lakbima.lk

ආරක්ෂක ‍ලේකම්වරු අස්කරන - පත්කරන රටේ සිටි බලවත්ම ආරක්ෂක ‍ලේකම්

මේ දවස්වල රටේ වැඩියෙන්ම කතාබහට ලක්වී ඇති තනතුර වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් පුටුවය. දස වසරකට පෙර එම පුටුව හෙබැ වූ ගෝඨාභය රාජපක්ෂ බලවත් නිලධාරියකු ලෙස රටේ සුප්‍රසිද්ධියට පත් වුණාද ඔහුට වඩා මහා බලසම්පන්න ආරක්ෂක ‍ලේකම්වරයෙක් කලකට පෙර ලංකාවේ සිටි බව අන් කාටත් අමතකව ඇත්තේය. මේ මෑත කාලයේ කවුරුත් අසා නැති එම ‍ලේකම්වරයා පිළිබඳ ලියැවුණු ලිපියකි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී තවමත් වසර පහක් ගෙවී ගොස් නැත. එහෙත් මේ ආණ්ඩුවේ පස්වැනි ආරක්ෂක
‍ලේකම්වරයාත් පසුගිය සතියේ දිවුරුම් දුන්නේ ය. රටේ ආරක්ෂක ‍ලේකම්වරයා යනු, ජනාධිපති ‍ලේකම් සහ අගමැති ‍ලේකම් යන දෙදෙනාට පසුව සිටින බලවත්ම ‍ලේකම්වරයාය. ආණ්ඩුව බලයට පත්වී වසර පහක් ගෙවී යන්නටත් මත්තෙන් එකම ආණ්ඩුවක් යටතේ පස්දෙනෙක් ඒ පුටුවේ වාඩිවීම තරමක් මතභේදාත්මකය. එහි තේරුම හරිහමං ආරක්ෂක ‍ලේකම්වරයෙකු සොයා ගන්නට මේ ආණ්ඩුවට බරපතළ කාරණයක් වී ඇති බවය.

කෙසේ වතුදු අතීතයේදී මේ පුටුවේ වාඩිවූවෝ බොහෝ බලසම්පන්න වර්ණවත් චරිත වූහ. සිය ජීවිත කාලය තුළ මහා කීර්ති කදම්බයක් හරිහම්බ කරගත්තෝ ය. ඒ අතරින් ප්‍රමුඛස්ථානය හිමි වෙන්නේ, බණ්ඩාරනායක යුගයේ සිටි ආරක්ෂක ‍ලේකම්වරයාටය. ඒ යුගයේ සිටි අමාත්‍යාංශ ‍ලේකම්වරු අතර බොහෝ බලසම්පන්න වූයේ ආරක්ෂක හා විදේශ අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාය. ඔහු එන්. ක්‍යු දියෙස් ය. උප්පැන්න සහතිකයේ හැටියට නම් ඔහුගේ නම නීල් කුවින්ටස් ඩයස්ය. නූතන සිංහල බෞද්ධ ව්‍යාපාරයේ සලකුණක් වූ ඔහු පසුකලෙක ඩයස් යන සිය නම දියෙස් යනුවෙන් වෙනස් කර ගත්තේය.

