lakbima.lk

ගුරුතුමිය කළු නිසා පාසල් යාමට බැහැ කියූ දැරියක්

“අනේ මට ඉස්කෝ‍ලේ යන්න බැහැ අම්මේ” දස හැවිරිදි සුපුනී මෙම වසර මුල සිටම තම මවට එසේ කන්කෙඳිරි ගාන්නට පටන් ගත්තාය. “අපිට ඇවිත් ඉන්න අලුත් ටීචර් කළුම කළුයි මම ආසම නැහැ එයාට. අනේ අම්මේ මාව සුදු ටීචර් කෙනෙක් ඉන්න පන්තියකට දාන්නකෝ; නැත්නම් මට ඉස්කෝ‍ලේ යන්න බැහැ”

සුපුනී තුළ පැවැති මෙම කළු සම ඇත්තවුන් පිළිබඳ භීතිකාව එලෙස මුල්වරට ඇති වූවක් නොවේ. ඇය හයක් හතරක් තේරුම් ගත් දා සිට මෙලෙස කළු සම ඇත්තවුන් පිළිබඳ අරුචිය වරින් වර ප්‍රකාශ කොට තිබිණ. කුඩාම කාලයේ කළු සම ඇති මිනිසුන් සේම කළු පැහැති බල්ලන් බළලුන් කෙරෙහි පවා මහත් බියක් දැක් වූ සුපුනි පසුව එම බිය වෙනුවට ඔවුන් කෙරෙහි දැඩි නොකැමැත්තක් පළ කළාය. එම අකැමැත්ත වඩාත් උග්‍ර අතට හැරුණේ පස්වන ශ්‍රේණියට සමත් වූ ඇය කළු පැහැති සමක් ඇති බැවින් තම අලුත් ගුරුවරිය ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි.

එහෙත් ගුරුතුමිය කළු පැහැති තැනැත්තියක නිසා තම දියණිය පාසල් යාමට මැලිකරන බව පාසලට දැනුම් දීමට නොපුළුවන. ඒ සැබැවින්ම එම ගුරුතුමිය තරමක කළු පැහැති සමක් ඇත්තියක බැවිනි. තම දියණියගේ මෙම ප්‍රකාශ ගුරුතුමියට දැනුම් දුනහොත් ඉන් ඇයද මහත් ඉච්ඡා භංගත්වයකට පත්විය හැකි බව සුපුනිගේ මවට වැටහිණ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පාස‍ලේ විදුහල්පති තුමිය දැනුවත් කිරීමෙන් සිදුවන්නේද එම ප්‍රතිඵලයම බව මව තේරුම් ගත්තාය.

කෙසේ හෝ මෙම තත්ත්වය යටතේ අධ්‍යාපනය කෙරෙහි පසුබෑ තම දියණිය ටියුෂන් අධ්‍යාපනය කෙරෙහි වැඩිපුර නැඹුරු කරවීමට සුපුනිගේ මව පෙළඹුණාය. එහෙත් තම දියණියගේ ශිෂ්‍යත්ව ජයග්‍රහණයට ටියුෂන් අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නොවන බව ඇයට වැටහිණ.

තම දස හැවිරිදි දියණිය මනෝ වෛද්‍යවරයකු හමුවට රැගෙන යාම කෙරෙහි සුපුනීගේ මව මුලින්ම බලවත් සේ අකමැති වූවාය. ඊට හේතුව ඇගේ මෙම නොකමැත්ත මානසික රෝගයක් සේ අර්ථ ගැන්වීමට ඇය කෙසේවත් කැමති නොවූ බැවිනි. එහෙත් දියණියගේ මෙම තත්ත්වය පිළිබඳව තම සැමියා සමග දිගින් දිගටම සාකච්ඡා කළ සුපුනීගේ මව අවසානයේ ඇය සහ තම සැමියා ද කැටුව මනෝ වෛද්‍යවරයකු හමු වූවාය.

මෙහිදී ඒ සම්බන්ධයෙන් සුපුනී ගේ මව වෙතින් දීර්ඝ වශයෙන් කරුණු විමසු මනෝ වෛද්‍යවරයා කළු පැහැය සම්බන්ධයෙන් කුඩා කල පැවැති භීතිය පසුව අප්‍රසන්න බවක් බවට පත්වීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළේය. එහි දී ඔහුට පළමුව අනාවරණය කරගත හැකිවූයේ මෙම භීතිය අතීතයේ කළු සතුන් කෙරෙහිද තිබි පසුව එය කළු පැහැති පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වුණු බවකි. එමෙන්ම අතීතයේ වුව ඇගේ සිත තුළ කළු පැහැති සතුන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් මිස කළු පැහැති ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙම භීතිය, අප්‍රසන්නතාව ක්‍රියාත්මක නොවූ බවද මනෝ වෛද්‍යවරයා වටහා ගත්තේය. එමෙන්ම අද වනවිට එම තත්ත්වය කළු පැහැති සම සහිත පුද්ගලයන් කෙරෙහි පමණක් බලපවත්වන ‘අප්‍රසන්නතාවයක්’ පමණක් බවට පත්ව ඇති අයුරු ද මනෝ වෛද්‍යවරයා නිරීක්ෂණය කළේය.

