lakbima.lk


මේ දිනවල අපේ රටේ වැඩියෙන්ම ජනප්‍රිය මන්දිරය කුමක් දැයි කිසිවෙකු ඇසුවහොත්, ඒ “අරලියගහ මන්දිරය” යැයි කුඩා දරුවෙකු පවා පිළිතුරු දෙනු නිසැකය. ඒ, ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් මේ දිනවල අරලියගහ මන්දිරය ගැන කෙරෙන කතාබහ වැඩි වී ඇති බැවිනි.
මේ තත්ත්වය උද්ගත වූයේ,
පසුගිය දා රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ වූ හදිසි බල පෙරළියත් සමඟිනි. ඒත් සමඟින්, අගමැති ධුරය වෙනස් කිරීම නීතිවිරෝධී යැයි පවසන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ තමන් තවමත් අගමැති බවය. එමනිසා ඔහු තවමත් අරලියගහ මන්දිරය අත්හැර ගොස් නැත. අගමැති ධුරය නීත්‍යනුකූල යැයි පවසන අගමැති මහින්ද රාජපක්ෂ පවසන්නේ, තීරණය පිළිගෙන අරලියගහ මන්දිරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බවය.  මේ අතර අගමැති ‍ලේකම් එස්. අමරසේකර  පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබුණේ, රාජ්‍ය සේවකයෙකුට මෙන් දේශපාලනඥයෙකුට නිල නිවස හැර යාමට සහන කාලසීමාවක් නොවෙතත්, අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට ඒ සඳහා සහන කාලයක් ලබා දිය හැකි බවය.
කෙසේ වතුදු එදා මෙදා තුර ඉතිහාසය දෙස බලන කල, විටින් විට සිදු වූ බල පෙරළීන්හිදී එලෙස අරලිය ගහ මැදුරට යාම් ඊම් කළ දේශපාලනඥයන් ගැන ඇති කතා නම් බොහොමයකි. ඒ සම්බන්ධයෙන් අපට ඇති ආසන්තම උදාහරණය සැපයෙන්නේ, ඉකුත් දෙදහස්
පහළොවේ ජනවාරි අටවෙනිදාය. එදින පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමත් සමඟ  අරලියගහ මැදුරෙන් එළියට බැස, හෙලිකොප්ටරයකින් තංගල්‍ලේ පිහිටි සිය නිවෙස වෙත පිටත් වූයේය.


මීට සියවස් දෙකකට පමණ ඉහතදී දැන් අරලියගහ මැදුර ඇති බිම තිබුණේ, ඉස්කාගාරයකි. එක්දහස් අටසිය වසරේදී (1800) එය ඉදිකළෝ ලන්දේසිහුය. එකල මේ මැදුර හැඳින්වූයේ, බ්‍රැන්ඩරිය නමිනි. කොල්ලුපිටියේ ඉස්කාගාරය හෙවත් බ්‍රැන්ඩරිය අරලියගහ මන්දිරය වන්නේ, එක්දහස් අටසිය පනස් හයේදීය. කෝපි කම්හල් හිමිකරුවෙකු වූ ජේ. පී. ග්‍රීස් මේ බිම මිලදී ගත්තේ, පවුම් දෙදහස් තුන්සියයකට ය. අරලිය මලින් පිරි ගිය මේ සුන්දර බිම අරලියගහ මන්දිරය හෙවත්, “ටෙම්පල් ටී්‍රස්” නමින් බෞතීස්ම කරන ලද්දේ ඔහු විසිනි. අරලියගහ මන්දිරය රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්නේ, එක්දහස් නවසිය තුනේදී ය. ඉක්බිතිව යටත් විජිත ‍ලේකම්වරු, මහ‍ලේකම්වරු ආදීහු මෙහි පදිංචි වූහ. එය අගමැති නිල නිවස බවට පත්වෙන්නේ, මෙරට ප්‍රථම අගමැතිවරයා වන ඩී. එස්. සේනානායකයන්ගේ කාලයේදීය. අරලියගහ මන්දිරයේ පදිංචියට ගිය
මුල් ම අගමැතිවරයා වන්නේ ඔහුය.
