lakbima.lk

දෙනෙත් අඳුරුවන බවට වරින්වර මැසිවිලි නැගූ මවක්



මගේ ඇස් දෙක හොඳටම අන්ධකාරයි ළමයිනේ; මේ විදිහට ගියොත් හෙට අනිද්දා වෙනකොට මට මෙලෝ දෙයක් පේන්නේ නැතුව යයි
නිලංකාගේ මව මෑතක සිට වරින්වර එසේ පවසන්නට වූයේ පවු‍ලේ සියලු දෙනා දැඩි මානසික පීඩාවකට පත් කරවමිනි. මේ වන විට හැට වියෙහි පසුවන ඇය කලින් ඉතා කඩිසර ක්‍රියාශීලී කාන්තාවක් වූවාය. එහෙත් මීට වසරකට පමණ ඉහතදී සිදු වූ නිලංකාගේ පියාගේ මරණයෙන් පසු මවගේ ජීවිතය මුළුමනින් කණපිට හැරුණාක් මෙන් විය. ඉන්පසු ඇය විසින් ඊට පෙර සිදු කරන ලද නිවසේ කටයුතු මුළුමනින් අඩාල වූ අතර ඇය තුළ පැවැති කාර්යක්ෂමතාවය සේම ප්‍රියමනාප පෙනුම පවා එක්වරම අතුරුදන් වූවාක් මෙන් විය. ජීවිතයේ සියලු දේ සම්බන්ධයෙන් කලින් පැවැති උනන්දුව ඇය කෙරෙහි ගිලිහී තිබූ අතර කෑම - බිම සම්බන්ධයෙන් ඇය තුළ වූ උනන්දුවද ශීඝ්‍රයෙන් හීනවන බවක් හැඟිණ.
තම දෙනෙත කමෛන් අන්ධකාර වන බවත් අනාගතයේ දී තමන් මුළුමනින් අඳභාවයට පත්විය හැකි බවත් නිලංකාගේ මව නිතර කියන්නට වූයේ එවන් පසුබිමක් යටතේය.
කෙසේ හෝ ඇය මෙලෙස ප්‍රකාශ කළ මුල් අවස්ථාවේ දීම නිලංකා සිය සැමියාද සමග මව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කළාය. එවිට ඇගේ දෙනෙත පරීක්ෂා කළ වෛද්‍යවරයා ඉන්පසු ඇගේ ඇස් පෙනීම් මට්ටමද නිරීක්ෂණය කරන්නට විය. ඒ අනුව ඇය මතෛක් පැළඳි ලිවීම සහ කියැවීම සඳහා භාවිතා කරන උපැස් යුවල මාරු කිරීමට වෛද්‍යවරයා නිර්දේශ කළ බැවින් අප්‍රමාදවම එසේද සිදු කරන ලදී.
එහෙත් එසේ කිරීමෙන් මාසයකට හමාරකට පසුව නිලංකාගේ මව යළිත් තම දෙනෙත ශීඝ්‍රයෙන් අඳුරු පැහැ ගැන්වෙන බව කීමට පටන් ගත්තාය. නමුදු අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ඇය තුළ ඇස් පෙනීමේ විශේෂ දුබලතාවයක් නොමැති බව පැවසූ බැවින් ඇය නැවත වෛද්‍යවරයකු හමුවට පත් කළ යුතු නැතැයි යන්න නිලංකාගේ සැමියාගේ අදහස විය. එහෙත් ඒ පිළිබඳව අදහස් පළ කළ නිලංකාගේ මව කියා සිටියේ මෙම තත්ත්වය එම වෛද්‍ය පරීක්ෂාවෙන් පසු හටගත් එකක් බවය.
