lakbima.lk

සැමියා අමතක කොට ෆේස්බුක් හා තනිවූ තරුණ බිරිඳක්

ධනවත් ව්‍යාපාරික පවුලක එකම දියණිය වූ මාධවී විවාහ වන ලද්දේ වැදගත් වෘත්තියක නියුතු තරුණයෙකු සමඟිනි. විවාහ වන විට 23වන වියේ පසුවූ මාධවී උසස් පෙළ විභාගයෙන් පසුව නිවසේ හුදකලා දිවිපෙවෙතකට හුරුවී සිටි තරුණියකි. විවාහයෙන් පසු තම සැමියාගේ මහගෙදර පදිංචියට පැමිණි මාධවී කෙරෙන් සැමියාගේ මව සහ විවාහයෙන් වෙන් වී මහ ගෙදර පදිංචියට පැමිණ සිටින වැඩිමල් සොයුරිය සුවිශේෂී වෙනසක් දුටුවහ.

එනම් උදේ යහනින් පිබිදුණු මොහොතේ සිට රාත්‍රි නින්දට යන තුරුම ඇගේ සුරතේ ජංගම දුරකථනයක් රැඳී තිබීමය. මාධවී එය භාවිතා කරන ලද්දේ දුරකතන ඇමතුම් ලබා ගැනීම පිණිස නොවේ. ඒ තුළින් සමාජ ජාල වෙබ් අඩවියක් හා සම්බන්ධ වීමටය.

ඒ පිළිබඳව මුලදී කරුණු විමසු නැන්දම්මාට සහ නෑනාට මාධවී කියා සිටියේ ‘මම ෆේස්බුක් එකේ’ යනුවෙනි.

එහෙත් නැන්දම්මා හෝ නෑනන්ඩිය ෆේස්බුක් වෙබ් අඩවිය පිළිබඳ වටින් ගොඩින් අසා තිබුණා මිස ඒ පිළිබඳ වැඩිදුර යමක් දැන සිටියේ ද නැත.

මාධවී සැමියාගේ මහගෙදර පදිංචියට පැමිණ මාස දෙකක් යන විට ඇගේ මෙම ෆේස්බුක් භාවිතය නැන්දනියට සහ නෑනන්ඩියට හිසරදයක් විය. ඊට හේතුව දුරකතනය දෙස ඇසිපිය නොහෙලා බලාගත් අතම එහි බොත්තම් ඔබන මාධවීට අවට සිදුවන කිසිදු දෙයක් ගැන කිසිදු හැගීමක් නොතිබීමය.

ඇතැම් විට නැන්දනිය හෝ නෑනන්ඩිය නම කියා කතා කළද මාධවීගේ අවධානය ඒ වෙතට යොමු නොවීම ඔවුනට මහත් හිසරදයක් විය. ඇතැම් විට ඇය එවිට සිදුකළේ තමන් යෙදෙන කාර්යයේම යෙදී සිටිමින් ‘හ්ම්‘ කියා නිහඬවීම පමණි.

මේ නිසා ගෙදර දොර කිසිදු වැඩකට මාධවී සම්බන්ධ කර ගැනීමට ද ඔවුනට නොහැකි විය.

කෙසේ හෝ මාධවීගේ මෙම අසාමාන්‍ය පුරුද්ද පිළිබඳ ඇගේ නැන්දම්මා සහ නෑනන්ඩිය ඇගේ සැමියා දැනුවත් කළේ එය ඔවුන්ගේ පවුල් ජීවිතයටද අහිතරකර ලෙස බලපෑ හැකි බව කියමිනි. ඒ අනුව පසුකාලීනව මාධවීගේ සැමියා තමන් නිවසේ සිටින විට ඇයට දුරකථන ඇල්ලීම පවා තහනම් කරන ලද්දේ තම මවගේ සොයුරියගේත් බසට අවනත වෙමිනි.

‘මෝඩ ගෑනුන්ගේ කතා අහලා ඔයත් මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා. අනික මම ෆේස්බුක් හිටියම එයාලට තියෙන අමාරුව මොකක්ද? ඕන නම් ඔයත් ඕන වෙලාවක මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න මම නරක වැඩක් කරනවද කියලා. මේ මිනිස්සු හිතන්නේ මම ෆේස්බුක් එකෙන් මිනිස්සු හොයනවා කියලා වෙන්න ඇති‘.