ඒ අනුව ‍පොතේ හැටියට නම්, අරලියගහ මන්දිරය මෙරට බලයට පත් වෙන අගමැතිවරයාගේ නිල නිවස්නයයි. එහෙත් එදා මෙදා තුර බලයට පත් වූ ඇතැම් අගමැතිවරු සිය කැමැත්තෙන් ම එය තම නිල නිවස කර නොගත් අතර, ඇතැමුන්ට අගමැති ධුරයට පත් වුව ද අරලියගහ මන්දිරය සිය නිල නිවෙස ලෙස භාවිත කරන්නට අවස්ථාව උදා වූයේ නැත. හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායකටත්, දි.මු. ජයරත්නටත් එලෙස සිය ධුර කාලය තුළ එකදිනක් හෝ අරලියගහ මැදුර සිය වාසභවනය කර ගන්නට අවස්ථාව ලැබුණේ නැත. ඒ, ඔවුන් අගමැති ධුර දරන කාලයේදී ජනාධිපතිවරු ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත්, මහින්ද රාජපක්ෂත් අරලියගහ මන්දිරයත්, කොටුවේ රජගෙදරත් ජනාධිපති මැදුර ලෙස භාවිත කළ නිසාය. ඒ නිසා හිටපු අගමැති දි. මු. ජයරත්න අගමැතිව සිටි කාලයේ “විසුම්පාය” අගමැති නිල නිවෙස ලෙස නම් කෙරුණි.
ඇතැම් අගමැතිවරු නිල බලයෙන් තමන්ට හිමි අරලියගහ මැඳුර භාවිත කළේ, සිය රාජකාරි අවශ්‍යතා සඳහා පමණි. විශේෂයෙන් ම ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජේ. ආර්. ඒ අතරින් කැපී පෙනෙයි.
1956 මැතිවරණයේ අවසන් ප්‍රතිඵල පිටවෙන දිනයේදී, ජයග්‍රහණය බලා‍පොරොත්තුවෙන් සිටි ඒවනවිට අගමැති ධුරය හෙබවූ සර් ජෝන්කොතලාවලගේ ආධාරකරුවෝ අරලියගහ මැදුරේ ජයපැන් සාදයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා අගමැති නිල නිවසේ සාදවලට ආහාර සපයන වික්ටෝරියා අවන්හලෙන් ආහාර පාන ද ඇනවුම් කර තිබිණි. අරලියගහ මැදුරේ පිටුපස වන උද්‍යානයෙහි විශාල ගස් මුදුන්වල වර්ණවත් විදුලි බුබුළු එල්ලා සරසන්නට ද ඔවුහු පියවර ගෙන තිබුණි. එහෙත් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සිය බලකණු එකිනෙක බිඳ වැටෙද්දී, සර් ජෝන් ජය පැන් සාදය නතර කර ඇත. මැතිවරණයෙන් පරාජයට පත් වී, සිය පෞද්ගලික වාසභවනය වූ රත්මලානේ කඳවල වලව්වට පියමං කළ ඔහු, ඊට ටික කලකට පසුව එංගලන්තයේ කෙන්ට්හි බ්‍රෝගස් වුඩ් නම් වත්තක් මිලට ගෙන එහි පදිංචියට ගියේ ය.
එදා මෙදා තුර කාලයේදී අරලියගහ මැදුරේ සිටි අපූරුතම පුද්ගලයා අගමැති, විජයානන්ද දහනායකය. ඒ මැඳුරට පැමිණි දුසිමක් පමණ වන අගමැතිවරුන් අතරේ සරලම දේශපාලනඥයා වන්නේ ද ඔහුය. අගමැති විජයානන්ද දහනායක සිය ධුරයට පත්වීමෙන් පසු, සිය නිල නිවස්නය වෙත ආ අපූරුව හොඳින්ම විස්තර වෙන්නේ, බ්‍රැඩ්මන් වීරකෝන් ලියූ “අරලියගහ මැදුරේ ස්පන්දනය” කෘතියේය. බ්‍රැඩ්මන් වීරකෝන් හිටපු අගමැති ‍ලේකම්වරයෙකි. අරලියගහ මන්දිරයේ හුන් අගමැතිවරු නවදෙනෙකුගේම ‍ලේකම්වරයා ලෙස රාජකාරි කළේ ඔහුය. ඔහු සිය කෘතිය ලියන්නේද, පනස් වසරක් පුරා එහි ලැබූ අත්දැකීම් ඇසුරෙනි. එහි බ්‍රැඩ්මන් වීරකෝන්, විජයානන්ද දහනායක අගමැතිවරයා ගැන ලියා ඇත්තේ මෙසේය.
“දහනායක කොළඹ ධනපති පන්තියට එක්වීමට උනන්දු වූ අයෙකු නොවූ නිසා ඇමැතිවරයෙකු ලෙසද හැමවිටම නැවතී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාරය වූ ශ්‍රාවස්තියේ කාමරයකය. අගමැති ලෙස දිවුරුම් දුන් පසු, ඔහු අරලියගහ මන්දිරයෙහි පදිංචි වන්නට සතුටු යැයි මට කීය.
කබල් සූට්කේස් දෙකක් ද රැගෙන පැමිණි දහනායකට වහාම තම නිදන කාමරය බලන්නට වුවමනා විය. කැටයමින් අලංකෘත යුගළ ඇඳත්, පෞරාණික ගෘහ භාණ්ඩත් දෙස හොඳින් බැලූ ඔහු කීවේ, ‘මං කියන්නේ මට මේකෙ නිදාගන්න බෑ. මට වෙන ‍පොඩි කාමරයක් හොයලා දෙන්න බැරිද?’ කියා ය.”