මෙලෙස දෙනෙත් අන්ධකාර වීමේ රෝගය සඳහා පාරම්පරික පීනස් වෙද මහතකු විසින් සිඳින ලද මහා බලගතු තෙලක් ඇතැයි යන්න නිලංකාට ආරංචි වූයේ ඔය අතරේය. එබැවින් ඇය තම සැමියාටද නොදන්වා මව එම වෙද මහතා සමීපයට කැඳවාගෙන ගියාය. එහිදී ඔහු විසින් ඇයට එම තෙල් වර්ගය ලබා දුන්නේ එම තෙල මගින් ඇගේ දෙනෙත්වල අඳුරු ස්වභාවය මුළුමනින්ම දුරුවන බවට සහතික වෙමිනි. එහෙත් ඇයට එම තෙලෙහි ගුණය දැනුණේද සති දෙක තුනක් පමණි. ඉන්පසු ඇය යළිදු තම දෙනෙතේ අඳුරු බව පිළිබඳව මැසිවිලි නගන්නට වූවාය.
මව නිරන්තරයෙන් සිදු කරනු ලබන මෙම පැමිණිල්ල කිසියම් අයහපත් මානසික තත්ත්වයක් නිසා හටගන්නා ලද්දක් බවට මුල්වරට අදහසක් පළ කරන්නට වූයේ නිලංකාගේ සැමියා විසිනි. ඒ අනුව මව මනෝ වෛද්‍යවරයකු හමුවට පත් කළ යුතුය යන සැමියාගේ යෝජනාවට මුලදී නිලංකා අකමැති වූ අතර පසුව කැමති වූයේ සිය මව උපක්‍රමශීලීව මනෝ වෛද්‍යවරයකු මුණගැස්වීමට ඔහුගේ එකඟත්වය ලබා ගැනීමෙන් පසුවය. මෙහිදී පළමුව නිලංකා තම සැමියා ද සමග මනෝ වෛද්‍යවරයා මුණගැසුණු අතර එහිදී මවගේ සම්පූර්ණ රෝග තත්ත්වය වෛද්‍යවරයා හමුවේ අනාවරණය කළාය.
කෙනෙක් මොකක් හරි කායික රෝග ලක්ෂණයක් පළ කරනවා නම් ඉස්සර වෙලා කායික වෛද්‍යවරයකු ලවා පරීක්ෂාවක් කෙරෙනවා. ඊට පස්සේ ඒ වෛද්‍යවරයා මගින් අවශ්‍ය නම් තමයි මනෝ වෛද්‍යවරයා වෙත රෝගියා යොමු කෙරෙන්නේ මොකද සමහර රෝග සම්බන්ධයෙන් මූලිකව කායික වශයෙනුත් දෙවැනිව මනෝ වෛද්‍යමය වශයෙනුත් ප්‍රතිකාර අවශ්‍ය නිසා වෛද්‍යවරයා කීය.
මෙතැනදී අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා මේ අම්මාට ඇසේ සැලකිය යුතු රෝගයක් නැහැ කියලා නිර්දේශ කළාට; මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා නැත්තේ වෛද්‍යවරයා ඒ රෝග ඉතිහාසය ගැන දැනුවත් නොවුණු නිසයි කී මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
ඇස් පෙනීම සම්බන්ධයෙන් කායික වගේම මානසික තත්ත්වයනුත් බලපානවා; දැඩි මානසික පසුබැසීමක්, පීඩාවක් වගේ තත්ත්වයන් වලදී ඇතිවන විඝටනය (ඤඪඵඵධජඪචබඪධද) කියන මානසික අර්බුදවලදී කෙනෙකුට තමන් ගේ ඇස් පෙනීම අඩුවෙලා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම අඩුවෙන්නත් පුලුවන් වෛද්‍යවරයා එසේ කී විට  එහෙම ඇත්තටම ඇස් පේන්නේ නැතිනම් ඒක කායික රෝගයක් නේද? ඩොක්ට යනුවෙන් නිලංකා අසන ලද්දේ ඒ පිළිබඳව හටගත් කුතුහලයකිනි.
