lakbima.lk

තමන්ගේ ලොකුකම් ගැන අතේ පැළවෙන බොරු කී තරුණයෙක්

“අපි මේ ගෙවල් දොරවල් විකුණලා දාලා වෙන කොහේ හරි පදිංචියට යමු; මල්ලී පාරවල්වල මිනිස්සුත් එක්ක කියන කතා හින්දා මගෙත් ලජ්ජාවේ පණ යනවා; ඊයේ හවස අතන ගේ‍රාසරිය ළඟදී මල්ලි කට්ටියක් එක්ක කිව්වලු අපි ගිය සුමානේ අලුතින් හයිබ්‍රිඩ් කාර් හතරක් අරගෙන ටුවරිසම්වලට දැම්මා කියලා. දැන් මට ගේ‍රාසරියේ කොල්ලා හිනාවෙවී කියනවා මටත් එයින් එක කාර් එකක් ඉල්ලා ගන්නලු වැඩට යන්න; ඒක අහපු එතැන හිටපු අනිත් කොල්ලොත් මහ හයියෙන් හිනාවුණා අම්මේ”
රැකියාව නිමවා නිවසට පැමිණි සදේවිකා තම මව හමුවේ එසේ අවලාද නැගුවාය.
“ඔයා දන්නවනේ දුවේ ඉතින් මල්ලිගේ හැටි; එයා ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැතුව ඔහේ කටට එන එන දේවල් කියන කෙනෙක් කියලා; ඉතින් ඔයා ඒක ඒ මිනිස්සුන්ට කියන්න; වෙන මොනවා කරන්නද?” සදේවිකාගේ මව කීයේ බලවත් කණස්සල්ලෙනි.
“එහෙම කියලා බැහැනේ අම්මේ; මේක මොකක් හරි බරපතළ මානසික රෝගයක් වෙන්න බැරිද? ඒ හින්දා අපි මල්ලිව මනෝ වෛද්‍යවරයෙක් ළඟටවත් එක්ක යමු. එතකොට එයාගේ ඔය බහුබූත කියවන එක ටිකක් හරි අඩුවෙන්නේ නැතැයි. අනික මේක එයා හැමදාමත් කරන දෙඩවිල්ලක්නේ”
සදේවිකා කීවාය. ඇගේ මලනුවන් මුල්වරට මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද්දේ පවු‍ලේ සෙසු සාමාජිකයන් අතර ද ඇතිවූ ඒ සම්බන්ධ ‍පොදු එකඟතාවකින් පසුවය.
සදේවිකාගේ මලනුවන් තුළ පවතින එම අසාමාන්‍යතාව පිළිබඳව ඇගේ මව වෙතින් මූලිකව කරුණු විමසා දැනගත් මනෝ වෛද්‍යවරයා පසුව ඔහු සමගද වෙනම කතාබහක යෙදුණි. ඉන්පසු සදේවිකා සහ ඇගේ මව හමුවේ වෛද්‍යවරයා මෙසේ කීය.
“අපි හැම කෙනෙක්ම ප්‍රකෘති ලෝකයේ ජීවත් වුණත් හැම කෙනෙක් තුළම යම් යම් ප්‍රමාණ වලින් සිහින සහ මායාවන් (ච්පඥචථඵ චදඤ ජ්චදබචඵඪඥඵ) තියනවා මෙතන සිහින කියන්නේ නින්දේදී  දකින සිහිනවලට ‍නෙවෙයි. කවදා හරි සැබෑ කර ගන්න හිතන ප්‍රාර්ථනාවලට. ඒත් මායා එහෙමත් නැත්නම් ‘ෆැන්ටසි’ කියන ඒවා ප්‍රකෘති ලෝකයේ දී සැබෑ කරගන්න බැහැ. නමුත් අපි තුළ එහෙම ‘ෆැන්ටසිත්’ තියනවා. සැබෑ කර ගන්න බැරි වුණාට ඒ ‘ෆැන්ටසි’ හරිම ආශ්වාදනීයයි. අනික අපේ මානසික විඩාවත් නිවනවා.”
“නමුත් ඩොක්ට, මෙයා ඒ වගේ හැබෑ කර ගන්න බැරි විකාර දේවල්මනේ දොඩවන්නේ” සදේවිකා මනෝ වෛද්‍ය වරයාට කීය.
“ඒක තමයි. අපි හොඳටම දන්නවා; හැම පුංචි ළමයෙක්ම වගේ තමන් තුළ තියන සිහින ගැන වගේම ‘ෆැන්ටසි‘ ගැනත් අනික් අය එක්ක කියනවා; ඒත් වැඩිවියට පත්වීමත් එක්ක මොළය ඓන්ද්‍රීය වශයෙන් වැඩෙනකොට ඒ ‘ෆැන්ටසි’ තමන්ගේ සිත් ඇතුලෙම හිර කරගෙන තියා ගන්නවා. එහෙම නැත්නම් ඒවා නිර්මාණාත්මක පරිකල්පනත් එක්ක එකතු කරලා කලා මාධ්‍යයකින් එළිදක්වනවා. ඒක සමහර අය තුළ තියන දක්ෂතාවයක්. නමුත් සමහර කෙනකු වයසින් මුහුකුරා ගියත් ඒ ‘ෆැන්ටසි’ සිත තුළ ක්‍රියත්මක වෙනවා විතරක් ‍නෙවෙයි තමන්ගේ හිතේ තියන ඒ හැඟීම් ආවේග අනික් අය එක්කත් කියන්න පෙළඹෙනවා. ඒ තත්ත්වය හැඳින්වෙන්නේ මනැස් සෘෂ්ටික ප්‍රලාපතාව කියලා. මෙතන තියෙන්නෙත් ඒ වගේ තත්ත්වයක්” වෛද්‍යවරයා කීය.
