Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවටත්, මතෛක් ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යන බවටත් පසුගිය දා  ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද ප්‍රකාශය නිසා  හටගත් විශාල ආන්දෝලනය තවදුරටත් වර්ධනය වන තත්ත්වයක් ඇති වෙමින් තිබේ. ඊට එක් හේතුවක් නම් දැන් තවත් රාජ්‍යයක් ඇමෙරිකාවේ අඩි පාරේ යමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට සූදානම් වීමයි. ඒ අනුව ඔවුහුද සිය තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන ඒමට සැරසෙති. මේ ආකාරයෙන් මෙම කාරණයේදී ඇමෙරිකාව සමග එක්වීමට යන අනෙක් රට නම් ගෝතමාලාවයි. ගෝතමාලාවේ ජනාධිපති ජිමි මොරා‍ලේස් පසුගිය ඉරිදා (24 දා) ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමුන්ද මේ වනවිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර පිහිටි සිය තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන ඒමට කටයුතු යොදන බවයි. 
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම මෙතරම් මතභේදකාරී කාරණයක් වන්නේ එහි අයිතිය සම්බන්ධයෙන් දැන් දිගු කාලයක සිටම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර විශාල ගැටුමක් පවතින නිසාය. ක්‍රිස්තියානි, යුදෙව් මෙන්ම ඉස්ලාම් යන ආගම් තුනේම බැතිමතුන්ට එකසේ වැදගත් ශුද්ධ නගරයක් ලෙද සැලකෙන ජෙරුසලමේ සම්පූර්ණ අයිතිය තමුන් සතු බව දැන් කලෙක සිටම ඊශ්‍රායලය කියමින් සිටියි. මේ වනවිට ජෙරුසලම මුලුමනින්ම පවතින්නේ ඊශ්‍රායලය යටතේ වුවත් පලස්තීනය පවසන්නේ එහි නැගෙනහිර කොටස අයිති තමුන්ට බවයි. එමෙන්ම ඊශ්‍රායලය එය බලහත්කාරයෙන් අයිති කරගෙන සිටින බවයි. නැගෙනහිර ජෙරුසලම ඉදිරියේදී පලස්තීනයේ අගනුවර විය යුතු බවද ඔවුන්ගේ විශ්වාසයයි. ජෙරුසලම සම්බන්ධයෙන් පවතින මෙම ව්‍යාකූල තත්ත්වය නිසා එය තමුන්ට අයිති බවට ඊශ්‍රායලය කියන කතාවට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තිබුණේ නැත. ආගමික වශයෙන් ඉතා සංවේදී නගරයක් වන මෙහි අයිතිය පිලිබඳ කාරණය ඊශ්‍රායල-පලස්තීන සාම සාකච්ඡාවලදී දෙරටේ එකඟතාව මත විසඳාගත යුතු කාරණයක් ලෙස ජාත්‍යන්තරය විසින්  සලකනු ලැබිණි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින් ප්‍රකාශයක් නිකුත් කළේ මෙවැනි තත්ත්වයක් තිබියදී වූ අතර ඊට ලෝකයේ රටවල් බහුතරයකින් විශාල විරෝධයක් එල්ල විය. ඇමෙරිකාවේ  මෙම තීරණය සැලකුණේ පලස්තීන ජනතාවගේ අයිතිය හෑල්ලුවට ලක් කරමින් ඊශ්‍රායලයේ පැත්ත ගැනීමක් ලෙසිනි. කොහොමටත් මැද පෙරදිග සම්බන්ධයෙන් ඇමෙරිකාවේ උපාය මාර්ගවලදී ඊශ්‍රායලය ඔවුන්ට සිටින තීරණාත්මක මිතුරෙකු බව රහසක් නොවේ.
ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ගයට විරුද්ධත්වය පළකරමින් පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව රටවල් 128 ක්ම සිය ඡන්දය ප්‍රකාශ කිරීම මෙම කාරණයේදී ඇමෙරිකාවේ හුදෙකලා වීම පැහැදිලිව පිළිබිඹු කළ අවස්ථාවකි. ශ්‍රී ලංකාවද එහිදී ඡන්දය පාවිච්චි කළේ එම යෝජනාවට පක්ෂවය.  ඇමෙරිකාවේ සම්ප්‍රදායික මිතුරන් ලෙස සැලකෙන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය වැනි බලවතුන් පවා ඡන්දය පාවිච්චි කළේ ඇමෙරිකාවට විරුද්ධව වීම එහිදී කැපී පෙනුණු තවත් කාරණයකි. 
දැන් ඇමෙරිකාවේ අඩි පාරේ යමින් ඊශ්‍රායලයට පක්ෂව පියවර ගැනීමට යන ගෝතමාලාව ඉහත කී එක්සත් ජාතීන්ගේ යෝජනාවේදීද ඡන්දය දුන්නේ ඇමෙරිකාවේ සහයටය. එනම් යෝජනාවට විරුද්ධවය. ඒ ආකාරයෙන් යෝජනාවට විරුද්ධව රටවල් නවයක් ඡන්දය ප්‍රකාශ කළ අතර ගෝතමාලාවද ඉන් එකක් විය. අනෙක් රටවල් අට වූයේ ඇමෙරිකාව, ඊශ්‍රායලය, හොන්ඩුරාස්, මාර්ෂල් දූපත්, මයිකේ‍රානේසියා, නවූරු, පලාවු සහ ටෝගෝය.  ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙටන්යාහු ගෝතමාලා ජනාධිපති මොරා‍ලේස්ට ස්තුතිය පළකර ඇති අතර ඉදිරියේදී තවත් රටවල් මෙම ක්‍රියාමාර්ගයට එක්වනු ඇතැයිද සඳහන් කර තිබිණි. ඇමෙරිකාව ද ගෝතමාලා ජනාධිපතිවරයා ගත් පියවර අගය කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෝතමාලාව මේ ආකාරයෙන් ඇමෙරිකානු ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම බොහෝ දුරට ආර්ථික සහ දේශපාලන සාධක මත තීරණය වන්නක් ලෙස සැලකිය හැක්කකි. පසුගියදා එක්සත් ජාතීන්ගේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අවස්ථාවේ ඇමෙරිකාව තරමක් තර්ජනාත්මකව කියා සිටියේ එහිදී තම ස්ථාවරයට විරුද්ධව ඡන්දය ලබා දෙන රටවලට සපයන ආධාර කප්පාදු කෙරෙනු ඇති බවය. ගෝතමාලාවද විශාල වශයෙන් ඇමෙරිකානු ආධාර මත යැපෙන රටවල් අතරින් එකකි. ආධාර කප්පාදුවක්  සිදු වුවහොත් එය ගෝතමාලාවේ ආර්ථිකයට මෙන්ම තම පැවැත්මටද බලපාන බව මොරා‍ලේස් දනියි. ඔහු ඇමෙරිකාව අනුව යමින් ඊශ්‍රායලයට පක්ෂ ස්ථාවරයක් ගන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම සාධකය මත යයි සැලකිය හැකිය. අනික් අතට ඇමෙරිකාව මෙන්ම ගෝතමාලාවද ඊශ්‍රායලයේ දිගුකාලීන මිතුරෙකු ලෙසද සැලකේ. ආර්ථික, දේශපාලන වශයෙන් ඔවුන් විශාල ලෙස  එකිනෙකා සමග සබඳතා පවත්වන රාජ්‍යයන් දෙකකි. 