කායික රෝග ලක්ෂණ
පළ කළාට ඒකට හේතුව මානසික ගැටුමක් අර්බුදයක් වෙන්න පුලුවන්, ඒ වගේ ගැටුම් අර්බුද කායික වේදනා, කායික රෝග පීඩා විදිහටත් එළිදක්වන අවස්ථා තියනවා. ඒවට කියන්නේ දේහීකරණ ආබාධ (ඉධථචබඪලචබඪධද ඤඪඵධපඤඥපඵ) කියලා කී මනෝ වෛද්‍යවරයා මවගේ මෙම මානසික බිඳ වැටීම සහ පියාගේ මරණය අතර කිසියම් සබැඳියාවක් තිබේද යන්න ඇය වෙතින් අසා දැනගත යුතු බව කීයේ ඇතැම් විටෙක අසාමාන්‍ය වියෝ රෝග (ඒඡදධපථචත ඨපඪඥට) තත්ත්වයක් නිසාද මෙවැනි තත්ත්වයක් හටගත හැකි නිසාය.
අවුරුදු ගණනක් තිස්සේ තමන්ට අතිශය හුරුපුරුදු සහකරුවා වෙන්වීම වගේම හුරුපුරුදු ජීවන රටාව බිඳ වැටීම වගේ දේවල් නිසා පස්සේ එළැඹෙන අලුත් තත්ත්වයන්ට මුහුණ දෙන්න බැරිවීම හින්දත් සමහරු මානසික අර්බුදවලට ලක්වෙනවා.
මනෝ වෛද්‍යවරුන්ට ඒවාත් වෙනම හඳුනා ගන්න පුලුවන් එසේ කී වෛද්‍යවරයා මෙම ඇස් පෙනීමේ වෙනස්කම් ඇති වන වේලාවන් හි ස්වභාවය සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් ද එහි මනෝ මූලික ස්වභාවය විශ්‍ලේෂණය කළ හැකි බව පැවසීය.
ඔය සමහර ආගමික කණ්ඩායම් අන්ධයන්ට පෙනීම ලබා දෙනවා වගේ ප්‍රචාරය කරන්නේ ඔය වගේ මානසික පසුබෑම් නිසා ඇස් පෙනීම දුර්වල අයට දේව බලය විදිහට හුවා දක්වමින් මානසික උද්දීපනයක් ලබා දීමටයි. ඒ වගේ අයට ඒ වගේ උද්දීපනවලින් යම් සුවයක් ලැබෙන්න පුලුවන්. නමුත් ඒ සුවය තාවකාලිකයි. අපි ඒවා හඳුන්වන්නේ ආගමික මනෝ චිකිත්සාවන් (ඉනඪපඪබභචත නඵරජඩධබඩඥපනර) විදිහටයි. මේවා ලෝකයේ බොහෝ ආගම්වලට ‍පොදු දෙයක්. නමුත් නූතන මනෝ වෛද්‍ය විද්‍යාත්මකව සිදු කෙරෙන ප්‍රතිචාර සහ චිකිත්සක ක්‍රමවලින් ඊට වඩා සාධනීය ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. එසේ කී මනෝ වෛද්‍යවරයා එම මව ප්‍රකාශ කරන දෙනෙතේ අන්ධකාර ස්වභාවයට මුල්වන කායික රෝගයක් නොමැති බව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු විසින් ලිඛිතව සනාථ කළ පසු  ඇය සඳහා මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දිය හැකි බව පවසා සිටියේ එම මව කැඳවා ඒ පිළිබඳව ඇයටද කරුණු පැහැදිලි කොට ඒ වනවිට වැළඳී තිබූ විශාද තත්ත්වයට (ඤඥනපඥඵඵඪධද) ඖෂධ
ප්‍රතිකාරද නියම කරන අතරේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ
රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය
රූමි රූබන්
අවධාරණය කරයි
සටහන
දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.