චාල්ස් හෙන්රි ඩයස් පියාණන්ට දාව, එලන් රොඩ්රිගේ මෑණියන්ගේ කුසින් එක්දහස් නවසිය එකොළහේදී නීල් කුවින්ටස් ඩයස් උපත ලබන්නේය. ඔහු සිය මූලික අධ්‍යාපන කටයුතු හමාර කරන්නේ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහුව එංගලන්තයට යවන්නට දෙමාපියෝ උත්සුක වූහ. ඒ කාලයේදී තම ආදරණීය පුත්‍රයාට එංගලන්තයට ගොස් නවතින්නට තැනක් සොයා දෙන්න යැයි, කුවින්ටස්ගේ මෑණියන් පවසන්නේ ලෙස්ලි ජයවර්ධනයන්ට ය. ඔහු ඒ අනුව ඇන්. ඇම්. පෙරේරා සමග නවතින්නට කුවින්ටස්ට අවස්ථාව
සලසා දෙන්නේ ය. ඇන්. ඇම්. පෙරේරා එක් යුගයක අපේ රටේ සිටි ප්‍රබල චරිතයක් විය. “අපේ තාත්තා රට ගැන, සිංහල බෞද්ධකම ගැන විශාල හැඟීමකින් කටයුතු කරන්න පුරුදු වෙලා තියෙන්නෙ ඇන්. ඇම්.ව ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තාට පසුවයි.” ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයා ශ්‍රී පවසන්නේ ය. ඔහු, එන්. ක්‍යු දියෙස්ගේ එකම  පුත්‍රයා ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාවේ සිවිල් සේවයට එක්වෙන එන්. ක්‍යු. දියෙස් ප්‍රථම ආරක්ෂක ‍ලේකම් ධුරය දරන්නේ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යුගයේදී ය. එකල ව්‍යවස්ථාව අනුව ආරක්ෂක කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශ පැවතුණේ ද අගමැතිවරයා යටතේමය. එමනිසා අගමැති ‍ලේකම් ධුරයට පත්වෙන තැනැත්තා, ආරක්ෂක සහ විදේශ කටයුතු ‍ලේකම්වරයා ද වන්නේ ය. ඒ නිසා බණ්ඩාරනායක යුගයේදී, ආරක්ෂක සහ විදේශ කටයුතු ‍ලේකම්වරයා වූයේ එන්. ක්‍යු දියෙස්ය. බණ්ඩාරනායක ඇවෑමෙන් එම ධුරයට පත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී ද එම ධුරයට පත්වූයේ ඔහු ය.


ඒ කාලයේදී ආරක්ෂක ‍ලේකම්වරයාට අද තරම් වගකීම් ගොන්නක් පැවරී තිබුණේ නැත. අධිනීතිඥ ගෝමින් දයා ශ්‍රී පවසන්නේ, එහෙත් එකල අමාත්‍යාංශ ‍ලේකම්වරු සිවිල් සේවකයන් ලෙස අදට වඩා නිදහස් සහ සෘජු ප්‍රතිපත්තියක පිහිටමින් කටයුතු කර ඇති බවයි. එකල අපේ හමුදා නිලධාරීන් වැඩිදුර පුහුණුව සඳහා අනුයුක්ත කෙරෙන්නේ, බ්‍රිතාන්‍යයේ සැන්ඩර්ස් හෙවත්  රාජකීය යුද හමුදා පීඨයට ය.

ඒ සඳහා වසරකට මෙරට හමුදා නිලධාරීන් සිව් දෙනෙකුට අවස්ථාව උදා වේ. ඔවුන් තේරීමේ මණ්ඩලයේ ප්‍රධානියා ආරක්ෂක ‍ලේකම්වරයාය. යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, එහි අනෙකුත් සාමාජිකයන්ය. එකල අගමැති ධුරය දැරුයේ සිරිමාවෝ මැතිනියයි. ෆීලික්ස් බණ්ඩාරනායක ආරක්ෂක හා විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති විය. දුරකථනයෙන් එන්. ක්‍යු දියෙස් ඇමතූ ෆීලික්ස් ප්‍රකාශ කළේ, තමන්ගේ හිතවතෙකුගේ පුතෙක් එම සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන බවයි.