මේ අතර පලස්තීන පාර්ශ්වය ගෝතමාලාවේ මෙම තීරණය පිළිබඳ ප්‍රකාශයක් කරමින් එය ලැජ්ජා සහගත සහ නීති විරෝධී තීරණයක් ලෙස හඳුන්වා ඇත. එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ යෝජනාවට පිටුපෑමක් ලෙසද ඔවුන් සඳහන් කර තිබේ. ඒ අතර ගෝතමාලාවේ මෙම තීරණයෙන් පසු ඊශ්‍රායලයේ  විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ තවත් රටවල් 10 ක් මේ ආකාරයෙන් ඔවුන්ගේ තානාපති කාර්යාලද ටෙල් අවිව් හි සිට ජෙරුසලම වෙත ගෙන ඒම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි. නමුත් එම රටවල් මොනවාද යන්න ඇය නම් වශයෙන් සඳහන් කර නැත. නමුත් හොන්ඩුරාස්, පැරගුවේ, ටෝගෝ වැනි රාජ්‍යයන් මේ ආකාරයෙන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වී ඇතැයි ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි.
සති කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව පලස්තීනය තුළ විශාල වශයෙන් ජනතා විරෝධතා පැන නැගුණු අතර දැන් ගෝතමාලාවේ තීරණයත් සමග එම ගැටුම් තවදුරටත් උත්සන්න වනු ඇතැයිද බලා‍පොරොත්තු විය හැකිය.
 
නිහාල් පීරිස්

ඈත විශ්වයේ  සිට පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන කතන්දර කා තුළත් මහත් ගුප්ත හැඟීමක් සහ විස්මයක් ඇති කරන බව රහසක් නොවේ. නමුත් සත්‍ය වශයෙන්ම මෙවැනි පිටසක්වළ ජීවීන් කියා කොට්ඨාසයක් සිටිනවාද යන්න තවමත් නිශ්චිතව සනාථ නොකෙරුණු කාරණයක් බවද අමුතුවෙන් කිවයුතු නැත. අහසේ වරින්වර දිස්වන බව කියන 'පිටසක්වළ යානා' සැබෑ වශයෙන්ම එවැනි යානා ද නැතහොත් වෙනත් කිසියම් ස්වාභාවික ක්‍රියාවලියක් නිසා මැවෙන රූපාවලියක්ද වැනි ප්‍රශ්නවලට තවමත් පැහැදිලි පිළිතුරු නැත. පෘථීවිය මතුපිට විවිධ තැන්වල දිස් වූ බව කියන එවැනි ජීවීන් ගැන ද ඇත්තේ එබඳුම අවිනිශ්චිත බවකි. ඒවා හුදෙක් යම් යම් පුද්ගලයන්ගේ සිත්වල මැවුණු මනෝමය රූප වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව විද්‍යාඥයන්ගේ ද අදහස වී තිබේ.
කෙසේ නමුත්, අප ජීවත්වන සූර්ය ග්‍රහමණ්ඩලය හරහා මේ දිනවල ඉතා වේගයෙන් ගමන් කරමින් තිබෙන කිසියම් අබිරහස් ආකාශ වස්තුවක් පිළිබඳව තාරකා විද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති ආකාරයක් දක්නට ලැබේ. ලොව පිළිගත් මට්ටමේ විද්‍යාඥයන් පවා මේ පිළිබඳ උනන්දුව දක්වන බව පෙනී යන අතර ප්‍රධාන මාධ්‍ය තුළ පවා මේ ගැන කතාබහ වනු දැකිය හැකි වෙයි. 
මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයන්ගේ මෙතරම් අවධානයක් යොමුවන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එහි අසාමාන්‍ය හැඩයයි. එය සාමාන්‍යයෙන් දැක පුරුදු ග්‍රහක වැනි ආකාශ වස්තුවකට වඩා පිටසක්වළ යානයක හැඩයට සමාන හැඩයකින් යුතු බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වෙයි. මුල්ම නිරීක්ෂණයන්ට අනුව මෙම වස්තුව මීටර් 400 ක පමණ දිගින් යුතු බව අනුමාන කරන අතර එහි පළල එයින් දහයෙන් එකක්, එනම් මීටර් 40 ක් පමණ වන බව පැවැසේ. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට පිටස්තර වෙනත් තරු මණ්ඩලයක සිට මෙහි පැමිණි පළමු ආගන්තුක වස්තුවද මෙය වීම තවත් විශේෂත්වයක් වන අතර එයද මේ පිළිබඳ කුතුහලය වැඩි කිරීමට දායක වූ තවත් සාධකයකි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිිබඳ 
මහාචාර්යවරයකු වන අවි ලොයබේ පවසා ඇත්තේ වෙනත් තාරකා මණ්ඩලයක සිට අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයට පැමිණි පළමු අමුත්තා මේ ආකාරයේ හැඩයක් ගැනීම තරමක් කුතුහලය දනවන්නක් බවයි. 
