lakbima.lk

වසර හතක යුද්ධයෙන් පසු 1962දී ප්‍රංශයෙන් නිදහස ලැබූ ඇල්ජීරියාවේ දැන් වසර විස්සක් තිස්සේ සිටින්නේ අමුතු ජනාධිපති කෙනෙකි.අබ්දෙලාසිස් බුටෙෆ් ලිකා වැනි කියන්නට අපහසු නමක් තිබෙනවා මදිවාට මේ ජනාධිපති 2013 වසරේ හෘදයාබාධයක් වැළඳීමෙන් පසු දකින්නට ලැබෙන්නේද කලාතුරකිනි.

අවසන් වරට ඔහු ජාතිය අමතා ඇත්තේ 2014 වසරේය. ඉන්පසු රටට එන රාජ්‍ය අමුත්තන් හමුවන ජනපතිවරයාව රූපවාහිනියෙන් ඉඳහිට ජනතාවට දැකගන්නට ලැබිණි. උදරයේ පිළිකාවක් හා පසුව හෘදයාබාධයක් නිසා ඇතිවූ රෝගි තත්ත්වය හේතුවෙන් හරිහැටි කතා කරන්නට හෝ ඇවිදින්නටද නොහැකි ඔහු 2016 වසරේ දිනයක රෝද පුටුවෙන් යන ආකාරය නැවත ජනතාවට රූපවාහිනියෙන් දැකගන්නට ලැබි තිබේ. මේ වනවිට දික්කසාද වී සිටින බව කියන ඔහු විවාහ වූයේ 1990දී බව කියැවුණද එම වසරද විවාදාත්මකය.

මේ වන විට ධුර කාල හතරක් රට පාලනය කොට ඇති ජනපතිවරයා පස්වැනි වතාවටත් ජනපති පදවියට පත්වන්නට ගත් උත්සාහය ජනතාවගේ විරෝධය නිසා පසුගියදා වැළකී ගියේය. එසේ නොවන්නට ලබන අප්‍රේල් දහඅටවැනිදා පවත්වන්නට නියමිත ජනපතිවරණයට ඔහු ඉදිරිපත්වන්නට සිටියේය. තම ජනපතිවරයාට තවදුරටත් රට පාලනය කරන්නට බැරි බව දන්නා ජනතාවට ඔහු ගත් තීරණය ඇදහිය නොහැකි විය.

රෝගී තත්ත්වය කොතෙක්ද යත් ඔහු ජනපතිවරණ නාමයෝජනා බාරදීමට නොපැමිණි අතර තම නියෝජිතයෙකු එව්වේය. ඒ බව සැලවී මෙන් රට පුරා ජනපති විරෝධී උද්ඝෝෂණ ඇතිවූ අතර ඊට ප්‍රධාන හේතුව ඔහුගෙන් පසු ජනපති තනතුරට පත්කළ  හැකි අයෙක් පේනතෙක් මානයක නැති වෙද්දී හදිසියේ තනතුර හොබවන අතර ඔහු මියගියහොත් රට අස්ථාවර වනු ඇතැයි යන බියය. කඩ සාප්පු වසා දමා දහස් ගණනින් ජනතාව විදියට බසිද්දී ගමනාගමන කටයුතුද ඇන හිටියේය. ජනපති මැදුර වෙත එන උද්ඝෝෂකයන් පළවාහරින්නට කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද ‍පොලීසියට සිදුවිය. දෙසීයක් පමණ අත්අඩංගුවට ගන්නා ලදී.


 මෙය එරට ජනපතිවරයෙකුට විරුද්ධව පැවැත්වු විශාල තම උද්ඝෝෂණය වූ අතර රට තුල විවිධ නිලතල දරන පුද්ගලයන්ගෙන් ඒ සදහා සහය ලැබිණි. තත්ත්වය දිනෙන් දින උග්‍රවු අතර ජනපතිවරයාගේ පක්ෂයේ ඇතැමුන් ද තනතුරුවලින් ඉල්ලා අස්වී ඊට සහයෝගය දැක්විය.තමා මෙවර බලයට පත්වුවද නියමිත කාලයට පෙර තනතුරින් ඉල්ලා අස්වන බව ජනපතිවරයා කියා සිටියද එය පිළිගැනීමට ජනතාව මැලිවූ අතර මේ කලබල නතරවූයේ තමා පස්වැනිවරට ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ස්විට්සර්ලන්තයේ රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා සිය රට පැමිණි ජනපතිවරයා පවසා සිටීමෙන් පසුවය.

