lakbima.lk

වීඩියෝවකින් මානසික අර්බුදයකට පත් යුවතියක්

උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන උදාරි එදින උපකාරක පන්තියේ සිට නිවසට පැමිණියේ කිසියම් නොසන්සුන් බවකින් යුතුව ය. උදාරිගේ මුහුණින් පළවන මෙම වෙනස ඇගේ මවට හොඳින්ම පෙනිණ. එබැවින් මව ඒ පිළිබඳව උදාරිගෙන් විමසා සිටියාය.

‘අනේ අම්මේ; ඒක නම් ආයිමත් මට මතක් කරන්නවත් බැහැ; මගේ හිස කකියනවා‘ උදාරි කීයේ තම අතෙහි වූ ‍පොත් ගොන්නද පසෙකට වීසි කරමිනි. තම දියණිය ගේ මෙම නුහුරු නුපුරුදු හැසිරීම් රටාව දුටු උදාරිගේ මව අතිශයින් කලබලයට පත්ව ඒ පිළිබඳව නොඉවසිලිමත්ව විමසා සිටියාය.

එවිට උදාරි කියා සිටියේ තම උපකාරක පන්තියේ යෙහෙළියකගේ ජංගම දුරකථනයකින් දුටු වීඩියෝ දර්ශනයකින් තම මනැස මුළුමනින් අවුල් සහගත වූ බවය.

කිසියම් තරුණයකු පිහියක්ද අතැතිව කුකුළකු පසුපස හඹා ගොස් එම පිහියෙන් කුකුළාගේ ගෙල සිඳින අයුරුත් ඉන් පසු හිස සුන් කුකුළා තවත් දුරක් ඉගිලී යන අයුරුත් එම වීඩියෝවේ දර්ශනය වූ බව තම මව හමුවේ විස්තර කළ උදාරි තමන්ට නැවතත් ක්ලාන්ත ස්වභාවයක් දැනෙන බව කියා එතැනම වූ අසුනක වාඩි වූවාය.

එමෙන්ම ඉන් පසු උදාරිගේ හැසිරීම් රටාවේ පවා පැහැදිලි වෙනසක් දක්නට ලැබුණු අතර ඇය කියා සිටියේ එම වීඩියෝ දර්ශනය තම මනැසට කෙතරම් තදින් කාවැදී තිබේද කිවහොත් එය මතක් වනවිට තමන්ගේ මනැස හිරිවැටෙන්නාක් මෙන් දැනෙන බවය. එමෙන්ම එම වීඩියෝවෙන් දුටු බිහිසුණු දර්ශනය රාත්‍රී නින්දේදී සිහිනයෙන් පවා පෙනෙන අතර ඉගෙනුමේ කටයුතු සඳහාවත් තම සිත එකලස් කර ගැනීමට නොහැකි බව උදාරි තම මාපියන් හා නිතර කියන්නට වූවාය.

ඒ අතර ඒ සම්බන්ධයෙන් ඇගේ වැඩිහිටි ඥාතීන් කිහිප දෙනකු යෝජනා කොට සිටියේ එවන් තත්ත්වයක් යටතේ උදාරි මනෝ වෛද්‍ය වරයකු හමුවට යොමු කිරීම වඩාත් යෝග්‍ය බවය.

උදාරි මුහුණ දුන් එම අත්දැකීම සහ ඇය ඉන්පසු පත්වූ තත්ත්වය පිළිබඳව විමසීමක් කළ මනෝ වෛද්‍යවරයා උදාරි පශ්චාත් ක්ෂතික ආතති අර්බුදය (Post traumatic stress disorder) නම් මානසික අර්බුදයකට පත්ව ඇති බව නිගමනය කළේය.

‘ජීවිතයේ මුහුණ දෙන ප්‍රකම්පනීය අත්දැකීම් මුල්කොට සමහරුන් මේ තත්ත්වයට පත්වෙන්න පුලුවන්. ඒ අය තුළ ඒ අත්දැකීම් කෙරෙහි පවතින දැඩි සංවේදීතාව ඔස්සේ ඒ අත්දැකීම මනැසේ සාමාන්‍ය විදිහට ධාරණය නොවීම මත මෙවැනි තත්ත්වයක් ඇති වෙනවා‘ මනෝ වෛද්‍යවරයා කීය.