සුරුට්ටුවක් මෙන් දිගැටි හැඩයක් ගත් මෙම අමුතු ආකාශ වස්තුව මුල් වරට දකිද්දී එය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන්  85 ගුණයක දුරකින් ගමන් කරමින් තිබි ඇති බව මෙම විද්‍යාඥයන් අනාවරණය කර තිබේ. මෙවැනි හැඩගත් ආකාශ වස්තුන් හෝ ග්‍රහකයන් අප ජීවත්වන ග්‍රහ මණ්ඩලය තුළ මෙයට පෙර දැකගන්නට ලැබි නැති බවද සඳහන් වෙයි.  මෙම වස්තුව සූර්යයා පසුකර ගමන් කරද්දී එහි උපරිම වේගය පැයට සැතපුම් 196,000 ක අගයක් දක්වා ළඟා වී ඇති බවද අනාවරණය වී තිබේ.
මෙම ආකාශ වස්තුව මුල්වරට තාරකා විද්‍යාඥයන්ට දැක ගන්නට ලැබි ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. හවායි හීි පිහිටි  පෑන්-ස්ටාර්ස් නම් දුරේක්ෂ පද්ධතිය හරහා මෙය පළමුවෙන්ම නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ රොබට් වෙරික් නමැති තාරකා විද්‍යාඥයකු විසිනි. එය හැඳින්වීමට යොදා ඇති සාමාන්‍ය නාමය 'ඖමුවාමුවා' යන්න වන අතර එකී හවායි වදනේ අරුත 'පණිවුඩකරුවා' යන්න ය. (මෙම ආකාශ වස්තුව නිල වශයෙන් හැඳින්වෙන විද්‍යාත්මක නාමය 1/2017 උ1 ලෙස සඳහන් වෙයි.)  
'බොහෝ දුරට මෙය ස්වාභාවික වස්තුවක් වීමට පිළිවන්. නමුත් එහි ඇති ආසාමාන්‍ය බව නිසා, මෙය කෘත්‍රිමව නිර්මාණය කළ වස්තුවක් බව හඟවන විදියේ කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගත හැකිදැයි බැලීමට අප තුළ කැමැත්තක් ඇති වුණා. එහිදී ගුවන් විදුලි සංඥා වැනි යමක් මෙයින් නික්මෙනවාද වැනි කාරණා ගැන සොයා බැලීමටයි අප අදහස් කරන්නේ' මහාචාර්ය ලොයබේ ප්‍රකාශ කරයි. ඒ අතර මේ ගැන වඩාත් සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ලොව ඇති ප්‍රබලම දුරේක්ෂයක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ ග්‍රීන් බෑන්ක් දුරේක්ෂය යොදා ගැනීමට පියවර ගෙන ඇති බවද සඳහන් වෙයි. මෙහිදී ගුවන් විදුලි තරංග විශේෂ හතරක් සම්බන්ධයෙන් සොයා බැලෙනු ඇති බව පැවැසේ.  පිටසක්වළ ජීවීන් පිළිබඳ සොයාබැලීමේ ව්‍යාපෘතියක් වන 'බ්රේක්තෘෘ ලිස්න්' නමැති ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයන් පිරිසක්ද මෙම මෙහෙයුමට එක් වී සිටිති.  යම් හෙයකින් මෙම අබිරහස් වස්තුවෙන් ඉහත කී ආකාරයේ ගුවන් විදුලි සංඥා නිකුත් වන්නේ නම් මෙය කෘත්‍රිමව නිර්මාණය කළ වස්තුවක් වීමට ඇති ඉඩකඩ ඉහළ යන බව රහසක් නොවේ.  එසේ වුවහොත් මෙය පිළිබඳ කුතුහලය වඩාත් දැඩි වනු ඇති අතර ඒ පිළිබඳ වඩාත් පුළුල් ගවේෂණයක් සඳහා පියවර ගැනෙනු නිසැකය.
මේ වනවිට 'ඖමුවාමුවා' ආකාශ වස්තුව සිටින්නේ පෘථීවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් දෙගුණයකට ආසන්න දුරකින් බවද වාර්තා වෙයි. නමුත් මෙතරම් දුරින් ඇති වස්තුවකින් වුවද නිකුත් වන ගුවන් විදුලි සංඥාවලට කන් දීමේ හැකියාව පෘථිවියේ දුරේක්ෂයන්ට තිබේ.
'අපට මෙයින් යම්කිසි සංඥාවක් ඇසෙන්නට ඇති ඉඩකඩ ඉතාම අල්පයි. නමුත් යම් විදියකින් අපට එවැනි කිසිවක් අසන්නට ලැබුණොත් අප වහාම ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙනවා. ඒ වගේම අප එම සංඥා තේරුම් ගැනීමටත් උත්සාහ කරනවා.' මහාචාර්ය ලොයබේ  තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් මේ පිළිිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයන්ට තවත් ඉතිරිව ඇත්තේ වසරකට ආසන්න කාලයක් පමණි. 'ඖමුවාමුවා' හි ගමන් මාර්ගය සහ වේගය අනුව බලන කළ 2019 වසරේ මුල් භාගයේ මෙම අපූරු වස්තුව සදහටම අප සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් පිටව යනු ඇති බව සඳහන් වේ.
 
 කිත්සිරි මල්වත්ත

ආදරයයි වෛරයයි යන ද්විමානසිකත්වය එකම මනෝමූලයක උපත ලබන උල්පත් දෙකක් බැව් ශාස්තෘවරයන් හා මනෝ විද්‍යාඥයන් විසින් අපට කියා දී ඇත. එකම මූලයකින් පැනනගින එම උල්පත් දෙකම මහෝඝයක් බවට පෙරළී ලෝකය දිනීමටත් වැනසීමටත් එක හා සමාන තරමට ප්‍රබල වන බවට ඓතිහාසික සාධක එමට සොයාගත හැක. මානව ඉතිහාසය උඩුයටිකුරු කළ එවන් අත්දැකීම් ප්‍රේමය, දයාව, සෙනෙහස, ආදරය මෙන්ම වෛරය, ක්‍රෝධය, රුදුරු බව හා බල තන්හාව වැනි මානසික පැතිකඩ මත ප්‍රායෝගිකව ලෝකය විසින් අත්දැක ඇත.
ඔස්ට්‍රියාවේ ඔටුන්නට හිමිකම් කියූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා ප්‍රේම පූජාසනය මත සිය රාජකීය උරුමය පුද දෙන්නට වුව නොපැකිලුණු දහනවවන ශතවර්ෂයේ ආරම්භයේ විසූ චරිතයක් විය. ඔහුගේ ප්‍රේම අන්දරය මුළු ලෝකයම දවා හළු කරන්නට සමත් වූයේ යැයි පැවැසීම බොරුවක් නොවේ.
