lakbima.lk

කමිසයක් නොහැඳ එළියට බැසීමට නොහැකි වූ තරුණයෙක්

“හැබෑට උඹට ඔය කමිසෙ ගලවලා එක තත්පරයක්වත් ඉන්නට බැරිද?”

අ‍පොස උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන ධනුෂ්කට එලෙස මිතුරන් සරදම් කරන ලද්දේ වරක් හෝ දෙවරක් නොවේ. එමෙන්ම ඔහුට නිවස තුළදී පවා කමිසයක් හැඳ සිටීමට නොහැකිය යන පුවත ඔහුගේ මිතුරන් වෙතින් පන්තියේ සිසුවියන් අතර ද පැතිර ගොස් තිබිණ. ඒ අනුව එම කරුණ මුල්කොට පන්තියේ සිසුවියෝද  ධනුෂ්කට උසුළු විසුළු කරන්නට වූහ.

ධනුෂ්ක තුළ පවතින මෙම අසාමාන්‍යතාව පාසල් මිතුරන් අතර ප්‍රචලිත වූයේ එම පාස‍ලේ ශිෂ්‍ය කණ්ඩායමක් දුරබැහැර ප්‍රදේශයක ගොස් සිදු කළ ශ්‍රමදාන වැඩ සටහනක දීය. එම ශ්‍රමදානයේදී ඇතැම් සිසුන් නිරාවරණ උඩුකයෙන් යුතුව ඊට එක් වූ අතර ධනුෂ්ක ඊට එක්වන ලද්දේ උඩුකය සඳහා කමිසයක් හැඳ ගත්වනමය. ඒ කෙසේ හෝ එම ශ්‍රමදානය අවසානයේ සියලු සිසුන් ඒ අද්දර වූ නාන ළිඳකින් ඇඟපත සෝදා ගැනීම පිණිස තමන් හැඳ සිටි කමිස ඉවත් කළ මුත් ධනුෂ්ක ඊට කෙසේවත් කැමති නොවීය. පසුව ඔහුගේ මෙම අකැමැත්ත ඊට එක් වූ ගුරුවරුන්ද දැන ගන්නා ලදුව ඉන් එක් ගුරුවරයෙක් ධනුෂ්කගෙන් ඒ පිළිබඳව විමසා සිටියේය. එවිට ඔහු පවසා සිටියේ  තම පපුපෙදෙසේ අසාමාන්‍ය ලෙස ලෝම වර්ධනය වී ඇති බැවින් නිරාවරණ උඩුකයෙන් යුතුව සමාජයට මුහුණ දීමට තමන්ට නොහැකි බවය. ඉන්පසු එම ගුරුවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ධනුෂ්ක අන් කිසිවෙකුටත් නොපෙනෙන ස්ථානයක තම කමීසය නිරාවරණය කොට ගුරුවරයා හමුවේ පෙනී සිටියේය. එහෙත් එවිට ගුරුවරයාට වැටහී ගියේ එම වයසේ ඇතැම් තරුණයන් කෙරෙන් දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් මිස ධනුෂ්කගේ සිරුරේ රෝම වැඩීමේ කිසිදු අසාමාන්‍යතාවක් නොමැති බවකි. නමුදු ගුරුවරයා විසින් ඒ බව ධනුෂ්කට පහදා දුන් නමුදු එය පිළිගැනීමට ඔහු අකැමැති විය.

ධනුෂ්ක තුළ පවතින මෙම මානසික අසමතුලිතතාවයේ පදනම නොදැන සිටියද කමිසයකින් තොරව එළිපහළියට ඒමට ඇති නොහැකියාව ගැන දැන සිටි ඔහුගේ මිතුරන් ඒ පිළිබඳව පාස‍ලේ සෙසු සිසුන් අතරේ ද ඒ පුවත පතුරුවා හරින ලද්දේ ධනුෂ්කගේ පියයුරු අසාමාන්‍ය වර්ධනයන් පළකරන බැවින් ඔහු තම ළැම ප්‍රදේශය රෙදි පටියකින් තද කොට බැඳ සිටින බවට මුසාවක් ද එක් කරමිනි. මෙම පුවත පාස‍ලේ සිසුන් අතර පැතිර  යන්නට ඇතැම් සිසුන් සරදම් පිණික බලහත්කාරයෙන් ධනුෂ්කගේ ළැම පෙදෙස ස්පර්ශ කරන්නට වූ අතර සිසුවියෝ ඔහුට උසුළු විසුළු කිරීමට පටන් ගත්හ.

ධනුෂ්ක පිළිබඳ මෙම ප්‍රවෘත්තිය පාස‍ලේ විදුහල්පතිනිය වෙත ද සැලවනු ලදුව ඇය ඔහු ශිෂ්‍ය උපදේශනය භාර ගුරුවරයා වෙත යොමු කරන ලද්දේ මෙය ධනුෂ්ක  තුළ පවතින මානසික අසමතුලිත බවක් බව වටහා ගැනීමෙන් පසුව එහිදී ධනුෂ්කගෙන් අසා දැන ගත් කරුණූ අනුව එම ගුරුවරයා ධනුෂ්ක මනෝ වෛද්‍යවරයකු හමුවට පත් කළ යුතු යැයි තීරණය කළේ එය සාමාන්‍ය උපදේශනයෙන් විසඳිය නොහැකි අර්බුදයක් බැවිනි. ඔහුගේ පියා පාසලට කැඳවා ඒ බව දැනුම් දීමෙන් පසුව තම පුතු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරිමට ඔහුගේ පියාද තීරණය කරන ලදී. ඒ තම පුතු තුළ පවතින මෙම අසාමාන්‍යතාවය ඒ වන විට පවු‍ලේ සාමාජිකයන් හට ද බරපතළ ගැටලුවක්ව පැවැති බැවිනි.

