lakbima.lk

එන්.ඩී.ටී. ගහලයෝ ශනිල්ක මරා ගනිති


පසුගිය දවසක අපි කුඹුක්ගැටේ වඩුවාවෙ දෙමළමාන ගමට ගියෙමු. අපි යනවිට මුළු දෙමළමාන ගමම හඬමින් සිටියේය.
“මේ දවස් දෙකේ තුනේ ගමේ ගෙදරක වළඳක් ඇතිලියක් ලිපේ තිබ්බද කියලත් සැකයි.” විස්සෝපයෙන් සිටි ගමේ ගැහැනියක අපට කීවාය.

දෙමළමාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසනයේ පුංචි ගමකි. ඒ ගමේ මෛත්‍රීපාල විජේසිංහ කාටත් පාඩුවක් හිරිහැරයක් නොකළ දක්ෂ ටේලර්වරයෙකි. ඔහුගේ බිරිඳ නන්දා වර්ණසූරිය පවුල් සෞඛ්‍ය සේවිකාවකි. මේ දෙදෙනා කිසිවෙකුටත් කරදරයක් නොකර අසල්වාසීන්ටත් උදව් උපකාරි කරමින් සිය දරු දෙදෙනාට උගන්වමින් යහපත් කල්ක්‍රියාවෙන් දිවිගෙව්වෝය.

පසුගියදා මුළු දෙමළමාන ගමම හැඬවූයේ එසේ ගමටම සවියක්ව සිටි විජේසිංහ ටේලර් මහත්තයාගේ පුතා ශනිල්කය.

ශනිල්ක දිල්ෂාන් පසුගිය 31 වැනිදා සවස්වරුවේ සිය දිවි හානි කරගත්තේය.
සියදිවි හානිකර ගන්නා විට විසිතුන් වැනි වියේ පසුවූ ශනිල්ක මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම ජාතික විද්‍යාතාක්ෂණ ආයතනයේ (එන්.ඩී.ටී.) නවක සිසුවෙකි. ඔහු සියදිවි නසාගෙන  මුළු ගමම හැඬවූයේ තමන් අලුතින් අධ්‍යාපනය හදාරන්නට ගිය උසස් අධ්‍යාපන ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් නවක සිසුන්ට දෙන නවක වදය උසුලනු බැරිම තැනය.

ගල්ගමුව යූ. බි. වන්නිනායක විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ දිල්ෂාන් උසස් පෙළ හැදෑරුයේ කුඹුක්ගැටේ මධ්‍ය මහා විද්‍යාලයයෙනි.

කුඹුක්ගැටේ මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් මෙන්ම දක්ෂ ක්‍රීඩකයකුද වූ දිල්ෂාන් 2017 අගෝස්තු මාසයේ පැවැත්වූ අ‍පොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලබා තිබුණි. ඔහු තේරි තිබුණේ යාපනය විශ්වවිද්‍යාලයටයි. ඒ සාමාන්‍ය විද්‍යාවේදී උපාධියක් හැදෑරීම සඳහාය. ඒත් දිල්ෂාන්ගේ සිහිනය වී තිබුණේ ඉංජිනේරුවකු වීමටයි. ඒ නිසාම ඔහු ඉංජිනේරු උපාධියට පමණක් දෙවැනි වන උසස් ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව හෝ හදාරා ඉංජිනේරුවකු වීමට සිහින මැව්වේය.

ඔහුගේ ඒ සිහිනය සැබෑ වූයේය. ඒ අනුව මාස හයක් තිස්සේ අධ්‍යාපනය ලැබූ යාපනය විශ්ව විද්‍යාලයට සමුදුන් දිල්ෂාන් 2019 ජනවාරි 15 වැනි දින මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයට ඇතුළත් වූයේය.

හෝමාගම ජාතික තාක්ෂණික ආයතනයට ඇතුළත් වූ දිල්ෂාන් පළමුවරට මාසයකට පසුව ගමේ පැමිණියේ හරියටම පෙබරවාරි 15 වැනිදාය. එසේ පැමිණීමට නිවාඩුවක් ලැබි තිබුණේද ආයතනය තුළ ඇතිවූ තත්ත්වයක් පාලනාධිකාරියට පාලනය කරගත නොහැකි වීමේ ප්‍රතිඵලයක් හැටියටය.

“ගෙදර ආපු පුතා ආයෙනම් යන්න බෑ කිව්වා. නවක වදේ ඒ තරම්ම දරුණුයි කිව්ව. කට්ටියක් වටවෙලා පුතාට ගැහුව කිව්ව. ළමය හරිම කලකිරීමෙන් හිටියෙ. හොඳටම වෙනස්වෙලා” දිල්ෂාන්ගේ මෑණියන් නන්දා වර්ණසූරිය කඳුළ අතරින් පවසන්නීය.

“පුතා යාපනේ විශ්ව විද්‍යාලයෙත් මාසයක් හිටිය” ඒත් අම්මේ ඒ ළමයි මේ වගේ වද දුන්නේ නෑ, රැග් කළා. ඒක එදා දවසෙ එතැනින් ඉවරයි. කාටවත් හිරිහැරයක් නෑ ඒත් මෙහෙ හරියට දරුණු වද දුන්නා” කියලත් කිව්වා යැයිද ඕ කියන්නීය.

