lakbima.lk

ඉහත ආත්මයට අයත් යැයි සිතෙන පරිසරයක් සිතුවමට නංවාගෙන

ධනවත් ව්‍යාපාරිකයකු ගේ බිරිඳ වන තිස්පස් වියැති නදීරා දෙදරු මවකි. විශේෂයෙන් කැපී පෙනෙන රූ සපුවකින් යුතු ඇය කාගේත් සිත් දිනාගත් තැනැත්තියක වන අතර පිනට දහමට සේම සමාජ සේවා කටයුතුවලද යෙදෙන්නියක වූවාය.

නදීරාගේ සුවිසල් නිවසේ සාලයේ අඩි හතරක සහ අඩි තුනක ප්‍රමාණයේ රමණීය චිත්‍රයක් ප්‍රදර්ශනය කෙරේ. එය නදීරා විසින් තම සිත තුළ ඇඳුණු මනෝ රූපයකට අනුව ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියකු ලවා අන්දවා ගන්නා ලද්දකි. ඒ අනුව එම ඡායාරූපයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බව ඇය කියන්නීය.

මේ දර්ශනය මම දන්න කියන කා‍ලේ ඉඳලම මගේ හිතේ මැවුණු එකක්; මේ වෙල, මේ දොළපාර එතකොට මේ ගුරු පාර ඒකට ඉහළින් කැඩිලා තියන අන්න මේ බෝක්කුව වගේ දේවල් පුංචි කා‍ලේ ඉඳලම මගේ හිතේ තදින්ම ඇඳිලා තියනවා; ඒත් මේක මම කොහේදි හරි දැක්ක තැනකුත් ‍නෙවෙයි. ඒත් මටම පුදුමයි සැරින් සැරේ මේ දර්ශනයම මගේ හිතේ මැවෙන්නේ මොකද කියලා; කොහොම හරි මම ටිකක් ලොකුමහත් වෙලා මේ ගැන ටිකක් දැනුම් තේරුම් තියන අයට කියනකොට ඒ අය තමයි කිව්වේ මේක එකත් එකටම සංසාර පුරුද්දක්; මට මේ විදිහට මැවිලා පේන්නේ මම ගිය ආත්මේ ජීවත් වුණු පරිසරේ කියලා” නදීරා එම සිතුවම පිළිබඳව විමසන සැමට එසේ කියන්නීය.

නදීරා ආර්ථික අතින් එතරම් සවිමත් පවුලක දියණියක් නොවූවද ඇය විවාහ කරගත් තැනැත්තා ධනවත් ව්‍යාපාරිකයකි. එබැවින් ඇගේ එම සිතේ රැඳි රුව දක්ෂ චිත්‍ර ශිල්පියකු ලවා සිත්තමට නංවාගෙන නිවසේ සාලයේ එල්ලා ගැනීමට ඇයට හැකිව තිබේ.

“මේ චිත්‍රය මගේ හිතේ ඇඳුණු රූපයට සීයට සීයක්ම සමාන නැතත් සීයට හැත්තෑවක් අසූවක් සමානයි. හැබැයි මම මේ චිත්‍රය අන්දවා ගත්තෙත් පුදුම යුද්ධයක් කරලා තමයි; මීට කලින් මම ආටිස්ලා තුන් හතර දෙනෙකුටම මගේ හිතේ ඇඳුණු රූපය කියලා ඒකෙන් චිත්‍රයක් අඳින්න කිව්වා; නමුත් වැඩේ හරියට කෙරුණේ නැහැ. ඒ හින්දා මම දවස් ගාණක් තිස්සේ මේ  ආටිස්ට්ට කියලා කියලා තමයි මේ තරමට හරි මගේ හිතේ තියන දේ අන්දවා ගත්තේ” නදීරා ඒ සිතුවම පිළිබඳව විමසන සැමට එසේ පවසනුයේ තරමක ආඩම්බරයෙනි. එමෙන්ම ඇය තමන්ගේ මතකයේ මැවෙන එම රුව නිවසේ සාලයේ සිත්තමට නංවාගෙන ඇත්තේ එක් විශේෂ අරමුණක් පෙරදැරිවය. එනම් තම නිවසට පැමිණෙන අමුත්තන්ගෙන් ඒ පිළිබඳව අදහස් දැන ගැනීමට සහ ඔවුන්ගෙන් කිසිවකුත් ඊට සමාන පරිසරයක් සැබැවින්ම දැක තිබේදැයි දැන ගැනීමටය. එසේ දැනගතහොත් ඒ ඔස්සේ තමන්ට තම ඉහත ආත්මය කරා යා හැකියැයි නදීරා විශ්වාස කරන්නීය. කෙසේ හෝ ඇය තුළ පවතින මෙය කිසියම් මානසික විකෘති හෝ අසාමාන්‍යතාවයක් විය හැකි බවත් මෙම පුරුද්ද මෙලෙසින්ම පැවතියහොත් එම මානසික අසාමාන්‍යතාවයේ පරාසය තවත් පුළුල්විය හැකි බවත් නදීරාගේ සැමියාට ඔහුගේ මිතුරකු පවසා තිබිණ. ඔහුගේ එම කීමෙන් කලබලයට පත් නදීරාගේ සැමියා එම චිත්‍රය ගලවා විනාශ කිරීමට වෙර දරා ඇත්තේ එමගින් ඇයට මානසික රෝගයක් වැලඳෙතැයි යන බිය නිසාය. එහෙත් තමන්ට මානසික රෝගයක් නොමැති බව දීරා සිය සැමියාට පුන පුනා කියා සිටි බැවින් අවසානයේ ඔහු කියා ඇත්තේ ඒ පිළිබඳව නිශ්චය කිරීම මනෝ වෛද්‍ය වරයකුට භාර කළ යුතු බවය.  නදීරා තම සැමියා ද සමග මනෝ වෛද්‍යවරයකු හමුවට පැමිණියේ ඒ අනුවය.

