර නැවතුණු පසු ඇගේ අම්මා තනිව වෙසෙන්නේ, මුස්ලිම් ගමක් මැද්දේ වන බැවිනි. අම්මාගේ තනි නොතනියට කතාබහ කරන්නට, හදිසියකට පිහිට වන්නට සිටින්නේ, මුස්ලිම් එකෙකි.
“ඔයාගෙ අම්මත් ඉන්නෙ, මුස්ලිම් ගමක නේද? මෙහෙම ‍පෝසට් ෂෙයාර් කරන එක හරිද?”යි මම ඇගෙන් විමසා සිටියේ වරක් දෙවරක් නොවේ.


මිනුවන්ගොඩ ගැටුම් ඇවිළී ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය දැමූ රාත්‍රියේ මා කොහේදැයි විමසමින් දුරකථන ඇමතුම් බොහෝ ලද අතර, මාද බොහෝ දෙනකුට දුරකථන ඇමතුම් දී ඔවුන් සුරක්ෂිතදැයි විමසීමි.
එහෙත්, මුස්ලිම් ගමක් මැද්දේ ජීවත් වන අම්මා ගැනවත් වගේ වගක් නැතුව, රැල්ලට ‍පෝස්ට් ෂෙයාර් කරන මිතුරියට රටටම ඇඳිරි නීතිය දැමූ රාත්‍රියේ, මා දුරකථන ඇමතුමක් දුන්නේ නැත.

ගැටුම් මිනුවන්ගොඩ දක්වා පැතිරුණු ආරංචිය ලද මුල්ම මොහොතේ මට සිහිපත් වූයේද මුස්ලිම් ගමක් මැද්දේ ඉන්නා ඒ අම්මා ය. එහෙත් එවේලෙහි දුරකථන ඇමතුමක් දුන්නේ නම්, අම්මා ආරක්ෂිතදැයි අසන්නට මගේ දිව නැමෙන්නේ නැත. ඒ වෙනුවට මා අසනු ඇත්තේ ‘උඹට සතුටුද දැන්?’ කියායි.


බියෙන් සිටින අයකු තවත් බියට පත් කීරීම තරම් නොවේ යැයි යන්න, දැන් වසර ගණනක් තිස්සේ ‍පෝයට පන්සල් නොගොස් “මිථ්‍යාදෘෂ්ටිකයෙකැයි” මවගෙන් විවරණ ලබා සිටින මට වැටහෙයි.

මගේ මිතුරිය මුස්ලිම් මිනිසුන්ට පහර දිය යුතු යැයි  කියා නැත. එකම මුස්ලිම් මිනිසකු හෝ මරා දැමිය යුතු යැයි කියා නැත. එහෙත් ඒ සඳහා වක්‍රව මිනිසුන් ‍පොළඹවන ෆේස්බුක් “‍පෝස්ට්” පහුගිය කාලය තිස්සේම පළ කරමින් සිටියාය.

දෙවැනි දිනයේ ගැටුම් ඇවිළගොස් මුස්ලිම් මිනිසකුද මරා දැමූ රාත්‍රියේ මම දිගින් දිගටම ‍පොස්ට් ෂෙයාර් කළ ඇයට, ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩයක් තැබිමි.
“උඹේ අත්වලත් ‍ලේ නේද?” මම ඇසුවෙමි.
මේ පැනයම මම එකම ලෙයින් උපන් මගේ සොයුරාගෙන්ද අසමි.

හැට දාහක් මරන්නට සැලසුමක් ඇතැයි කියමින් යූ ටියුබ් වීඩියෝ පළ කළ හිමිනමගෙන්ද, අත්තිඩියේ කීල්ස් සුපර් හි කිණිස්සක් ගත් මුස්ලිම් කාන්තාවක් සිටියේ යැයි තකහනියක් වීඩියෝ පළ කළ ගැහැනියගෙන්ද, කඩු කිණිසි පෙන්වමින්, මුස්ලිම් වියතුන්ගේ පවා ප්‍රකාශ විකෘති කළ මාධ්‍යවලින්ද, අසමි. මුස්ලිම් තරුණයකුගේ ‍පෝස්ට්ටුවක් ‘ගූගල් ට්‍රාන්ස්‍ලේෂන්’ දමා වැරදියට සිංහලෙන් පළ කළ තරුණයාගෙන්ද අසමි.

මම දහස් ගණනකගෙන් අසමි.
“උඹලගෙ අත්වලත් ‍ලේ නේද?”

උදානි විජයසුන්ද

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.