lakbima.lk

ගම්‍පොළදී අත්අඩංගුවට පත් සහරාන්ගේ ගෝල හක් සහෝදරයෝ

කිතුනුවන්ගේ පාස්කු සැමරුම ලෙයින් තෙත් වී ගතව මේ ගෙවී යන්නේ දෙවැනි සතියයි.  මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව ෙදෙනිකව රටේ ජනතාවගේ ජිවන රටාව සම්පූර්ණයෙන්ම  උඩු යටිකුරු කිරීමට සමත් වූයේය. මුළු රටම නිද්‍රාවකට වැටුණ ගාණය.වෙනදාට නොනිදන පුරයක් වූ කොළඹ පසුගිය දෙසතිය පුරාම නිදිකිරා වැටෙන නගරයක් වූයේය. ආරක්ෂක අංශ මේ දිනවල යුහු යුහුව උත්සාහ කරමින් සිටින්නේ එසේ කඩා වැටුණ ෙදෙනික ජීවන රටාව යථා තත්ත්වයට පත් කරවීමට අවශ්‍ය ආරක්ෂිත වටපිටාවක් ගොඩ නැගීමටය.

ඒ අනුව දිවයින පුරා කෙරෙන වැටලීම් බහුලය. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවුවන් සොයා ආරක්ෂක නිලධාරීන් මුළු රටම පීරන්නට වූහ. වසර ගණනක් පැවැති සාමය සමගිය පසෙකලා විරුද්ධ වාර්ගික කොටස් දෙස සැකයෙන් බියෙන් බලන්නට තරම් ජනතාව පෙලඹුණහ.

මේ අතර ඉකුත් 26 දා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහානාම වෙත තොරතුරක් ලැබුණේය. ඒ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් හෙවත් සහරාන් හාෂිම්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු අනුරාධපුරයේ සැරිසරන බවටය.

ඒ අන් කිසිවකුත් නොව, මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ බව කියූ මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඊබ්‍රහීම් සාහිබ් අබ්දුල් හක් යන දෙදෙනාය.පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අනුරාධපුර ‍පොලිස් කොට්ඨාසයේද විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී පුද්ගලයන් අනූවක් ‍පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර සහරාන් භාෂිම්ගේ සම්බන්ධිකරණ ‍ලේකම්වරයකු, ඉංජිනේරුවකු හා බංග්ලාදේශ ජාතිකයකු ඇතුළු පිරිසක්ද වූහ.

මෙවන් පසුබිමක් තුළ මූලස්ථාන ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරු නිකම්ම බැහැර කිරීමට ඔහු මැලි විය. එහෙයින් ඔහු මේ සම්බන්ධයෙන් සෙවීමට තමා යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයේ ‍පොලිස් සැරයන් බාලසූරිය (28049) හා ‍පොලිස් සැරයන් ඩග්ලස් (37292) යන නිලධාරීන් දෙදෙනාට භාර දුන්නේය.

ඒ අනුව එම නිලධාරින් දෙදෙනා තාක්ෂණික ක්‍රම උපයෝගි කර ගනිමින් සැකකරුවන් ගැවසුණු ස්ථානය වූ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයට ගොස් විපරම් කළේය. නමුත් ඒ වන විටත් ඔවුන් එම ප්‍රදේශයේ සිටියේ නැත.
ඔවුන් පරසන්ගස්වැව ප්‍රදේශයට පැමිණ තිබුණේ එහි වෙසෙන සාදික්ගේ මිතුරෙකු හමුවීමටය. තමන් සමග එකට අධ්‍යාපනය හැදෑරු මිතුරා සොයා පැමිණි සාදික් තමන්ගේ වාහනය දින කිහිපයක් තබා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. මොහු සාදික් හා මාලඹේ ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබුවෙකි.

ඒ වනවිටත් ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැකකරුවන්ගේ ඡායාරූප පෙළට මොවුන්ගේ ඡායාරූපද ඇතුළත් කර තිබූ බව කල්තියාම දැන සිටි මිතුරා දෙවරක් නොසිතාම සාදික්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඡායාරූපයේ සිටින සාදික් මුහුණ පුරා රැවුල වවාගෙන සිටියද අනුරාධපුරේට පැමිණෙන විට ඔහු රැවුල කපා සම්පූර්ණයෙන්ම වෙනත් වෙසක් ගෙන සිටියේය.