සියලුම නිදන කාමර එකසේ විශාල බව දැනගත් ඔහු ඉන්පසුව පවසා ඇත්තේ, ඒ කාමරයේම කොටසක තමන්ට කුඩා කාමරයක් තනා දෙන ලෙසිනි. ඒ අනුව අගමැති දහනායක වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන නිදන කාමරය තුළ ලී රාමුවලට තුනී ලෑලි ගසා සැකසූ තනි ඇඳකට, අල්මාරියකට හා කණ්ණාඩි මේසයකට පමණක් ප්‍රමාණවත් වූ කුඩා දොරකින් සමන්විත කුටියක් ඉදිකර ඇත.
එලෙස අරලියගහ මැදුරට ආ ඔහු එක්දහස් නවසිය හැටේ ඡන්දයෙන් පරාජයට පත්වී යළි සිය නිවෙස වෙත ගිය හැටි ද අරුමපුදුමය. ඒ ගැන බ්‍රැඩ්මන් වීරකෝන් සිය කෘතිය තුළ සඳහන් කරන්නේ මෙලෙසිනි.
“පදික වේදිකාවේ බුලත් විටි වෙළෙඳුන් ද තේ කඩවල ද බස් නැවතුම්පළේ කඩවල ද කඩලකාරයන් ද අතර ගැවසීමට ප්‍රිය කළ සාමාන්‍ය මිනිසුන්ගේ මිතුරෙකුව සිටි දහනායක ගාල්ලෙන් පරාජය වීම මට අදහාගත නොහැකි වුණි. එදින සවස මා අරලියගහ මන්දිරයට යන විට දහනායක දිගු බරාඳයේ පුටුවක වාඩි වී සිටියේ ඔහුගේ සුපුරුදු කබල් සූට්කේස් දෙක ද පසෙකින් තබාගෙනය. ඔහුට මගෙන් ඉල්ලීමක් කරන්නට තිබිණි. ඒ අගමැති කාර්යාලයේ හම්බර් හොක්ස් නිල රථ දෙකෙන් එකකින් ඔහුට ගෙදර යන්නට අවසර ලබා දීමය. ඔහු සූට්කේස් දෙක ද රැගෙන පිට වී යනු දැකීම කනගාටුදායක විය. අගමැති නිල නිවසේ සේවක මඩුල්ල ‍පෝටිකෝවට රැස්ව සිටියේ ඔහුට සමු දෙන්නටය. ඒ සැවොම එකාවන්ව ඔහුට සුබ ප්‍රාර්ථනා කරමින් සමු ගත්හ.”
එක්දහස් නවසිය හැටේදී මේ බිමට ආ ආගන්තුකයා සිරිමාවෝ මැතිනියයි. ඇය ආවේ නිකම්ම අගමැති ධුරයක් රැගෙන පමණක් නොවේ. ලොව ප්‍රථම අගමැතිනිය ලෙසින් නව ලෝක වාර්තාවක් ද සමගිනි. අරලියගහ මන්දිරය දීර්ඝ සිසිර නිද්‍රාවකින් අවදි වී, කෙළි දෙලෙන් පසු වූ දරුවන් තිදෙනෙකුගේ කතා බහෙන් යළි ප්‍රාණවත් වන්නට පටන් ගත්තේ ඒ සමඟිනි. එහෙත් එක්දහස් නවසිය හැටපහේ පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මැතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රමාද වීමත් සමඟින් නොසන්සුන්තාවක් හට ගැණිනි. මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කලබල ඇතිවෙමින් පැවැති අතර, මැතිනියට සහය දක්වන පිරිසක් අරලියගහ මැදුරේ ගේට්ටුව දක්වා පැමිණිය හ. බ්‍රැඩ්මන් වීරකෝන් සිය කෘතියෙන් පෙන්වා දෙන්නේ, ඒ අවස්ථාවේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිරිමාවෝට අවැසි වුවද වෙනත් දේශපාලන බලවේගවල ඉල්ලීම මත ඇය ඉල්ලා අස්වීම පමා කළ බවය. කෙසේ වතුදු අවසානයේ අරලියගහ මන්දිරය හැර යන්නට සිරිමාවෝ සූදානම් වූවා ය. එය කඳුළු පිරි සමුගැන්මක් විය. ඒ වන විට රොස්මිඩ් පෙදෙසේ වූ ඇයගේ නිවස ඊජිප්තු තානාපති කාර්යාලයට කුලියට දී තිබුණ බැවින් සිරිමාවෝට අවැසි නම් ටික කලක් අරලියගහ මැදුරේ රැඳී සිටිය හැකි බව නව අගමැති වූ ඩඩ්ලි සේනානායක අඟවා තිබිණි. එහෙත් ඉන් ප්‍රයෝජන නොගත් ඇය ඉන් පිටවී යන්නට කටයුතු සූදානම් කර ගත්තාය.