‘ඒත් ඩොක්ට, දුව කියන විදිහට ඒ වීඩියෝ එක තවත් ළමයි බලලා තියනවා. නමුත් ඒ අයට මේ වගේ දෙයක් වෙලා නැහැ‘ උදාරිගේ මව කීවාය.

‘ඒක එහෙම තමයි; අපි හැමෝම හැම දේකටම එක විදිහට සංවේදී වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට එකම වාහනයක ගමන් කරමින් ඉන්න අතරේ එකම අනතුරකට ලක්වෙන පස් දෙනකුගෙන් එක් කෙනෙක් විතරක් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න පුලුවන්. ඒකට ඒ තැනැත්තා අනතුරට මුහුණපාපු ස්වභාවය, ඒ තැනැත්තාගේ මානසික තත්ත්වය ඒ වෙලාවේ තිබුණු මානසික ස්වභාවය පෞරුෂය වගේ ආදී කරුණු කිහිපයක් බලපාන්න පුලුවන්. කොහොම වුණත් කෲරත්වය සම්බන්ධ ඔය වගේ වීඩියෝ දර්ශන වගේ දේවල් විශේෂයෙන් ළමා සහ තරුණ මනැස්වලට අහිතකර විදිහට බලපාන බව ලෝකය පුරා සිදු කරපු පර්යේෂණවලින් ඔප්පුවෙලා තියනවා;‘ මනෝ වෛද්‍ය වරයා කීය.

‘නමුත් ඩොක්ට, සතුන්ට සිදුකරන බරපතල හිංසාවන් වගේ දේවල් වීඩියෝ වගේ මාධ්‍යවලින් දකින සමහරුන් ඒවායින් ඈත්වෙන බව නේද හැමෝම වගේ කියන්නේ?‘ ඉන්පසු උදාරිගේ පියා එසේ ඇසීය.

‘ඒක එක්තරා මතයක් විතරයි; උදාහරණයක් හැටියට කෲර සත්ව ඝාතන මේ වගේ මාධ්‍යයකින් දකින සමහරුන් ඒ ඔස්සේ ඇති කර ගන්නා මානසික කම්පනය මුල්කොට මස් මාංශ අනුභවයෙන් වැළකෙන්න පුලුවන්. නමුත් කල් යාමේ දී හරි, ඊට වඩා ප්‍රභල මානසික බලපෑමකදී හරි ඒ මානසිකත්වය වෙනස් වීමකදී හරි ඒ තැනැත්තා යළිත් මස් මාංශ අනුභවයට පෙළඹෙනවා. ඒ හින්දා ඒක තිරසාර දෙයක් වෙන්නේ නැහැ.‘  මනෝ වෛද්‍යවරයා කීයා.

‘කොහොම හරි ඩොක්ට, මේ සිද්ධියෙන් පස්සෙ අපේ දුවත් කුකුල් මස් ගේ පැත්ත පලාතකට ගේන්න දෙන්නේ නැහැ‘ එවිට උදාරිගේ මව කීය.

ඒකට හේතුව ඒ වීඩියෝ දර්ශනයෙන් ඇති වුණු මානසික කම්පනයත් එක්ක කුකුල් මස් කියන ආහාරය පිළිබඳ සිතුවිල්ල සංඝටනය (Association) වීමයි; නමුත් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා මේ වගේ මානසික අර්බුදයකට පත්වුණු තවත් කෙනෙක් තුළ ඒ සිදුවීම සහ කුකුල් මස් ආහාරයට ගැනීම එකම සංසිද්ධි දාමයක් විදිහට සංඝටනය නොවුණොත් ඒ සිදුවීම මුල් කරගෙන කුකුල් මස් ආහාරයට ගැනීම නතර නොකරන්නත් පුළුවන්. ‘