අනුරාධපුර ‍පොලීසිය සාදික්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඊට ඇමතුම් ලබා ගත්තේය. පසුව දුරකථන සංඥා කුලුනු ඔස්සේ එම දුරකථන අංකය ඒ වන විට පවතින්නේ කොහේදැයි පරීක්ෂා කළේය. එහිදී අනාවරණය වූයේ සාදික් ඇතුළු පිරිස ගම්‍පොළ දෙසට ගමන් කරමින් සිටින බවය.

උතුරු මැද පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ජේ. අබේසිරි ගුණවර්ධනගේ උපදෙස් මත අනුරාධපුර නියෝජ්‍ය ‍පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන්ගහවත්තගේ හා කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි තිලිණ පී. හේවාපතිරණගේ අධීක්ෂණයෙන් කොට්ඨාස භාර  ‍පොලිස් අධිකාරි චූලනී වීරරත්න විසින්  ගම්‍පොළ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරි විකුම් ගිනිගේ වෙත දැනුම් දී සිටියේය.

සාදික් අබ්දුල්ලාහක් සාහිබ් සමග අනුරාධපුරයට පැමිණීමට පෙර ඔහු ඔහුගේ බිරිඳ හා දරුවා ත්‍රිරෝද රථයකින් මාවනැල්ල-මුරුතවෙල පිහිටි බිරිඳගේ දෙමාපියන්ගේ නිවෙසට රැගෙන ගොස් තිබුණ බවද ‍පොලීසියට තොරතුරක් ලැබිණි.

මාවනැල්ල - හිගුල පදිංචි මවුලවිවරයකු වූ රෂිඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් විවාහ වී සිටියේ නාවලපිටියේ පහළ ගොරකාඔය කාන්තාවක් සමගිනි. ඔවුන්ගේ දරුවන් වූයේ මොහොමඩ් ඊබ්‍රයිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඊබ්‍රයිම් සාහිබ් අබ්දුල් හක්ය.


මෙයින් සාදික් අබ්දුල් විවාහ වී සිටියේ මාවනැල්ල - මුරුතවෙල පදිංචි පාතිමා සහීඩා සමගිනි. ඔහුගේ බාල සහෝදරයා වු සාහිබ් පරිගණක සම්බන්ධ විශේෂඥයෙකු වූ අතර ඔහු මීට වසර කීපයකට ප්‍රථම තුර්කිය හරහා සිරියාවට ගොස් එහිදී දින 58ක් අයි.එස්.අයි.එස්. සංවිධානයේ පුහුණුව ලැබුවෙකි. ඒ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ මැදිහත්වීමෙනි. එමෙන්ම ඔහු ගම්‍පොළ ප්‍රසිද්ධ පාසලක ස්වේච්ඡා ගුරුවරයකු ලෙසද සේවය කළ අයෙකි. එසේම එම පාස‍ලේ විනය භාර ගුරුවරයා ලෙස කටයුතු කර ඇත්තේද ඔහුය.

මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමක් පිළිබඳ පළමු වරට අනාවරණය වූයේ ඉකුත් දෙසැම්බර් 24 දාය. ඒ රන්දිවෙල හා මහත්තේගම මංසන්ධිවල තිබූ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමය. දෙසැම්බර් 25 දා කුරුණෑගල ප්‍රදේශයෙන්ද එවැනිම දේ වාර්තා වූයේ බෞද්ධයන් යම් තිගැස්මකට ලක් කරමිනි.

දෙසැම්බර් 26 දා අලුයම මාවනැල්ල - දිදුලවත්තේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමට පැමිණි තරුණයකු ගම්වාසින් විසින් අල්ලා ගස් බැඳ ‍පොලීසියට භාර දි තිබුණේ එවන් පසුබිමක් තුළදීය. එහිදී එක් සැකකරුවකු ගම්වාසිගෙන් මිදී පලා ගොස් තිබිණි. නමුත් අත්අඩංගුවට පත්වූ පුද්ගලයාගෙන් මේ පිළිබඳ තොරතුරු රැසක් හෙළි වූ අතර පලා ගිය පුද්ගලයා කවුරුන්දැයි ‍පොලීසිය හඳුනා ගනු ලැබිය.