නදීරා සහ ඇගේ සැමියාගේ ප්‍රකාශයන්ට සාවධානව අසා සිටි මනෝ වෛද්‍යවරයා විසින් ඉන්පසුව නදීරාගේ සෙසු ගති පැවතුම් සහ චර්යාවන් පිළිබඳවද විමසීමක් කරන ලදි. එහිදී ඔහුට අනාවරණය කර ගත හැකි වූයේ ඇගේ සෙසු චර්යාවන්හි අසාමාන්‍යතාවයක් නොමැති බවය. ඒ අනුව මෙම තත්ත්වය මිනිස් මනැසේ සාමාන්‍යයෙන් මැවෙන රූප සංඥා (Imagery) බවත් මෙහිදී සිදුව ඇත්තේ එම රූප සංඥා විශේෂ ආකෘතිකරණයකට ලක්වීමක් පමණක් බවද මනෝ වෛද්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.

මනැසින් මේ වගේ රූප සංඥා දැකීම විතරක් මානසික රෝග ලක්ෂණයක් විදිහට හඳුන්වන්න බැහැ. ඒත් ඒ රූප සංඥා තමන්ගේ කැමැත්තට පටහැනිව හිතට බලහත්කාරයෙන් කඩා වදිනවා නම් ඒ වගේම ඒ කඩා වැදීම් වලින් මානසික පීඩාවක් දැනෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුයි.” මනෝ වෛද්‍යවරයා කීය. මට නම් එහෙම මානසික පීඩාවක් දැනෙන්නේ නැහැ. ඒ රූපය හිතේ මැවෙන කොට මගේ වෙන වැඩක් පලක් වුණත් කර ගන්න පුළුවන්. අනික ඒ වගේ දේකින් හිතට පුංචි සතුටකුත් දැනෙනවා” නදීරා කීය.

තමන් ජීවිතේ එදිනෙදා අත්දකින විශේෂ සංසිද්ධීන්වලට ආගමික සංස්කෘතික ආරෝපණයන් දෙන එක හැම සමාජයකම දකින්න ලැබෙන දෙයක්. මෙතනදීත් ඒ රූපමය මතකය පෙර ආත්මයේ සිද්ධියක් හැටියට අර්ථ දක්වන්නේ ඒ නියාමය අනුවයි“ ඒ වගේම ඒ අර්ථ නිරූපණ වලින් මානසික ආතතියත් අඩු වෙන්න පුළුවන්” මනෝ වෛද්‍යවරයා කීය.

“එතකොට මේක ඇත්තටම මගේ ඉහත ආත්මේ මතකයක් වෙන්න බැරිද ඩොක්ට?” ඒ සමගම නදීරා ඇසුවේ තරමක විස්මයෙනි.

“මට ඔය තත්ත්වය ගැන විස්තර කරන්න පුළුවන් විද්‍යාත්මක වශයෙන් විතරයි; නමුත් ඔය වගේ අත්දැකීම් වලින් තමන්ට මානසික පීඩාවක් ඇති වෙනවා නම් හරි තමන්ගේ පෞරුෂයට පවුල් ජීවිතයට සමාජගත ජීවිතයට මොකක් හරි අහිතකර බලපෑමක් වෙනවා නම් හරි තමයි ඔය ගැන සැලකැලිමත් විය යුත්තේ” මනෝ වෛද්‍යවරයා කීය.

“ඇත්තෙන්ම එහෙම දෙයක් නම් නැහැ ඩොක්ට; මම මේ ගැන ටිකක් හරි කලබල වුණේ මගේ යාළුවගේ කීම හින්දයි.” නදීරාගේ සැමියා කීය. ඒ කෙසේ හෝ නදීරාගේ එම ඉහත ආත්මයේ මතක රූපය මානසික රෝගයක් හෝ රෝග ලක්ෂණයක් නොවන බව සනාථ වූ බැවින් ඇය සහ ඇගේ සැමියා මනෝ වෛද්‍යවරයාට සතුටින් සමු දී නිවෙස බලා ගියහ.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි

සටහන - දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.