එහෙත් ඔහු සම්මුඛ පරීක්ෂණයට පැමිණි වහාම එන්. ක්‍යු දියෙස් පවසා තිබුණේ, පරීක්ෂණ මණ්ඩලයට බලපෑම් කළ නිසාම මේ අයැදුම්පත ප්‍රතික්‍ෂේප වන බවයි. මැතිනියගේ කිට්ටුම ඥාතියකු සේම ඇගේ ඇමැති මණ්ඩලයේ සිටි බලවත්ම ඇමැතිවරයා වූ ෆීලික්ස් ඩයස් කියන දේ ප්‍රතික්‍ෂේප කිරීමට තරම් ඔහු මහා බලසම්පන්න චරිතයක් විය. එකල එන්. ක්‍යු දියෙස්ට ලංකාවේ ඉහළින් සිටි චරිතයක් වී නම් ඒ අගමැතිවරයා පමණි. එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මෙන්ම මැතිනියද ඔහුගේ වචනයෙන් එහාට නොගිය බව එකල මැති ඇමැතිවරුන්ට නොරහසකි.
“එදා හවසම සිරිමාවෝ මැතිනියගෙන් අපේ තාත්තාට ඇමතුමක් ආවා.

ඒත් තාත්තා සිද්ධිය පැහැදිලි කළාම අගමැතිනිය කිව්වෙ, තාත්තා කරපු දේ හරියටම හරි කියලයි. එකල රජයේ සේවකයන්ට වැඩකරන්න කොයිතරම් නිදහසක් තිබුණද කියල කියන්න මේක හොඳ අවස්ථාවක්.”
කතෝලිකයන්ගේ පාලනය යටතේ තිබූ පාසල් 1960දී රජයට පවරා ගැනීම පිටුපස සිටියේද එන්. ක්‍යු දියෙස් බව නොරහසකි. උතුරේ දෙමළ නැගිටීම කල්තියා හඳුනාගත් ඔහු උතුරට මුලින්ම හමුදාව යවා කඳවුරු ඉදිකිරීමට සැලසුම් කළ ආරක්ෂක ‍ලේකම්වරයාද විය.

බණ්ඩාරනායක බලයට පත්කළ බෞද්ධ ජාතික බලවේගයට සහය දුන් ප්‍රධානම සිවිල් සේවකයා වූයේ ඔහුය. එහෙත් කතෝලිකයන් බහුතරයක් හිමිකරගෙන සිටි සිවිල් සේවයට හා ත්‍රිවිධ හමුදාවට කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම වෙනස් කළ ඔහු ත්‍රිවිධ හමුදාවට නිලධාරීන් ලෙස වැඩියෙන්ම බෞද්ධයන් බඳවා ගත්තේය.

රජයේ ආයතන ගණනාවක විවිධ තනතුරුවල රාජකාරී කටයුතුවල නිරත වූ එන්. ක්‍යු දියෙස් ආරක්ෂක ‍ලේකම් ධුරයට පත්වෙන්නේ, කිසිදු දේශපාලන දැන හැඳුනුම්කමක් මත නොවේ. ඔහුට ඒ සඳහා තිබූ එකම සුදුසුකම වූයේ තමන් හරිහම්බ කරගත් අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය නිපුණත්වය පමණි. සිරිමාවෝ මැතිනිය අගමැති ධුරයට පත්වෙද්දී ‍‍‍ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිවිල් සේවකයා වූයේද එන්. ක්‍යු දියෙස් ය. අනෙක් අතට රට තුළ සිංහල බෞද්ධ බලවේගය නගා සිටුවීම වෙනුවෙන් ඔහු කළ සේවාව අතිමහත් ය. ඔහු ඒ වෙනුවෙන් තමන්ට පිය උරුමයෙන් ලද දේපළ පවා උකස් කරන්නට පැකිළුණේ නැත. “ඒ හින්දම ආච්චි පසුකාලීනව තාත්තාට නැවත දේපළ ලිව්වෙ නැහැ. ඒවා මටයි, නංගිටයි ලිව්වා” ගෝමින් දයා ශ්‍රී පවසන්නේ ය.