1800 දශකයේ මැද හා අග සිට එතෙක් මතෛක් ලෝකය පාලනය කළ රාජාණ්ඩු ක්‍රමය අනුක්‍රමයෙන් සමූහාණ්ඩු ක්‍රමවේදයකට හෝ විසිරුණු බලතල සහිත පාලන රටාවකට තල්ලු වී යෑමේ ප්‍රවණතාවය වැඩිවන්නට විය.
එසේ ගරාවැටුණු ඓතිහාසික රජ මාලිගාවකට උරුමකම් කීමට ඔස්ට්‍රියාවේ ප්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් නම් ආදිපාදවරයාට ද අවස්ථාව උදාවිනි. ඔහු ඔස්ට්‍රියා හංගේරියානු මහ අදිරජ ෆ්‍රාන්ස් ජෝසෆ්ගේ බාල මලනුවන්ගේ වැඩිමහල් පුත්‍රයා විය. ෆ්‍රාන්ස් ජෝසෆ් රෝම මහාධිරාජ්‍යයේ ප්‍රබල සාමාජිකයෙකි.
මහාධිරාජයාගේ පුතු 'රුඩොල්ෆ්' නම් ඔටුන්න හිමි රාජකුමාරයා හෙළිදරව් නොවූ හේතුවක් මත සියදිවි නසාගනු ලැබිය. ඒ අතරට හදිසියේ වැලඳුණු උණ සන්නිපාත රෝගයෙන් මහාධිරාජයා ද මරු වැලඳ ගනු ලැබුවේය. සමපාත සිදුවීම් රැසක ප්‍රතිඵලයක් ලෙස සිංහාසනයට උරුමකම් කීමේ වාසනාව උදා වූ එකම පුද්ගලයා වූයේ ෆ්‍රාන්ස් ෆර්දිනන්ඩ් ආදිපාදවරයා පමණි.
යුරෝපයේ මහා බල පරාක්‍රමයකින් ඔදවැඩුණු ඔස්ට්‍රියා හංගේරියානු මහාධිරාජයාගේ කිරුළ ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ට පැවැරීමට නියමිතව තිබුණේ 1896 දීය.
ඔස්ට්‍රියා හංගේරියානු රාජ්‍යය විවිධ ජාතීන්ගේ සංකලනයකින් බිහි වූ ජනවාර්ගික රාජාණ්ඩුවකි. එහෙත් රාජ්‍ය බලය හිමිවිය යුත්තේ රාජකීය පරම්පරාවෙන් පැවැත එන පවු‍ලේ සාමාජිකයන්ට පමණි. රාජකීය සාමාජිකාවක හෝ සාමාජිකයෙකු රාජකීය පවුලෙන් බැහැරව සිදු කරගන්නා සරණ මංගල්‍යයක් හේතුවෙන් ඔහුට හෝ ඇයට රාජකීය කිරුළට උරුමකම් කීමේ වරම හිමි වන්නේ නැත. 
කෙසේ වුවද ඔස්ට්‍රියා හංගේරියානු රාජකීය වංශවත් පවුලට නොගෑවුණු ජර්මානු ජාතික සොෆියා චෝටෙක් නම් වංශවත් තරුණියක හා පෙමින් වෙළුණු ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් දිනූ ප්‍රේම රාජ්‍යයේ කිරුළෙන් සෑහීමට පත්වූයේය. 
එළඹෙන  රාජාභිෂේක මංගල්‍යයත් සමග ෆ්‍රාන්ස් ආදිපාදවරයාට සිය ප්‍රේමවන්තිය සමග මතෛක් රාජකීය පවුලෙන් වසන් වෙමින් රඟපෑ ප්‍රේම රංගනය රජ පවුල අභියස රඟ දක්වා පෙන්වන්නට සිදු විය. සාම්ප්‍රදායික ඇවතුම් පැවැතුම් අනුව එම ප්‍රේම සම්බන්ධතාවය රජ පවුල විසින් එතෙක් රැකගෙන ආ කීර්තියට හා නම්බුවට කැළලක් වන අතර රාජ උදහසට පවා ලක්විය හැකි සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක් බව ප්‍රාන්ස් ද දැන සිටියේය.
ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයාගේ කැමැත්ත නොපිළිගත් ඔස්ට්‍රියානු හංගේරියානු අධිරාජයා ජර්මානු ජාතික සොෆියා චෝටෙක් හා අතිනත් ගැනීමට එකහෙලා විරුද්ධ විය. මෙහිදී අවසාන වූයේ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ට හෝ බිරිඳ සොෆියා චෝටෙක්ගේ කිසිදු ‍ලේ ඥාතියෙකුට ඔස්ට්‍රියා හංගේරියානු කිරුළට උරුමකම් කිව නොහැකි බවය.
මහජන මතය වූයේද ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්ගේ හැසිරීම වැරදි බවයි. බහු භාෂා බහු වාර්ගික රාජ්‍යයක් වූ ඔස්ට්‍රියා හංගේරියානු අධිරාජ්‍යයේ පාලිතයන් හට මහජන මතයට එරෙහිවීම උඩුගං බලා පිහිනීමක් වැන්න. එහෙත් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා මහජන මතයට හා පාලිතයන්ගේ මතයට පිටු පා ජර්මානු ජාතික සොෆියා චෝටෙක්ව රජමාලිගයට කැඳවාගෙන ඒමට කිසිදු මැලිකමක් නොදැක්වීය. 
සමාජවාදී අදහස්වලින් යුත් ෆ්‍රාන්ස් රටේ සෑම පුරවැසියෙකුටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතු යැයි හඬනගමින් සිංහාසනය මත කේන්ද්‍රගතව ඇති බලතල බෙදීයන ආකාරයේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් පිළිබඳ මතිමතාන්තර පාලිතයන්ගේ අවධානයට යොමු කිරීමට උත්සාහ ගනු ලැබිය. අනෙකුත් ප්‍රභූ පාලිතයන් දැඩි විරෝධතාවන් ගොනු කළ අතර ෆ්‍රාන්ස් ෆ්‍රාර්ඩිනන්ඩ් ආදිපාදවරයා පාලනාධිකාරියෙන් ඉවත් කිරීමේ මං සොයමින් සිටියහ.
ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් සහිත ඔස්ට්‍රියානු එක්සත් ජනපදයක් පිහිටුවීමේ අදහසට දැඩිව විරුද්ධත්වය පළකළ සර්බියානු ප්‍රාන්තය ඒ වනවිට ඔස්ට්‍රියා හංගේරියානු රාජාණ්ඩුවෙන් මිදී ස්වාධීන රජයක් සඳහා පිඹුරුපත් සකසමින් සිටි අවධියයි. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සර්බියානුවන් හා එක් වූ ඔස්ට්‍රියා බහු බාෂික බහු වාර්ගික ප්‍රභූන්ගේ අදහස් ඉටු කරමින් ෆ්‍රාන්ස් ආදිපාදවරයා සමග ඔහුගේ දයාබර බිරිඳ සොෆියා චෝටෙක් 1914 ජුනි 28 වන දින බොස්නියාවේ සරාවෝ නුවර මහමග මරා දමනු ලැබූහ.
ෆ්‍රාන්ස් ආදිපාදවරයාගේ ඝාතනයත් සමග ඔස්ට්‍රියා රාජ්‍ය මගින් සර්බියාවට එරෙහිව යුද වැදීමට තීරණය කෙරිණි. සර්බියා හිතවතෙකු වූ රුසියානුවන් ඔස්ට්‍රියා හංගේරියාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ් ආදිපාදවරයාගේ ජර්මානු පෙම්වතිගේ ජන්ම භූමිය වන ජර්මනියට හා ඔස්ට්‍රියා හංගේරියා රජයන්ට එරෙහිව ප්‍රංශය හා බ්‍රිතාන්‍යද යුද වැදීමට තීරණය කෙරිණි. හරියටම ෆ්‍රාන්ස් ෆ්‍රර්ඩිනන්ඩ්ගේ ඝාතනයෙන් මසක් ගිය තැන එනම් 1914 ජූලි 28 වන දින පළමුවන ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළෙන්නට විය. ආදරය සමග අත්වැල් බැඳ ආ වෛරය එක හා සමානව බලවත් විය.
ෆ්‍රාන්ස් ආදිපාදවරයා වරක් 400ක නාවිකයන් සමග මාස දහයක ලොව වටා මුහුදු චාරිකාවක යෙදෙන අතරේ 1893 ජනවාරි 11 දින ලංකාවට ගොඩ බැස ඇත. අනුරාධපුර කලාවැව ආශ්‍රිත වනාන්තරවල සැරිසැරූ ඔහු අප දිවයිනේ අලි සම්පත හා බිහිසුණු විනෝද ක්‍රීඩාවක පවා නිරත වූ බවට ලිඛිත සේයාරූ සටහන් හමුවී තිබේ.
 
සරත් අමරකෝන්

ඇමෙරිකාව නැවත වරක් කම්පනයට පත් කරමින් පසුගිය 11 වෙනි දින උදය වරුවේ නිව්යෝක් නුවර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එයින් ඇති වූ හානිය එතරම් විශාල නොවූවත් එරට ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඇති වැදගත්කම නිසාය. 
මෙවර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ නිව්යෝක්හි මැන්හැට්න් ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම් මධ්‍යස්ථානයක් ආසන්නයේය. මෙම බස් නැවතුම් ස්ථානය සැලකෙන්නේ ඇමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම විශාලතම බස් නැවතුම් මධ්‍යස්ථානය හැටියටයි. වසරකට ලක්ෂ 650 කට ආසන්න මගීන් පිරිසක් මේ හරහා ගමන් බිමන්වල නිරත වන බව සඳහන් වේ. උදය කාලයේ මෙම බස්නැවතුම බෙහෙවින් කාර්යබහුල, අතිශයින් ජනාකීර්ණ ස්ථානයක් ලෙස සැලකෙන අතර යම් හෙයකින් සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී නම් අති දැවැන්ත හානියක් සිදු විය හැකිව තිබූ බව බලධාරීන්ගේ විශ්වාසයයි. 
11 වෙනි දින එල්ල කළ ප්‍රහාරයේ සැකකරු ලෙස සැලකෙන්නේ 27 හැවිරිදි, බංග්ලාදේශ ජාතික සංක්‍රමණිකයෙකි. අකේඩ් උල්ලා (Akayed Ullah)  නමින් හැඳින්වෙන ඔහු තමුන් විසින්ම සාදාගන්නා ලද සරල බෝම්බයක් සිය සිරුරෙහි අටවාගෙන පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන් වේ. බෝම්බය එතරම් ප්‍රබල එකක් නොවූ නිසාදෝ එයින් එතරම් දරුණු විනාශයක් සිදු වූයේ නැත. එය සිරුරට සම්බන්ධ කරගෙන සිටි සැකකරු පවා එයින් මරණයට පත්ව නොසිටි අතර තවත් තුන් හතර දෙනක් පමණක් තුවාල ලබා සිටියහ. 
ප්‍රහාරයෙන් ටික වේලාවකට පසු සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ ඡායාරූප වලින් සැකකරු බිම වැටී සිටින අන්දමත් ඔහුගේ ඇඳුම් ඉරී පිළිිස්සී ඇති අන්දමක් දැකිය හැකි වූ අතර ඔහුගේ පපුව ප්‍රදේශයේද පිළිිස්සුම් තුවාල දක්නට ලැබිණි. උල්ලා සමග මෙම ක්‍රියාවට සම්බන්ධ වූ වෙනත් කිසිවෙකු සිටින්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නැත. එමෙන්ම සැකකරු අයිසිස් වැනි සංවිධානයකට සෘජුව සම්බන්ධ බවක්ද අනාවරණය වී නැති බව සඳහන් වේ. ඔහු තනිවම ක්‍රියාත්මක වූ හුදෙකලා ත්‍රස්තවාදියෙකු විය හැකි බව බලධාරීන්ගේ අදහසයි. කෙසේ නමුත් අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරකම්වලින් ඔහු යම් ආභාෂයක් ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. 