මෙහි දී මූලිකව ධනුෂ්කගෙන් ඒ පිළිබඳව කරුණු විමසා ඔහුගේ සිරුරේ උඩුකය ද පරීක්ෂා කළ මනෝ වෛද්‍යවරයා අතිශය සාමාන්‍ය තත්ත්වයක් වන ඒ සම්බන්ධයෙන් මානසික අර්බුදකාරී තත්ත්වයක් පැන නැගීම මුල් කොට ගත්  Body dysmorphic disorder නම් මානසික අර්බුදය බව පළමුව හඳුනා ගත්තේය. අනතුරුව එලෙස තම සිරුර මුල්කොට වැරදි වැටහීමක් ඇති කර ගැනීමට හේතුව පිළිබඳව විමසා සිටි මනෝ වෛද්‍යවරයාට ධනුෂ්ක කීයේ මෙබඳු කතාවකි.

“මේ සිද්ධිය වෙලා දැනට අවුරුදු පහක් විතර ඇති. එතකොට මම නවයේ පන්තියේ. එක ඉස්කෝ‍ලේ නිවාඩු කාලෙකදී මම දවස් කීපයක් නතර වෙන්න බදුල්‍ලේ අපේ මාමා කෙනෙකුගේ ගෙදර ගියා. මම එහේ යන්න ටික දවසකට කලින් ඒ මාමාගේ පුතා කසාද බැන්දා. ඒ අයියා කසාද බැඳපු අක්කත් හිටියේ ඒ ගෙදර.  දවසක් මම ඒ ගෙදරදී කමිසෙ ගලවාගෙන ඉන්නවා දැකපු ඒ අක්කා හිනාවුණා. ඊට පස්සේ මට “බොඩියේ මයිලානන්ද” කියල විහිළු කරලා  එයා කිව්වා. දැනටම පපුවේ ඔහොම මයිල් තියනවා නම් තව අවුරුදු පහකදී ඔයා වලහෙක් වගේ වේවි කියල. කොහොම හරි මේ කතාව මගේ පපුව ඇතුළටම කා වැදුණා වගේ තේරුණා. ඊට පස්සේ මම තීරණය කළා මම මීට පස්සේ කිසිම දවසක කමිසයක් නොඇඳ එළිපහලියට එන්නේ නැහැ කියලා. ඒ වගේම ඊට පස්සේ මම හැම තිස්සේම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මගේ පපුවෙයි ඇඟෙයි රෝම කූප වැඩිපුර වැවෙනවද කියලා බලන්න පුරුදු වුණා. එතකොට තමයි මට තේරුණේ මගේ පපුවෙයි ඇඟෙයි අසාමාන්‍ය විදිහට රෝම වැවීගෙන එන බව. ඇත්තෙන්ම ඒක මට පුදුම මානසික වේදනාවක් වුණා. ඒ හින්දම මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් මම හිතපු තරම් හොඳ වුණේ නැහැ.  කොහොම හරි මේ තත්ත්වය හින්දා මට ජීවිතෙත් එපා වෙලා තියන කොට තමයි අපේ සර් කිව්වේ මට ඩොක්ට කෙනෙක් හම්බුවෙන්න කියලා.”

“මේ වගේ රෝග තත්ත්වයක් ඇතිවෙන්න මොකක් හරි එක සිද්ධියක් මුල් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ සිද්ධිය  හින්දම මේ වගේ මානසික අර්බුදයක් ඇති වුණාය කියල කියන්න බැහැ. ඒ කියන්නේ ඔය කියන ගෑනු කෙනාගේ උපහාසය වෙනුවට වෙන කවුරු හරි මෙයාගේ උස, මහත, නහයේ, මුහුණේ හැඩය, ඇඟේ පාට වගේ දෙයක් ගැන කතා කළොත් ඊට පස්සේ මෙයා  ඒ දේ මුල් කරගෙන මේ මානසික අර්බුදයම ගොඩ නඟා ගන්න ඉඩ තියනව. ඒකට හේතුව මෙයාගේ පෞරුෂය සහ මොළයේ ෙජෙව රසායනික සංයුතිය ඒ වගේ මානසික අර්බුදයකට සුදුසු මට්ටමක තිබිමයි.

කෙසේ හෝ ඉන්පසුව තම සිරුරේ අත්‍යවශ්‍ය ලෙස රෝම වැඩී ඇතැයි යන ධනුෂ්ක තුළ පැවැති නොනිසි බිය පහවීම සඳහා ඥානක චර්යාත්මක චිකිත්සාවක් (Cognitive behavioral therapy) නියම කළ මනෝ වෛද්‍යවරයා ඒ වන විට එම කරුණු මත ඔහු තුළ හටගෙන තිබූ සරල විශාද තත්ත්වය (Mild depression)  සඳහාද  ඖෂධ ප්‍රතිකාර  නියම කළේය.

තම සිරුරේ අනවශ්‍ය රෝම වැවී ඇති බවට ධනුෂ්ක තුළ පැවැති වැරදි විශ්වාසය මත පදනම් වූ මානසික අර්බුදය තුරන්ව ඔහුට සාමාන්‍ය දිවි පවෛතකට පිවිසිය හැකි වූයේ ඉන්පසුවය.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රුබන් අනාවරණය කරයි

සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.