ඒ වනවිට ජනපතිවරයා සිටින තැනක් ගැන ජනතාව දැන නොසිටි අතර අදාළරෝහ‍ලේ ඔහු සිටින බව වාර්තා වීමෙන් පසු ඒ ගැන හරියාකාරව දැනගැනීමට දිනක් තුළ එම රෝහලට එක්දහස් පන්සියයකට වැඩි දුරකථන පණිවුඩ ලැබුණු බව කියැවෙයි.    


 ජනපතිවරණය කල්දැමූ බවත්, මීළඟට එය පැවැත්වෙන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත්, ඉදිරි දිනවල කැබිනට් ඇමැති තනතුරුවල වෙනසක් සිදුකරන බවත් ජනපතිවරයා නිවේදනය කොට තිබිණි. මෙම ප්‍රකාශයෙන් පසුවද කලබල දිගටම පැවතුණේ ජනපතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත්නොකිරීම හේතුවෙනි.

එමෙන්ම ජනපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති. කෙසේ වුවද ජනපතිවරණය පවත්වා නව ජනපතිවරයෙක් පත්කර ගන්නා තුරු බුටෙෆ්ලිකා තම තනතුරින් ඉවත්වන බවක් පෙනෙන්නේ නැත. මේ වන විට එරට අගමැතිවරයා නම් ඉල්ලා අස්වී තිබේ.


වත්මන් ජනපතිවරයා වසර විස්සක් හා ඉන් වසර හයක් පමණ කලාතුරකින් පෙනී සිටිමින් ඇල්ජීරියාව පාලනය කළේ කෙසේද? උතුරු අප්‍රිකාවේ පිහිටි ඇල්ජීරියාවේ අගනුවර ඇල්ජියර්ස්ය. මෙරට තවත් විශේෂත්වයක් වන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මෙන්ම රාජ්‍ය නායකයන්ට එරට පාලනය කිරීමේ බලයෙන් සුළු කොටසක් හිමිවෙද්දී එසේ තේරී පත්නොවූ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසකට හා ඉහළ හමුදා නිලධාරීන්ට රට පාලනය කිරීමේ බහුතර බලයක් හිමිවීමය.

මෙම පිරිස බලය යන අරුත ඇති පවර් ලෙස හැඳින්වෙයි. වෙනකක් තබා ජනපති හා අගමැති ලෙස කවුරුන් තෝරාපත් කර ගත යුතුදැයි තීරණය කරන්නේද ඔවුන්ය. ඒ අතරිනුත් වඩාත්ම බලගතු පුද්ගලයා වන්නේ බුද්ධි අංශ ප්‍රධානියාය. කෙසේ වුවද මෙම බලය හිමි හමුදා ජනරාල්වරු කිහිපදෙනෙක් පසුගිය කාලයේ මියයාමෙන් පසු බුටෙෆ්ලිකා කළේ තමාට හිතවත් පුද්ගලයන් එම තනතුරුවලට පත්කොට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ජීවතුන් අතර සිටිනතුරු තමා ජනපති තනතුරට තෝරාපත් කරගත හැකි ලෙස වෙනස්කම් සිදුකිරීමය.

එයට පෙර එක් ජනපතිවර යෙකුට පත්විය හැකිව තිබුණේ දෙවරක් පමණකි. ඒ අනුව පස්වන වතාවටත් තමා තෝරාපත්කර ගැනීමට ගත් තැත ජනතා විරෝධය හේතුවෙන් වැළකී ගියේය.එරට ප්‍රධානියා හා හමුදාවේ ප්‍රධානියාද වන ජනපතිවරයා තෝරාපත් කරගනු ලබන්නේ වසර පහක කාලයකටය. මේ වනවිට උද්ඝෝෂකයන්ගේ ප්‍රබල ඉල්ලීමක් වන්නේ හමුදාව තවදුරටත් ඇල්ජීරියාවේ දේශපාලනයට අත නොදැමිය යුතුය යන්නයි. ජනතා කැමැත්තට අත නොදමා හමුදාව තමන්ට අයිති රාජකාරිය පමණක් කළයුතු බව ඔවුහු වැඩිදුරටත් පවසති.

එරට පාලක පක්ෂය වන නැෂනල් ලිබරේෂන් ෆ්රන්ට් හි ප්‍රධානියා වන්නේද වත්මන් ජනපතිවරයාය. පසුගිය මහ මැතිවරණයේදී ආසන තුන්සිය තිස්අටෙන් දෙසිය විසිඑකක්ම දිනාගනු ලැබුවේ එම පක්ෂය විසිනි. ඇල්ජීරියාවේ පසළොස්වන ජනපතිවරයා වන අබ්දෙලාසීස් බුටෙෆ්ලිකාගේ වයස අවුරුදු අසූදෙකක් වන අතර ඔහු උපත ලබා ඇත්තේ මොරොක්කෝවේය. ජනපති පදවියට පත්වන්නට පෙර ඔහු එරට විදේශ කටයුතු ඇමැතිවරයා විය.