එසේ පලා ගොස් තිබුණේ ඉහත කී සාදික් අබ්දුල්හක්ය. ඔහුත් ඔහුගේ සහෝදරයාත් මාවනැල්ල ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් රැස්කරගෙන දේශන පවත්වා ඇති බවත් ඔවුන්ගේ උපදෙස් මත බුදු පිළිමවලට හානි කළ බවද මෙහිදී තොරතුරු අනාවරණය විය. මේ අතර සාදික් ඔහුගේ බිරිඳ හා සහෝදරයා ඇතුළු ඔහුගේ පවු‍ලේ සියලු දෙනාම සමගින් අතුරුදන් වූයේ මෙලෙස තොරතුරු අනාවරණය වෙද්දීය.

මේ අතර 2019.01.16 දා වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ‍පොල් ඉඩමක සඟවා තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, ඩෙටනේටර් 700ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් සොයා ගනු ලැබිණි. මෙම ඉඩම ඉස්ලාම් අන්තවාදීන්ගේ පුහුණු කඳවුරක් ලෙස භාවිත කර තිබූ අතර මෙහිදී දේශන මෙහෙයවා තිබුණේ සහරාන්, සාදික්, සාහිඩ් ඇතුළු පිරිස බවද ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කරගනු ලැබිය.

මාස පහක් පමණ ආරක්ෂක අංශවලින් සැඟව සිටි සාදික් සිංහල නමකින් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද සිය බිරිඳට මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමින් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද සකසා ගත්තේ මේ අතරය.  පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු තමන්ට තවත් වැදගත් වැඩ රැසක් කිරීමට නියමිතව තිබූ හෙයින් සාදික් පාතිමා හා දරුවා කැටුව ඉකුත් 26දා කෑගල්ල නගරයට පැමිණියේය. එහිදී සිය දරුවාට සුරතල් මසුන් ජෝඩුවක්ද රැගෙන දී බිරිඳත් දරුවාත් ත්‍රිරෝද රියකින් මුරුතවෙල නිවසට පිටත් කර හැරියේය.

එසේ ත්‍රිරෝද රථයෙන් ගිය පාතිමා නිවස අසලින් දරුවා සමග බසිද්දී අසල්වාසින් මේ බව දැක ‍පොලීසියට දන්වා සිටියේ ඒ වනවිටත් ඇයද ‍පොලීසියට අවශ්‍ය සැකකාරියක් බවට ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබිණි.
‍පොලීසිය පැමිණ ඇය අත්අඩංගුවට ගන්නා විටදී පවා ඇය පවසා ඇත්තේ දෑස් බැඳ දමා තමාත් දරුවාත් සැමියා දමා ගිය බවය.

සාදික් වෑන් රථයකින් සාහිබ් සමග අනුරාධපුරයට ගොස් තිබුණේ එසේ බිරිඳ හා දරුවා මාවනැල්‍ලේ සිය ගමට ගෙනැවිත් දැමූ පසුවය. ඒත් අනුරාධපුර ගමනෙන්ද අපේක්ෂිත ප්‍රතිඵල අත්නොවූ තැන ඔවුන් ගම්‍පොළට ගියේ තෙරුවන් සරණයි යනුවෙන් දැන්වීමක්ද අලවා තිබූ  වෑන් රථයකිනි. ඒ කිසිවකුගේ සැකයටද භාජනය වීම වැළැක්වීම පිණිසය.

අනුරාධපුර ‍පොලීසියෙන් ලද දැන්වීමට අනුව ගම්‍පොළ - නාවලපිටිය ‍පොලිස් නිලධාරීන් පසු වූයේ දැඩි විමසිල්ලකිනි. ඒ අනුව වෑන් රථයේ රියදුරුව පළමුව අත්අඩංගුවට ගැණුනි. ඒ නාවලපිටියේදීය. නාවලපිටිය - පහළ ගොරකාඔය පදිංචි විසිතුන් හැවිරිදි මොහොමඩ් නියාස් නස්ලිම් සාදික්ගේ ඥාතියෙකි. ඔහු සාදික්ගේ මාමා වූ අබ්දුල් ජබාර්ගේ වෑන් රථයේ රියැදුරු ලෙස සේවය කළේය.