එක්දහස් නවසිය අනූහතරේ අරලියගහ මැදුරට ආ අලුත්ම අගමැතිවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය. පියාත්, මවත් අගමැති වූ පවුලක දියණිය ද අගමැති වීමේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් ඇය 1994 පැවැති මහ මැතිවරණයෙන් ආසන 113ක් දිනා ගනිමින් අගමැති ධුරයේ දිවුරුම් දුන්නා ය. ඒ වන විට අගමැති ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අනතුරුව සිය පරාජය පිළිගෙන අරලියගහ මැදුරෙන් ඉවත් විය. එහෙත් දෙදහස් එකේ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ යළි අගමැති වූ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අරලියගහ මන්දිරය යළි රනිල් වික්‍රමසිංහට දුන්නේ නැත. ඒ, ඇය ජනාධිපති මන්දිරය මෙන් ම අරලියගහ මන්දිරය ද සිය කටයුතු සඳහා භාවිතයට ගත් බැවිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය අරලියගහ මන්දිරයෙන් පිට නොවූවොත් එහි විදුලිය සහ ජල පහසුකම් අත්හිටුවන බවට එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි රාජිත සේනානාරත්න තර්ජනය කළේ ද ඒ අවස්ථාවේදීය.

ගයාත්‍රි ගීගනආරච්චි

  1. කැප්පෙටිපොළ අසාමාන්‍ය වීරයෙක්
  2. ලංකාවේ යුද ඉතිහාසය නිවැරදි කරමින් කපිතාන් අලදෙණියගේ කතාව එළිදකී
  3. කැප්පෙටි‍පොළ මහ දිසාවේ සුදුදාගේ අත්අඩංගුවට පත්වී අදට වසර 200යි
  4. දේශීය කිරි කර්මාන්තයේ විනාශය අත ළඟයි
  5. 1818 කළ විනාශයට ඌව පළාත් සභාව සුද්දගෙන් වන්දි ඉල්ලයි
  6. ලංකාවේ එකම සුනඛ සොහොන් පිටිය
  7. කටුපොල් මාරයාගේ දිග පළල කරළියට
  8. උඩවලව ජාතික වනෝද්‍යානයට බලංගොඩින් නව පිවිසුමක්
  9. ලක්බිම හෙළිදරව්වෙන් පසු ගාමිණී දිසානායක පදනමෙන් සියවස් පිරි බාලම්මාට උපහාර
  10. යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
  11. ජංගම ග්‍රහලෝකාගාරයක් තනිවම හැදූ බදුරලියේ තරංග මුළු රටටම එකයි
  12. සංඥා බස අප බසටත් අප බස සංඥා බසටත් පෙරළන අලුත්ම මෘදුකාංගය
  13. හඬක් නැතිව පුපුරණ උතුරේ බිම්බෝම්බ
  14. දරුවන් යකඩ කඩෙන් බේරාගන්න සටන් කරන ටොයෝටා තාත්තලා
  15. බුදුන්ගේ පාද ස්පර්ෂය ලද පින්බිම දීඝවාපිය
  16. සංඝරත්නයේ චීවරය දේශපාලනඥයන්ගේ වළං අල්ලන දැලිකඩක් කරන්න දෙන්න එපා
  17. කාවන්තිස්ස රජුගේ අත්සන සහිත සෙල්ලිපියක් ඇති තරුලෙන්ගල
  18. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයට වින කටිනා ඌරුම‍ලේ හෝටල්
  19. නියගයෙන් බැට කන කාන්තාවෝ කල්පිටියේ වගා බිම්වල රැකියාවන් සොයා යති
  20. හදවත විවෘත නොකර කළ ලංකාවේ පළමු හදවත් කපාට සැත්කම
  21. "සොබා දහමේ යොවුන් ඇස' චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය 21 සිට
  22. කොළඹ කනත්තේ හුදකලා වූ ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් වෙහෙර ගෙය
  23. රටටම සර්වඥ ධාතු බෙදාදුන් නීලගිරි සෑය
  24. බෙරපදයක හඬට පත්තු වෙන සබරගමු මහ සමන් දේවාලයේ කාලතුවක්කුව
  25. එකම දවසේ එකම කුස ඉපදී එකම දවසේ හමුදාවට බැඳී එකම දවසේ මේජර් ජෙනරාල්වරුන් වූ සොහොයුරන් දෙදෙනා

Page 1 of 31

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.