පසුව මාධවී තම සැමියාට එලෙස චෝදනා කළාය. එහෙත් තමන් නිවසේ සිටින විට තමන් හා සුහදව කතා බස් කිරීමට සේම ගෙදර දොර කටයුත්තක යෙදීමට මාධවී තුළ නොමැති උනන්දුවක් ෆේස්බුක් භාවිතයට ඇති බව සැමියාට ද කෙමෙන් වැටහුණි.

එමෙන්ම තමන් නිවසේ සිටින විට ඇය ජංගම දුරකතනය අත තබා හිදීම තම මවගේත් සොයුරියගේත් දෝෂ දර්ශනය තමන් වෙතද එල්ල වීමට හේතුවක් බව සැමියාට වැටහුණි.

එනිසාම දිනක් තමන් ගැන නොතකා මාධවී ජංගම දුරකනයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය හා සම්බන්ධ වී හිදිනු දුටු සැමියා දුරකතනය ඇගෙන් උදුරා පොලොවේ ගැසීය.

පසුව ඔහුට දැන ගන්නට ලැබුණේ එය විදේශ ගත ඥාතිවරියගෙන් ඇයට ලැබුණු සමරු තිළිණයක් බවය. කෙසේ හෝ සිදු වූ අත්වැරුද්ද සලකා ඒ මොඩලයේ වෙනත් දුරකනයක් ඇයට ලබා දීමට සැමියා ගත් උත්සාහය ද සාර්ථක වූයේ නැත. ඒ ඇය වෙනත් දුරකනයක් ලබා ගැනිම තරයේම ප්‍රතික්ෂේප කළ බැවිනි.

ඉන් පසු නිවසේ එදිනෙදා සියළු කටයුතු සේම කෑම බීම පවා ප්‍රතික්ෂේප කළ මාධවී මුළු දවස තිස්සේම යහන මතට වී අඩා වැටෙන්නට වූයේ එම නිවසේ කිසිම කෙනෙකු හා කතා බස් කිරීමෙන්ද වැළෙකෙමිනි.

එහි අවසන් ප්‍රතිථලය වූයේ මාධවීගේ දෙමාපියන් පැමිණ නැවත ඇය තම නිවසට කැඳවාගෙන යෑමය.

මාධවී මනෝවෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලද්දේ ඇගේ ජීවන රටාවේ සිදුවූ පැහැදිලි වෙනස් කම මුල්කොට ගනිමිනි. එහිදී පලමුව ඇගෙන් සහ දෙවනුව ඇගේ සැමියාගෙන් කරුණු විමසු මනෝවෛද්‍යවරයා මාධවී සමාජ ජාල ඇබ්බැහියාව (social media addiction) නම් තත්වයට පත්ව ඇති බව පළමුව අනාවරණය කළේය. ජීවිතයේ නව යොවුන් වියත් සමඟම බාහිර සමාජය ඇසුරු කිරීමට විවෘත හැකියාවක් නොතිබූ මාධවී ඒ සඳහා යොදාගෙන තිබුණේ අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි පරිහරණයයි.

එහිදී ඇගේ එම අවශ්‍යතාවය සැලකිය යුතු තරමට සංතෘප්ත වූ අතර එමගින් ඇය හුදකලාවේම සමාජ ගත දිවියකට අවතීර්ණව සිටියාය. ඒ හුදෙක් තමන්ගේ පාළුව තනිකම මැඩගැනීම පිණිසය. පසුව එම තත්වය ඇබ්බැහියාවක් බවට පත්වූයේ ඇයද නොදැනුවත්මය.

විවාහයෙන් පසුව වුව තම නැන්දණිය සහ නෑනන්ඩිය වෙතින් තම මානසික අවශ්‍යතා සංතෘප්ත නොවීම මත ඇය තවදුරටත් සමාජ ජාල වෙබ් අඩවි හා සම්බන්ධ වෙමින් තම පාළුව තනිකම දුරු කර ගැනීමට ක්‍රියා කළාය. එහි දී පලමුව ඇගේ නැන්දණිය සහ නෑනන්ඩිය ඇගේ එම ක්‍රියාවට සෘජු විරුද්ධත්වය පළ කිරීම නිසා ඇය මානසික ආතතියකට පත් වූවාය. එහෙත් එම ආතතියෙන් අත්මිදීම සඳහා ඇය සතුව තිබූ එකම උපාය මාර්ගය වූයේ ද සමාජ ජාල වෙබ් අඩවි හා සම්බන්ධ වීමය.