එමෙන් ම ඔහු භික්ෂුන් වහන්සේ සමග  තිබූ ඔහුගේ සම්බන්ධතාව ද දැඩිය. පසුකලෙක “ටැෆේ” නමින් සංවිධානයක් ගොඩනඟන්නේ ද රට තුළ සිංහල බලවේගයක්  ගොඩනැංවීමේ අදහස ඇතිවය. එය හමුදා බලවේගයක් වූ අතර, කල්ලතෝනියෙක් හෙවත් උතුරු මුහුදෙන් දකුණු ඉන්දියානු දෙමළ ජාතිකයන් මෙරටට පැමිණිම වැළැක්වීමේ අරමුණින් මෙම බලවේගය නිර්මාණය කර ඇත. උතුරේ දෙමළ වැසියන් ද ඊට කැමැත්තක් දැක්වූ නිසා, මේ බලවේගය ඔස්සේ හමුදාවට උතුරට ගොස් එහි කඳවුරු හදාගන්නට අවස්ථාව උදා වී ඇත්තේය.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැද පිළිවෙතක ගමන් කළ නායකයෙකි. ඒ නිසා ම ඔහු අනුගමනය කළේ බොහොම පැහදිලි හා නිරවුල් විදේශ ප්‍රතිපත්තියකි. එහි වාසිය හිමි වූයේ, එකල සේවය කළ සිවිල් සේවකයන්ටය. එමනිසා ම සිය ධුරයේ හිඳිමින් සෘජු සහ පැහැදිලි රාජකාරියක් ඉටු කරන්නට එන්. ක්‍යු දියෙස්ට ද අවස්ථාව උදා විය.

පසුකලෙක මෙරටට පැමිණි ඉන්දියානු දෙමළ ජාතිකයන් සිරිමා - ශාස්ත්‍රි්‍ර ගිවිසුම යටතේ ආපසු හරවා යැවීමේ කාර්යේදීද රටේ ආරක්ෂක සහ විදේශ කටයුතු ‍ලේකම්වරයා ලෙස ඔහු කළ කාර්යය ප්‍රශංසනීයය. ගෝමින් දයාශ්‍රී පවසන්නේ සිය පියාණන් වෘත්තිය ගරුත්වය සහ ධුරයේ ගරුත්වය ද ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කළ බවයි.

රටේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරනු වස්, ඔහුගේ කැපවීම කොයිතරම් ද යන්න වඩාත් පැහැදිලි වෙන්නේ, ‍පොහොය දිනය නිවාඩු දිනයක් කරගැන්මට කළ අරගලයේදී ය. ඔහු එකල රාජ්‍ය සේවා හා පළාත් පාලන සේවා බෞද්ධ සමිති සම්මේලනයේ සභාපතිවරයා ද විය. උසස් අධ්‍යාපනය ලබන අවධියේ ගජ මිතුරන් වූ දියෙස් හා ඇන්. ඇම්. දැඩි වාග් ප්‍රහාර එල්ල කරගන්නේ ද මේ නිවාඩු දිනය සම්බන්ධයෙන් කාරණාවලට ය.

එන්. ක්‍යු දියෙස් අවසානයේ ඉන් ජය ලබන්නේ, ‍පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත් කරලමිනි.
රට තුළ බෞද්ධ ප්‍රබෝධය නැංවීමෙහිලා පුරෝගාමී දායකත්වයක් දැක්වූ ණැනවතෙකු ලෙසින්ද ප්‍රචලිත එන්. ක්‍යු දියෙස් ජාතික ඇඳුම ඇඳි පළමු උසස් රාජ්‍ය සේවකයා ද වන්නේ ය. ඔහු කොළඹ නිදහස් චතුරස්‍රය විවෘත කිරීම සඳහා එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජකීය උත්සවයට යන්නේ ද සුදු ජාතික ඇඳුමෙනි. එන්. ක්‍යු දියෙස් පළමුවෙන් ජාතික ඇඳුම ඇන්දේ එදිනය. “ෂා.. හරිම හැඩයි, හැබැයි ඔබ සුදු ඇඳුම ඇන්දට කමක් නැහැ. සිවුර අඳින්න නම් එපා” ජාතික ඇඳුමෙන් දියෙස් දුටු සර් ජෝන් කොතලාවල පවසා ඇත්තේ එලෙසිනි.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.