2011 වසරේ ඔහු ඇමෙරිකාවට පැමිණ ඇත්තේ පවුල් වීසා ක්‍රමය යටතේ බවද පැවැසේ. ඔහු මෙයට පෙර කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ බවක් වාර්තා වී නැතැයිද බංග්ලාදේශය පැත්තෙන් සනාථ කර තිබේ. උල්ලා අවසන් වතාවට බංග්ලාදේශයට ගොස් ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවද සඳහන් වන අතර ඇමෙරිකාවේ දී ඔහු විදුලි සමාගමක සේවය කර ඇති බවට තොරතුරු පළවී තිබිණි. ඔහු එහි රැකියාව කර ඇත්තේ සිය සොහොයුරා සමග බවද, මේ දෙදෙනාම බෘෘක්ලින් හි එකම තට්ටු නිවාසයක වාසය කර ඇති බවද  ප්‍රකාශයට පත්ව ඇත. අකේඩ් උල්ලා මේ වනවිට ‍පොලිස් අත්අඩංගුවට ගෙන පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කරනු පිණිස රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
සැකකරු මේ ආකාරයෙන් ප්‍රහාරයක් සඳහා යොමුවීමට හේතුව කුමක්ද යන්න නිශ්චිතව ප්‍රකාශයට පත්ව නැත. නමුත් පසුගිය දා ඩොනල්ට් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට නිවේදනය කරනු ලැබිමෙන් පසු ඇති වූ උණුසුම් තත්ත්වයන් සහ මෙම සිද්ධිය අතර යම් සම්බන්ධයක් ඇත්ද යන්න ගැන යම් යම් සැකසංකා මතුව තිබෙනු ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැකගත හැකි විය. ආගමික වශයෙන් මුස්ලිම් ජාතිකයන්ට මෙන්ම යුදෙව් ජාතිකයන්ටද එකසේ වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන ජෙරුසලම පිහිටා ඇත්තේ ඊශ්‍රායල පලස්තීන කලාපයේ ය. එහි අයිතිය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිකයන් වන පලස්තීනුවන් සහ යුදෙව් ජාතිකයන් වෙසෙන ඊශ්‍රායලය අතර දැන් කාලයක සිටම මතභේද සහ ගැටුම් පවතින බව රහසක් නොවේ. ජෙරුසලම සිය රටෙහි අගනුවර යැයි ඊශ්‍රායලය පවසන අතර නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගත යුතු බව  පලස්තීනුවන්ගේ අදහසයි. මොවුන් අතර පවතින මෙම මතගැටුම නිසාම ජෙරුසලම අයිති කාටද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් නිශ්චිත පිළිගැනීමක් නොතිබුණි. එය ඊශ්‍රායලයට අයිති බවත් කිසිවෙකු පිළිගත්තේ නැත. මෙම පසුබිම තුළ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස තමුන් පිළිිගන්නා බැව් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මහත් විවාද සම්පන්න සහ ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වූ අතර මුස්ලිම් ජාතිකයන් මෙය සැලකුවේ ඇමෙරිකාව ඊශ්‍රායලයට සහ එහි යුදෙව් ජාතිකයන්ට පක්ෂ ස්ථාවරයක් ගැනීමක් වශයෙනි. මේ නිසා කෝපයට පත් පලස්තීන ජනතාව සහ එහි සටන්කාමී සංවිධාන ඇමෙරිකාවටත්, ඊශ්‍රායලයටත් එරෙහිව නැගී සිටින්නට පටන් ගත්තේය. මේ හේතුවෙන් පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර පසුගිය දිනවල ඇති වූ ගැටුම් නිසා පලස්තීන ජාතිකයන් කිහිප දෙනෙකු මිය ගිය බවද, ඊශ්‍රායල හමුදා පලස්තීන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කර ඇති බවද සඳහන් විය. නිව්යෝක් හි බස් නැවතුම් මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීමට අකේඩ් උල්ලා යොමු වූයේ පලස්තීනයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ඇති වූ මෙම තත්ත්වයට විරෝධය දැක්වීමක් හැටියටද යන්න පිළිබඳව සැක පළ වී තිබෙනු දක්නට ලැබිණි. 
මෑත කාලයේ නිව්යෝක් නගරය ත්‍රස්ත ප්‍රහාරයකට ඉලක්ක වූ දෙවැනිවතාව මෙයයි. පසුගිය ඔක්තෝබර් මාසයේද උස්බෙකිස්තාන ජාතිකයෙකු එහි මහමග ගමන් කරමින් සිටි පදිකයන් ඉලක්ක කරමින් විශාල ට්‍රක් රථයක් ධාවනය කළ අතර එයින් අට දෙනෙකු මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනි දින නිව්යෝක් හි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයට පසු එම නගරය තුළ එල්ල වූ ලොකුම ප්‍රහාරය ලෙස සැලකුණේ මෙම ඔක්තෝබර් ප්‍රහාරයයි.
 
නිහාල් පීරිස්

මතභේදයට තුඩු දෙන, ආන්දෝලනාත්මක තීරණ ගැනීම  ඔහුගේ විනෝදාංශයක්දැයි සිතෙන තරමට ඩොනල්ඩ් ට්‍රම්ප් එක දිගටම එවැනි තීරණ ගනිමින් සිටියි. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එවැනි අලුත්ම තීරණය ආගමික වශයෙන් ලෝකයේ ඉතාම වැදගත් ස්ථානයක් වන ජෙරුසලම සම්බන්ධ වූවකි. මෙම තීරණය නිසා මැද පෙරදිග කලාපයේ  විශාල ආතතියක් ගොඩ නැගෙමින් ඇති අතර ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්ව පවා ජනාධිපතිවරයාගේ මෙම කටයුත්ත දැඩි ලෙස විවේචනය කරමින් සිටින අයුරු දැකිය හැකි වෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්  පසුගිය සතියේ ගන්නා ලද මෙම මතභේදකාරී තීරණය නම් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට තීරණය කිරීමයි. ඔහුගේ මෙම කටයුත්ත මෙතරම් ආන්දෝලනාත්මක එකක් වන්නේ මන්ද යන්න සලකා බැලීමේදී ජෙරුසලම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තීරණාත්මක තත්ත්වය පිළිබඳව තේරුම් ගැනීම වැදගත් වෙයි.