මේ වනවිට වැඩිම කාලයක් ඇල්ජීරියාවේ ජනපති පදවිය හෙබවූ තැනැත්තාද ඔහුය. මොරොක්කෝවේ ඉපදුනද ඔහුගේ දෙමව්පියන් ඇල්ජීරියානු ජාතිකයන් වූ අතර ජනපතිගේ එක් සොහොයුරෙක් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා මෙන්ම උපදේශකවරයෙකු ලෙසද සේවය කරයි. මීළඟ ජනපතිවරයා වීමට සුදුසුකම් ඇත්තෙකු ලෙසද එම සොයුරා සැලකෙයි. කුඩා කළ සිටම කියවනු ලැබ කුරානය කටපාඩම් බුටෙෆ්ලිකා පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු එරට හමුදාවේ සේවය කළේය. දේශපාලනයට පිවිසෙන විට  ඔහුගේ වයස අවුරුදු විසි පහකි.

 වත්මන් ජනපතිගේ පාලනයට ටික කලක සිටම විරෝධතාවන් පැනනැගී ඇත්තේ මිනිස් අයිතිවාසිකම් කඩවන රටක් ලෙස ජාත්‍යන්තරය විසින් ඇල්ජීරියාව පිළිගැනෙන අතරේය. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්ද අපකීර්තිමත් වාර්තාවක් ඇති එරට සමලිංගික සබඳතා නීතිවිරෝධී වන අතර ප්‍රසිද්ධ ස්ථානයක සමලිංගික සබඳතා පැවැත්වීමේ වරදට හසවූවන් වසර දෙකකට සිරගත කළ හැක.

ඉහළ මධ්‍යම පාන්තික ආර්ථිකයක් ඇති එරටෙහි වයස අවුරුදු තිහට අඩු හා රැකියා කරන වයසේ සිටින පරම්පරාවෙන් සියයට තිහක් රැකියා විරහිතයෝය.ඇල්ජීරියාවේ දේශපාලනය ගැන සඳහනක් කරන එරට ප්‍රවීණ ‍ලේඛකයෙකු වන කාමෙල් ඩාවුඩ් දරන්නේ මෙවැනි අදහසකි.

    “රටේ බලය තරුණයන්ගෙන් හොරකම් කරගෙන වැඩිහිටියන් තියාගෙන ඉන්නවා.”

නිශානි දිසානායක

  1. කාර්යාල සේවකයන්ට දුරකථන සහනයක්
  2. බෝයිං 737ට චීන අහස තහනම්
  3. පාප් වහන්සේ රහස් හෙළිකරයි
  4. ඉන්දු- පාකිස්තාන යුද්ධයක් නතර කළ ගුවන් නියමුවා
  5. නොබෙල් ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම අබේගෙන්
  6. දෙවන ලෝක යුද්ධයේ අසිරිමත් ඡායාරූපය
  7. නාපාමි දැරියට ඉහළම සම්මානයක්
  8. රජිව් ගාන්ධිගේ දියණිය දේශපාලනයට
  9. නයගරාව ගල්ගැහෙයි
  10. සමාජ ජාලා හරහා හැමෝම ඉල්ලන Like
  11. මළවුන්ගේ නගරයේ විස්මිත තතු
  12. දිනෙන් දින වර්ධනය වන අපූරු දුපත
  13. නෙදර්ලන්තයේ අපූරු සුරංඟනා ගම්මානය
  14. ලෝකයේ අවසානයට හමු වූ මැමත් පැටියා
  15. සේවකයන් පහළොස් දෙනෙක් තවමත් මීටර් 112ක් යට
  16. බැරලයකින් අත්ලන්තික් සයුර තරණයට ගිය මිනිසා
  17. මැදපෙරදිග ඉදි වූ විශාලතම දෙව් මැඳුර
  18. ගඟක් උඩින් ඇලක් !
  19. කොටස් අහිමි පිළිම නෙළන අපූරු මිනිසා
  20. පැසිෆික් සයුර තරණය කළ පළමු මිනිසා
  21. අහසින් වැටුණු අමුතු වැසි
  22. දවසට පැය 2ක් පමණක් යා හැකි එකම පාර
  23. ඇමරිකානු ඔක්තෝබරය වර්ණ ගන්වන අපූරු බැලුම්
  24. මුට්ට කරගැහුවත් ලෝකයක් දිනන්නට පුළුවන් බව ඔප්පු කළ එම්මානුවෙල් ඩැපිඩ‍්‍රන් පැකියෝ
  25. මිය ගිය කාන්තා ගර්භාෂයෙන් මෙලොව උපන් ප්‍රථම බිළිඳිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.