“ඔයා කළු අයට බයද නැත්නම් අකමැතිද?” මනෝ වෛද්‍යවරයා විමසූ විට සුපුනී කීයේ “අකමැතියි ය” යනුවෙනි. 

“හැම කළු කෙනෙකුටම?” මනෝ වෛද්‍යවරයා ඇසීය. එවිට සුපුනී මඳ කල්පනාවක වැටුණාය.

“මම ඔයාට අලුත් නැන්දා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි අඳුන්වලා දෙනවා. එයා ඔයාට ගොඩක් ආදරේ කරයි. ඔයා කන්න කැමතිම දේවල් අරන් දෙයි. ඔයා කැමතිම ඇඳුම්, කැමතිම සෙල්ලම් බඩු එහෙමත් අරන් දෙයි. ඔයාව විනෝද ගමන් එහෙමත් අරන් යයි හැබැයි එයා ගොඩක්ම නැතත් චුට්ටක් විතර කළුයි; ඒකට කමක් නැද්ද?” මනෝ වෛද්‍යවරයා එසේ අසන විට කසුනී සතුටු මුහුණක් දක්වමින් සිනාසුණාය.

“කළු අය හොඳ නැති බව ඇත්ත; ඒ හින්දනේ ඔයා ඒ අයට කැමති නැත්තේ. ඒත් කළු අය අතරේ හොඳ අයත් ඕනෑ තරම් ඉන්නවා; ඉතින් ඔයා ඒ හොඳ අයට මොකද අකැමති වෙන්නේ? දැන් බලන්න මේ මමත් කළුයි; මම නරක කෙනෙක්ද?” මනෝ වෛද්‍යවරයා සුපුනීගෙන් ඇසීය. එවිට ඇය එසේ නොවන බව දක්වමින් හිස සෙලවූවාය. “මාත් ටිකක් කළුයිනේ නේද?” මනෝවෛද්‍යවරයා එසේ පවසන විට සුපුනීට ඉබේම සිනා පහළ වුණි.

“දරුවෙක් තුළ හරි වැඩිහිටියෙක් තුළ හරි මේ වගේ තත්ත්වයක් හට ගන්න කාරණා කීපයක් බලපානවා. එකක් තමයි සංඝටනය (Association) කියන තත්ත්වය. කළු මිනිස්සු, සත්තු හොඳ නැහැ කියන කාරණේ පුංචි කා‍ලේම මොනම විදිහකින් හරි හිත තුළට කාවැදුණොත් පහුවෙනකොට ඒක කළු මිනිස්සු ගැන හිතේ ඇතිවෙන අහේතුක අප්‍රසන්න බවකට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ වගේම කළු මිනිස්සු, සත්තු නරකයි කියන අදහස මානසික කම්පනයක් හැටියට කාවැදුණොත් ඒක පශ්චාත් ක්ෂතික  ආතති ආබාධය (Post traumatic stress disoder P.T.S.D) හැටියට ඉස්මතු වෙන්න පුලුවන්; නමුත් එවැනි තත්ත්වයක ලක්ෂණ මේ දරුවා කෙරෙහි දකින්න බැහැ. විශේෂයෙන් මේ වයස්වල දරුවන්ගේ හිතට යමක් කාවැදුණොත් ඒක හිතින් ඉවත් කර ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට නැහැ. උදාහරණයක් හැටියට අහස ගොරවන්නේ ඔයා අම්මට කරදර කරන නිසාය කියලා වැඩිහිටියෙක් කිව්වොත් ඔය වගේ දරුවෝ ඒක ඒ විදිහටම පිළි ගන්නවා. මොකද ඒ ගැන අමුතුවෙන් හිතන්න තරම් ඒ අයගේ මොළේ වර්ධනය වෙලා නැහැ. එසේ කී මනෝ වෛද්‍යවරයා කළු පැහැති මිනිසුන් අයහපත්ය යන දරුවා තුළ පැවැති ආකල්පය වෙනස් කිරීම පිණිස වන නිශේධනාත්මක පැනවුම් (Paradoxical injunction) නම් මනෝ විද්‍යාත්මක න්‍යායට අදාලව සුපුනී දැනුවත් කරන මෙන් ඇගේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර තව වසරක් පමණ යනවිට දැනට ඇය පසු කරන ස්ථාවර ක්‍රියාකාරී අවදිය (Concrete operational stage) පසුවීමෙන් පසු ඇගේ මෙම සිතුවිල්ල බොහෝ දුරට පහව යනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කරයි 

සටහන - දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.