“නවක වදය කියල පුතාලට දීල තියෙන්නේ දස වද. අම්මගෙ ඔඩොක්කුවේ නිදාගෙන කිව්ව අම්මේ මට දසවද දුන්න. දවස් ගාණක් කන්න දුන්නේ නැහැ. මල මුත්‍රා, කරන්න දුන්නේ නැහැ. මගේ මුත්‍රා නහර පුපුරයි කියල මට හිතුන”  කියලත් කියනව මම අහගෙන. මියගිය දිල්ෂාන්ගේ පියා මෛත්‍රී විජේසිංහ සිය පුතු මුහුණ දුන් ඛිෙදවාචකය ගැන විස්තර කරන්නට වන්නේ එසේය.

පුතා මාත් එක්ක තාත්තේ ආයෙ කැම්පස් යනවට වඩා මැරෙන එක සැපයි කියලා අඬ අඬා කිව්වා.  පුතා පන්සලට ගිහින් ‍පොඩි හාමුදුරුවන්ටත් කියල ඇවිත් තියෙනව ආයෙනම් හාමුදුරුවනේ කැම්පස් යන්නේ නැහැ කියලා. හිතාගන්න පුළුවන්නෙ මගෙ පුතාට මොන තරම් වද දෙන්න ඇතිද කියල. ඒත් මම පුතාට කිව්ව ඔයාට යන්න බැරිනම් ගෙදර ඉන්න. ඔය උගත්කමට වුණත් හොඳ රස්සාවක් හොයා ගන්න බැරි නැහැනෙ කියල.

දිල්ෂාන්ගේ පියා මෛත්‍රීපාල විජේසිංහ කියන හැටියට ඔහු අවසන් ගමන් ගිය 31 දිනයේ පවු‍ලේ සියලු දෙනාත් සමග ඉතාමත් සමීපව විහිළුවෙන් තහළුවෙන් දවස ගෙවා ඇත. සවස 3.30 ට පමණ ක්‍රිකට් මැච් එකක් බලමින් සතුටින් සිටි නිසා කිසිවෙකුටත් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වේවියැයි හාන්කවිසියක්වත් තිබි නැත.

සවස 6.00 වන විට නිවසේ දක්නට නොසිටියෙන් මියගිය දිල්ෂාන්ගේ මව අසල්වැසි හිතවත් නිවෙස්  දෙක තුනක සොයා බලා ඇත. එම නිවෙස්වලත් නොසිටියෙන් ගෙයි පිටුපසින් වත්ත පහළ දෙසට යන විට ඇය දිල්ෂාන්ගේ සෙරෙප්පු දෙක තිබෙනවා දැක විමසිලිමත් වෙද්දී ඔහු සියදිවි නසාගෙන සිටිනු දැක ඇතැයි පියා පැවැසුයේ හැඬූ කඳුළිනි.

දිල්ෂාන් මිය යෑමට ප්‍රථම ඔහුගේ අත් අකුරින්ම ලියූ ලිපියක් ඔහුගේ කමිස සාක්කුවේ තිබි හමු වී ඇත. නවක වදය යන නමින් ඔහු විඳි සියලු දුක්වේදනා වද හිංසා එම ලිපියේ ඔහු සටහන් කොට තබා තිබිණී. එමෙන්ම එම ලිපියේ එක් තැනක “නංගි නම් කවදාවත්ම විශ්වවිද්‍යාලයේ යවන්න එපා” යැයි ද සඳහන් කොට තිබූ බවද පියා විජේසිංහ පවසයි.

දිල්ෂාන්ගේ නැගණිය අකලංකා විජේසිංහද මෙවර අ‍පොස උසස් පෙළට සූදානම් වෙමින් සිටින්නියකි.
මෙම ඛිෙදවාචකය සිදුවූ මොහොතේ පටන් යම් අරගල සිදුවෙතැයි යන සැකයෙන් යුතුව කුඹුක්ගැටේ ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේ ප්‍රශංසනීය සේවාවක් ඉටු කර තිබිණි. විශ්වවිද්‍යාල සිසුන් මළගමට පැමිණියහොත්  ඇතිවන්නා වූ බැරෑරුම් තත්ත්වය සමනය කිරීමට සිවිල් ‍පොලිස් නිලධාරීන් පවා අවසන් කටයුතු නිමා වනතුරු සේවයේ යොදවා  තිබිණි.

එබැවින්  ඉතාමත් ගෞරවාන්විතව එම දිල්ෂාන්ගේ අවසන් කටයුතු සිදුකර ගැනීමට හැකිවීම පිළිබඳව කුඹුක්ගැටේ ‍පොලිස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට ඥාතීන්ගේ ප්‍රණාමයද පුද කරන බවක් පැවැසිණි.

පසුගිය දෙවන දින අසල්වාසී සියලු ගම්මානවල ජනතාව සෝ සුසුම් මැද ගිල්වමින්, ශනිල්ක දිල්ෂාන් විජේසිංහ සිසුවා ඉංජිනේරුවකු වීමේ සිහිනය අතහැර තමාටම නිදහස් වූ ලොවක් කරා ඥාතීන් සහ හිතමිතුරන්ගේ කර මතින් අවසන් ගමන් ගියේය.

මෙම හදිසි මරණය සම්බන්ධනේ හදිසි මරණ පරීක්ෂණය තිත්තවැල්ල ගන්දහ කෝරළේ හදිසි මරණ පරීක්ෂක  එච්. එම්. රාජරත්න බංඩා මහතා (01 දින) පැවැත් වූ අතර ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කරන ලදී. එහි පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ විශේෂ අධිකරණ වෛද්‍ය වයි.

එම්. ජී. ඉලංගරත්න බංඩා ඉදිරියේදී පවත්වන ලදී. වැඩිදුර පරීක්ෂණ කටයුතු කුඹුක්ගැටේ ‍පොලිස්ථානයේ ‍පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.