ඉන් පසු මාධවීගේ සැමියා ඇගේ මෙම කාර්ය දැක තිබුණේ තම මව සහ නැගණිය සිත තුළට පිවිසවූ අදහස් පෙරදැරි කර ගනිමිනි.

ඒ අනුව ඇගේ එම කාර්ය එක්වර නතර කළ නොහැකි නම් එය සීමා කිරීමට උත්සාහ නොකළ ඔහු මාධවීගේ එම කාර්යට දැඩි සේ විරුද්ධවීම මත ඇය තව දුරටත් මානසික ආතතියට පත්විය.

එහෙත් ඉන් අත්මිදීම සඳහා වන එකම විකල්පය වුයේද තව දුරටත් සමාජ ජාල වෙබ් අඩවි කෙරෙහි යොමු වීම පමණි. මෙය හැදින්වෙන්නේ coping mechanism යනුවෙනි. මෙහිදී එසේ යොමුව සිටින අතරේ සැමියා මාධවී ගේ අතෙහි වූ ජංගම දුරකතනය උදුරා පොලොවේ ගැසීම ඇය තුළ ප්‍රබල මානසික කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබිණි.

ඉන් පසු එම දුරකතනය තමන්ට අහිමි සම්පතක් සේ සැළකූ ඇය එම සම්පත නොමැතිවීම මුල් කොට වියෝප්‍රතිචාර (grief reaction) දැක්වීමට පටන්ගත්තාය. මාධවීගේ සාමාන්‍ය දිවි පෙවෙත මුළුමනින් බිඳවැටී ඇය විශාද තත්වයට පත්ව සිටියේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ හෝ මෙම තත්වය මුල් කොට මාධවී හට ඥාණක චාර්යාත්ම චිකිත්සා (cognitive behavioral therapy) ලබා දුන් මනෝ වෛද්‍යවරයා ඇය කැමති ආකාරයට නවීන ජංගම දුරකනයක් ලබා දෙන ලෙස ඇගේ සැමියාට උපදෙස් දුන්නේය. එමෙන්ම අගේ මෙම සමාජ ජාල ඇබ්බැහියාවට හේතුව ඇගේ ජීවිතයට අවශ්‍ය සතුට සැනසුම විනෝදය ලැබීමට නිසි මං පෙතක් නොමැතිවීම බව පැවසු වෛද්‍යවරයා මාධවී ගේ රුචිය මත ඇය ප්‍රිය කරන වෙනත් විනෝදාංශ කෙරෙහි ඇය සම්බන්ධ කරවන ලෙසට වැඩි දුරටත් දන්වා සිටියේය. එවිට ඇගේ මෙම ෆේස්බුක් ඇබ්බැහියාව ක්‍රම ක්‍රමයෙන් ඇය කෙරෙන් දුරුවී එය සාමාන්‍ය භාවිතයක් බවට පත්වනු ඇතැයි ද මනෝවෛද්‍යවරයා කීය.

එමෙන්ම තමන් හටද ෆේස්බුක් ගිණුමක් තිබේ නම් ඊට එක් වීමට මාධවීට ඉඩ සලසන අතරේ මාධවීගේ ෆේස්බුක් ගිණුමට හැකි අයුරින් සම්බන්ධ වන ලෙස ඇගේ සැමියාට උපදෙස් දුන් මනෝවෛදවරයා තම පවුල් ජීවිතයේ පැන නගින ගැටළු අර්බුද දෙස අනුන්ගේ කෝණ වලින් නෙබලා තමන්ගේ කෝණ වලින් බලන ලෙස මාධවීගේ සැමියා දැනුවත් කරන ලදදේ මාධවීට විශාද විරෝධී ඖෂධ (anti depression medicine) නියම කරන අතරේය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්  අනාවරණය කරයි

සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.