අබ්දුල් ජබාර් අනුස්ඩීන් සාදික්ගේ මවගේ බාල සහෝදරයාය. ඔහු පදිංචිව සිටියේ ගම්‍පොළ-සාලියාල විහාරස්ථානය මගින් අලෙවි කරන ලද ඉඩම් කොටසකය. මොහුට ගම්‍පොළ - නුවරඑළිය විදියේ පාවහන් අලෙවි සලක් අයත්ව තිබිණි. තෙමහල් ගොඩනැගිල්ලක එය පවත්වාගෙන යමින් තිබිණි. නිවසද දෙමහල් නිවසක් විය. අත්අඩංගුවට පත් වූ මොහොමඩ් නියාස්ගේ තොරතුරු අනුව ‍පොලීසිය ඉකුත් 28 දා ඊළඟට සොයා ගියේ පාවහන්
වෙළෙඳසලය. ඒ වනවිටත් වෙළෙඳසල පිටතින් අඟුලු දමා තිබිණි. ‍

පොලීසිය, යුද හමුදාව, ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව වෙළෙඳසලෙහි දොර කඩා ඊට ඇතුළු වී පරීක්ෂා කරන විටදී සාදික් හා සාහිබ් එහි සිටිනු දැක ගත හැකිවිය. ඒ මොහොත වන විටත් රාත්‍රී ආහාර ගැනීමට සූදානම්ව සිටි ඔවුන් ආරක්ෂක අංශ දැක තෙවැනි මහලෙන් පැන යන්නට උත්සහ දැරුවද එය ව්‍යවර්ථ වී තිබිණි. මේ අතර තෙවැනි මහ‍ලේ තිබූ වතුර ටැංකියේ තිබි පසුගියදා පාස්කු දවසේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් භාවිත කළ වර්ගයේම බෑගයක් ද සොයා ගැණුනි. මෙහිදී පාවහන් වෙළෙඳස‍ලේ හිමිකරු වූ සාදික්ගේ මාමාද ‍පොලිස් අත්අඩංගුවට පත්විය.

මේ අතර ‍පොලීසියට අනාවරණය වූයේ ඉකුත් 26දා රාත්‍රී සමන්තුරේයි ප්‍රදේශයේදී පුපුරවා ගත් බෝම්බ ප්‍රහාරයේදී මිය ගිය කාන්තාවන් අතර සාදික්ගේ දෙවැනි බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන් නොහොත් සාරා ද සිට ඇති බවය.  ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ගම්‍පොළ ප්‍රධාන මූලස්ථානය ලෙස පවත්වාගෙන ගොස් තිබුණේ සාලියාල පිහිටි පාවහන් හිමිකරුගේ නිවසේ උඩු මහලය. එහි දේශන පැවැත්වීමට තරම් සුදුසු ලෙස ආසන සකසා තිබූ බවද ‍පොලීසිය පවසයි.

ඉකුත් 30 දා මෙම පාවහන් වෙළෙඳසල නැවත වරක් ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක් කළේය. එහිදී රෙදිවල ඔතා සපත්තු මැසීමට ගන්නා තෙල් ටැංකියක දමා තිබියදී හාඩ් ඩික්ස් තුනක් හමු වී ඇති අතර ඉන් එකක් පුලුස්සා දමා තිබි ඇත.  භාවිතයට ගත හැකි හාඩ්ඩික්ස්කය පරීක්ෂා කිරීමේදී ඒ තුළ සාහිබ් සිරියාවේ පුහුණුව ලබන අවස්ථා, සහරාන්ගේ දේශන ඇතුළු විවිධ වැදගත් ලියකියවිලි රැසක් අනාවරණය කර ගන්නට හැකි වී තිබේ. එමෙන්ම සාදික් විසින් රුපියල් ලක්ෂ 65කට පාවහන් වෙළෙඳසල් ඉඩම මිලදී ගෙන සිය මාමාට ලබා දී ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

ඡායාරූප - සුරංග රාජනායක
ශානිකා මාධවී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.