ඒ වගේම අතීතයේ වගේම වර්තමානයේත් ලෝකයේ සමහර රටවල ප්‍රසිද්ධ ස්ථානවල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා; නමුත් ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විද්‍යාත්මක නිරීක්ෂණවලින් තහවුරු වී තිබෙන්නේ අපරාධ නිවාරණයට ඒ වගේ දේවල්වලින් සාධනීය බලපෑමක් නොවන බවයි. ගල්ෆ් කලාපය ඒකට හොඳම උදාහරණයක්‘ මනෝ වෛද්‍යවරයා කීය.

‘එතකොට ඩොක්ට කියන්නේ මිනිසුන්ට අවිහිංසාව ගැන අවබෝධයක් ලබා දෙන්නවත් සතුන්ට එරෙහි කෲරත්වය පළ කෙරෙන වීඩියෝ දර්ශන යොදා ගන්න බැරිද?‘ උදාරිගේ පියා ඇසීය.

‘අපිට ලැබෙන දැනුම විවිධ තල වලට අයිතියි. තොරතුරු මගින් ලබාගන්නා දැනුමට කියන්නේ awareness කියලයි. එහෙම මූලිකවම ලබා ගන්නා දැනුම මනසේ ගබඩා වීමේදී විජානනය (Knowledge)  කියනවා.   ඒක තමයි යමක් ගැන සංවිධිත විදියට රදවා ගන්නා දැනුම.  ප්‍රජානනය (Cognition) කියන්නේ ඒ දැනුම සිත තුළට කිඳා බසින මුල්ම අවස්ථාවට.  එතකොට ඒ මගින් ඇති කර ගන්නා අවබෝධයට ප්‍රත්‍යක්ෂය (Perception) කියනවා. ඒ අවබෝධය මනැසේ ව්‍යුහය තුළට කාවැදීමට ප්‍රඥාව (Wisdom) කියනවා. ඒ වගේම ඒ සියලුම දැනුම් තුළින් ලබා ගන්නා අවබෝධ ඥානයට අධිප්‍රඥාව (Insight) කියනවා. ඒ නිසා නවීන මනෝ විද්‍යාවේදී යමකුට යමක් පිළිබද අවබෝධය ලබා දීමට ඥානක ප්‍රවේශයක් (Cognitive Approach) මිසක්  භාවාතිශය ප්‍රවේශයක් (emotional approach) යොදා ගන්නේ නැහැ.

අනික අර කතාවටත් කියනවනේ දෙවේ‍ලේ දකින කුකුල් කරමලයත් රතු පාට මැකිලා සුදට පේනවා කියලා; ඒ වගේ මේ විදිහේ කෲර දර්ශන නිතර දැකීමෙන් ඒවා මනැස තුළ සාමාන්‍යකරණය (generalization) වෙන්න පුලුවන්. ඒක යම් පුද්ගලයකුගේ පෞරුෂයට, වගේම පවුල්, ප්‍රජා සහ සමාජ යහපැවැත්මට නරක විදිහට බලපාන්නත් පුලුවන්. ලෝකයේ දියුණු රටවල ප්‍රත්‍යක්ෂ වශයෙන් වටහාගෙන තියන මේ තත්ත්වය තවමත් අපේ රටේ හුඟ දෙනකුට තේරිලා නැහැ මේ කතා අහන සමහරු හිතන්නේ මේවා කියන අපිත් මානසික රෝගීන් කියලයි.‘  කී මනෝ වෛද්‍යවරයා ‘හැබැයි ඉතින් ඔය වගේ මානසික අර්බුදයකට  ලක් වෙලා අසරණ වුණාම අන්තිමට ඔය කාටත් හැකි හැම අයුරකින්ම පිහිට වෙන්නේ මනෝ වෛද්‍යවරුන්ම තමයි‘ කීයේ උදාරිට එම මානසික අර්බුදය සඳහා ඖෂධ සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර නියම කරන අතරේය.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි

සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.