ඊශ්‍රායල-පලස්තීන කලාපයේ පිහිටා ඇති ජෙරුසලම පලස්තීනයේ මුස්ලිම් ජනතාවට මෙන්ම ඊශ්‍රායලයේ වෙසෙන යුදෙව් ජාතිකයන්ටද, ‍පොදුවේ ක්‍රිස්තියානි ජනතාවටද ආගමික වශයෙන් එකසේ වැදගත් ස්ථානයකි. මේ හැම දෙනාගේම ආගමික ඉතිහාසයන් හා බැඳුණු වැදගත් සිදුවීම් රැසකට ජෙරුසලම පසුබිම් වන බැවිනි. කෙසේ වෙතත්  ආගමික වශයෙන් අති සංවේදී ස්ථානයක් වන මෙහි අයිතිය සම්බන්ධයෙන් දැන් දිගු කාලයක සිටම විශාල මතභේදයක් පවතී. විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම සම්බන්ධයෙන් මෙම තත්ත්වය වඩාත් බරපතළ ලෙස දැකිය හැකි වෙයි. ඊශ්‍රායලය පවසන්නේ සමස්ත ජෙරුසලමම ඔවුන් සතු වන බව සහ එය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත යුතු බවයි. නමුත් පලස්තීන පාර්ශ්වයෙන් කියා සිටින්නේ නැගෙනහිර ජෙරුසලම ඉදිරියේදී පලස්තීන ස්වාධීන රාජ්‍යයක් තුළ ඔවුන්ගේ අගනුවර විය යුතු බවයි. මේ නිසා ජෙරුසලම කේන්ද්‍ර කරගෙන දැඩි මතභේදයක් පවතින අතර එය ඊශ්‍රායලයට අයිති බවක් තවමත් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නැත.

මේ වෙද්දී   කාරණා රාශියක් පදනම් කරගෙන ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම් පවතින බවද රහසක් නොවන අතර ජෙරුසලමේ අයිතිය පිළිබඳ කාරණයද ඒ අතර ප්‍රධාන තැනක් ගන්නකි. මෙම ගැටලු විසඳාගෙන මෙම කලාපයේ ස්ථීරසාර සාමයක් ඇති කර ගැනීමටත්, ඊශ්‍රායලය මෙන්ම වෙනම ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමටත් මේ වනවිට දැවැන්ත ජාත්‍යන්තර සාම මෙහෙයුමක් ක්‍රියාවට නැගෙමින් තිබේ. ජෙරුසලම අයිති කාටද යන්න පවා මෙම සාම ක්‍රියාදාමයේ අවසන් අදියරේදී සාකච්ඡා කර විසඳාගත යුතු වැදගත් ගැටලුවක් ලෙස සලකනු ලැබේ. එසේ විසඳාගන්නා තෙක් ලොව බොහෝ රාජ්‍යයන් ජෙරුසලමේ අයිතිය කාටද යන්න ගැන නිශ්චිත නිගමනයක පසුවන්නේ නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බැව් නිල වශයෙන්  ප්‍රකාශයට පත් කළේ ඒ සම්බන්ධයෙන් මෙවැනි සංකීර්ණ, සංවේදී සහ ව්‍යාකූල තත්ත්වයක් තිබියදීය.

මෙය නිසැකවම පලස්තීන ජනයාගේ මෙන්ම ඔවුන්ට සහය දක්වන අරාබි, මුස්ලිම් ලෝකයේද මහත් කෝපයට සහ විරෝධයට හේතුවන්නක් වීම පුදුම විය යුත්තක් නොවේ. ඔවුන් එය දකින්නේ ඇමෙරිකාව පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලයේ පැත්ත ගැනීමක් වශයෙනි. හමාස් වැනි පලස්තීන සටන්කාමී සංවිධාන මේ පිළිබඳව දැවැන්ත විරෝධයක් දක්වන්නට පටන්ගෙන තිබේ. ඉදිරියේදී ඔවුන් වඩාත් ප්‍රචණ්ඩ ආකාරයෙන් කටයුතු කරනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව නැගී සිටින ලෙස ඔවුන් පලස්තීන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර දැනටමත් ඇතැම් ස්ථානවල එවැනි නැගී සිටීම් මතුවෙමින් ඇති අයුරු දැකිය හැකි වෙයි. පලස්තීනුවන් සහ ඊශ්‍රායල ආරක්ෂක අංශ අතර ගැටුම් උත්සන්න වෙමින් ඇති අතර පලස්තීන ජාතිකයන් කිහිප දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයිද වාර්තා වෙයි. මේ වනවිට ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-පලස්තීන සාම ක්‍රියාදාමයද මේ නිසා විශාල අවුලක වැටෙන්නට ඇති ඉඩකඩ විශාලය. ට්‍රම්ප්ගේ මෙම තීරණය  පෙන්නුම් කරනු ලබන්නේ මැද පෙරදිග පවතින සංවේදී තත්ත්වය ගැන ඔහුගේ අවබෝධයේ ඇති පටු බව යැයිද ඇතැම් නිරීක්ෂකයන් අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය.

ජෙරුසලමට අදාළ ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාකලාපය නිසා උත්සන්න විය හැකි ව්‍යාකූලත්වය සහ ආතතිය පිළිබඳ දන්නා ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්වද මේ වනවිට මෙම තීරණයට එරෙහිව අදහස් දැක්වීමට පටන්ගෙන ඇත. මැද පෙරදිග කලාපය තුළ ඇමෙරිකාවට සිටින හොඳම මිතුරන් වන සෞදි අරාබිය වැනි පාර්ශ්ව පවා මෙම තීරණය විවේචනය කිරීමට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වය එම කලාපය තුළ ඇමෙරිකාවේ බල අරමුණුවලටද ඉතා හානිදායක ආකාරයෙන් බලපෑමට ඇති ඉඩකඩ විශාලය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවත්, මේ වනවිට ටෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යන බවත් ට්‍රම්ප් ඔහුගේ ජනාධිපතිවරණ මෙහෙයුම තුළ ලබා දුන් ‍පොරොන්දුවකි. (වෙනත් කිසිදු රටක් මේ වනවිට ඊශ්‍රායලයේ  සිය  තානාපති කාර්යාල ජෙරුසලම තුළ පිහිටුවා නැති බවද මෙහිදී අවධානයට ලක් විය යුතුය. එසේ පිහිටුවුවහොත්  එය ජෙරුසලමට ඊශ්‍රායලයේ ඇති අයිතිය පිළිගැනීමක් වන බැවිනි.) කෙසේ හෝ වේවා, ට්‍රම්ප්ගේ මෙම තීන්දුව ඇමෙරිකාව තුළ සිටින, මුස්ලිම් විරෝධී මානසිකත්වයෙන් පසුවන ඡන්දදායකයන් වෙනුවෙන් ගන්නා ලද තීරණයක් ලෙසද පෙන්වා දෙනු ලැබේ.  කෙසේ වෙතත් ට්‍රම්ප් යනු බොහෝ විට සෙසු ලෝකයාගේ අදහස් පිළිබඳ මායිම් නොකර තමාගේම මතය පමණක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන නායකයෙකුය යන අදහස මෙම සිද්ධියත් සමග නැවත වතාවක් තහවුරු වී ඇති අන්දම දැකිය හැකි වෙයි. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් වැනි යුරෝපයේ ප්‍රබලම නායකයන්ද සිටින්නේ ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව අනුමත නොකරන ස්ථාවරයකය. පාප් වහන්සේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ‍ලේකම් අන්තෝනියෝ ගුතරේස්  පවා මේ නිසා ඇති විය හැකි අනිටු විපාක ගැන අවධානය යොමු කර තිබේ.  මේ අනුව මෙම සිදුවීමත් සමග ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවද නැවත වතාවක් සෙසු ලෝකයෙන් කොන් වීමේ අවදානමට මුහුණ දී ඇති බව පැහැදිලිව දැකගත හැකි වෙයි.