“එතකොට ඩොක්ට, මේක මානසික රෝගයක්ද?” සදේවිකාගේ මව ඇසුවේ නොඉවසිල්ලෙනි.
“නැහැ මේ වගේ තත්ත්වයන් මානසික රෝග හැටියට හඳුන්වලා දෙන්න බැහැ. නමුත් මෝහාබාධ අතරේ තියන අභිමාන මෝහය  වගේ මානසික රෝගවලදීත් මේ විදිහට පමණ ඉක්මවා තමන් ගැන සිතීම කතා කිරීම දකින්න පුළුවන්; ඒ වගේම  මන්ද ක්ෂිප්තතාව  ක්ෂිප්තතාව වගේ රෝගවලත් ඒ ලක්ෂණය දකින්න පුළුවන්. නමුත් මේක ඒ වගේ රෝගයකට වඩා වෙනස් පෞරුෂ අර්බුදය  ගණයට වැටෙන තත්ත්වයක් විදිහටයි විස්තර කෙරෙන්නේ. ඒ අනුව මෙයා මානසික රෝගියෙක් හැටියට හඳුන්වන්න මට කොහොමවත් බැහැ.” වෛද්‍යවරයා කීය.
“මොකක්ද ඩොක්ට, එතකොට ඔය දෙක අතරේ තියන වෙනස” සදේවිකා ඇසුවේ ඒ සම්බන්ධයෙන් හටගත් කුතුහලය නිසාමය.
ඒ වගේ මානසික රෝග තියන අයගේ ප්‍රකාශ බොහෝ වෙලාවට අස්වාභාවිකයි. මේ වගේ මානසික අර්බුදයක් තියන කෙනෙක් කිව්වොත් මට දෙනියායේ අක්කර පනහක  තේ වත්තක් තියනවා කියලා අර වගේ රෝගයක් තියන කෙනෙක් කියන්න පුලුවන්. මුළු ලෝකෙම තියන ඔක්කොම තේ වතු, මගේ කියලා ඒ වගේම ක්ෂිප්තතාව වගේ මානසික රෝග තියන අයගේ හැඟීම් ආවේග එකාකාර නැහැ. වරින් වර ඉහළ පහළ යනවා. නමුත් මේ අයගේ හැඟීම් ආවේග ඒකාකාරීවම තියනවා; තුන්වන කාරණය අභිමාන මෝහය වගේ මානසික රෝග තියන අයගේ මෝහය බොහෝවිට එකම කාරණයක් මත පදනම් වෙනවා. උදාහරණයක් හැටියට තමන් ඇමරිකානු ජනාධිපතිගේ යාළුවෙක් හැටියට සමාජයේ පෙනී ඉන්න ඒ අය ඒ මතය ඉවත් කර ගන්නේ නැහැ. නමුත් මේ අයට එහෙම ස්ථාවර එක මතයක් නැහැ. තමන්ගෙ හිතේ තියන හැම ෆැන්ටසියක්ම කිසිම වග විභාගයකින් තොරව ඔහේ වචනවලට නංවනවා” කී මනෝ වෛද්‍යවරයා “තමන් කියන දේවල් මුල් කරගෙන ඔයා කා එක්කවත් ගැටුම් ඇතිකර ගන්නේ නැහැ නේද?” යනුවෙන් සංදේවිකාගේ මල නුවන්ගෙන් ඇසීය.
එවිට ඔහු “නෑ ඩොක්ට”, යනුවෙන් කීයේ සිනාසෙමිනි. “අන්න ඒක තමයි මෙයා මානසික රෝගියෙක් නොවන බව තහවුරු කරන්න පුලුවන් හතරවෙනි කාරණය” මානසික රෝගීන් ගැටුම්කාරීයි මේ අය එහෙම අනවශ්‍ය ගැටුම්වලට යොමුවෙන්නේ නැහැ බොහෝ විටම සාමකාමියි” මනෝ වෛද්‍යවරයා කීය.
කෙසේ හෝ මෙබඳු පෞරුෂ ආබාධවලින් පෙළෙන්නවුන් තුළ එම ලක්ෂණ දැකිය හැක්කේ ජීවිතයේ නව යොවුන්, යොවුන් සහ මැදිවියේ දී පමණි. ඊට හේතුව තමන් විසින් කරනු ලබන සිහින මායා මත පදනම් වන ප්‍රකාශ නිසා සමාජයෙන් නිරන්තරයෙන් එල්ලවන ප්‍රතිරෝධය පිළිබඳ හැඟීමක් වියපත්වත්ම මොවුන්ගේ මනැස තුළ සටහන්වීමය. ඒ අනුව ඔවුහු බොහෝවිට තමන්ගේ සිත තුළින් පිබිදෙන මෙවන් ‘ෆැන්ටසි’ ප්‍රලාපයක් බවට පත් කර නොගනිති. ඒ අනුව තමන්ගේ එම ප්‍රකාශවල ඇති අස්වාභාවිකත්වය ඔහුටම ඒත්තු ගන්වන තරමට ඔහු එම අස්වාභාවික කතා කීම සීමා කරනු ඇතැයි කී වෛද්‍යවරයා විසින් තමන් තුළ පවත්නා “ෆැන්ටසි”ය සහ යථාර්ථය අතර ඇති වෙනස වටහා ගත හැකි ඥානක චර්යාත්මක චිකිත්සාවන් ද සංදේවිකාගේ මලනුවන්ට හඳුන්වා දෙන ලදී.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි

සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.