නිහාල් පීරිස්

පසුගිය සිකුරාදා  දිනයේ, ඊජිප්තුවේ සිනායි පළාතේ  මුස්ලිම් බැතිමතුන් පිරිසක් ඔවුන්ගේ දේවස්ථානය තුළ රැස්ව සිටියේ සුපුරුදු යාච්ඥා කටයුතු සඳහාය.  නමුත් ඒ අතරතුර සිදු වූයේ ඔවුන් සිහිනෙන්වත් බලා‍පොරොත්තු වූ සිදුවීමක් නොවේ.  වෙනදා මෙන් සාමකාමීව සිය ආගමික කටයුතුවල නිරත වීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.
වාහන කිහිපයක නැගී කඩාපාත් වූ සන්නද්ධ පිරිසක් එක්වරම දේවස්ථානය වෙත බිහිසුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්හ. මෙම බෝම්බ ප්‍රහාරයට හසුව දේවස්ථානය තුළ සිටි බැතිමතුන් විශාල පිරිසක් මිය යද්දී සහ තුවාල ලබද්දී සෙසු බැතිමත්හු සිය ජීවිත බේරාගැනීම සඳහා දේවස්ථානයෙන් පිටතට දිව යන්නට වූහ. නමුත් එයින්ද ඔවුන්ට දිවි ගලවා ගන්නට පහසු වූ බවක් නොපෙනිණි. දේවස්ථානයෙන් පිටත රැඳී හුන් සන්නද්ධ පිරිස් එයින් පිටතට දිව එන බැතිමතුන් ඉලක්ක කර වෙඩි වරුසාවක් එල්ල කළෝය. එයින් තවත් විශාල සංඛ්‍යාවක් මරණයට පත් විය. ඊට අමතරව මෙම සන්නද්ධ කණ්ඩායම දේවස්ථානය අසල නතර කර තිබූ රථවාහන ද රාශියකට ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළේය.  ඒ නිසාද තවත් බොහෝ දෙනෙකු මිය යන්නට ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ හෝ වේවා මෙම ප්‍රහාරය මෑත කාලයේ ඊජිප්තුවේ එල්ල වූ බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර මේ වනවිට වාර්තා වී ඇත්තේ මෙයින් මිය ගිය සංඛ්‍යාව 300 කට අධික විය හැකි බවටය. තවත් සිය ගණනක් තුවාල ලබා සිටිති. මිය ගිය අය අතර  කුඩා දරුවන් 30 කට ආසන්න සංඛ්‍යාවක්ද  වන බව සඳහන් වේ.
මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් වගකීම භාර ගෙන තිබුණේ නැත. නමුත් බොහෝ දෙනෙකුගේ සැකය එල්ල වී ඇත්තේ අයි.එස්. සංවිධානය හා සබඳතා ඇති කණ්ඩායම් වෙත බව  පෙනේ.  ඊජිප්තුවේ සිනායි පළාතේ වෙසෙන මුස්ලිම් ජාතිකයින් බොහෝ දෙනෙකු සුෆි යනුවෙන් හැඳින්වෙන ‘නිකායකට’ අයත් වූවන් බව සඳහන් වේ. මෙවර ප්‍රහාරයට ලක් වූ දේවස්ථානයට රැස්වන පිරිසද මෙම නිකායට අයත් බැතිමතුන් බව පැවසේ. මෙම ‘සුෆි‘ නිකාය බොහෝ මුස්ලිම් රටවල පිළිගැනීමට ලක්ව තිබුණත් අයි.එස්. වැනි අන්තවාදී, මූලධර්මවාදී කණ්ඩායම් මෙම ‘නිකාය’ පිළිගන්නේ නැත. ඔවුන් එය  සලකන්නේ මිථ්‍යාදෘෂ්ටික නිකායක් ලෙසිනි. තමුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ වරද පිළිනොගන්නේ නම් මෙම බැතිමතුන් ඝාතනය කරන බවට අන්තවාදී කණ්ඩායම් තර්ජනය කර තිබූ බවද අනාවරණය වෙයි. සිකුරාදා ප්‍රහාරය අයි.එස්.වැනි සංවිධානයක් විසින් එල්ල කරනු ලබන්නට ඇතැයි යන සැකය මතුවෙන්නට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ මෙම සුෆි විරෝධයයි. මෙයට මාස කිහිපයකට පෙර මෙම සුෆි නිකායට අයත් පූජකයින් දෙදෙනෙකු ගෙල කපා ඝාතනය කළ බවටද වාර්තා පළවී තිබිණි.
සිනායි ප්‍රදේශය අයි.එස්. සංවිධානයට සම්බන්ධකම් ඇති සටන්කාමීන් ඉතා ක්‍රියාකාරී ලෙස කටයුතු කරන කලාපයක් ලෙස සැලකෙයි.  2015 වසරේ දී රුසියානු මගී ගුවන් යානයක් ඉලක්ක කරමින්ද මෙම ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල විය. එයින් මගීහු 224 දෙනෙක් මරණයට පත් වූහ. 
මෙයට අමතරව රටේ බොහෝ තැන්වලදී  එරට සුළුතරයක් වන ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරමින්ද, ආරක්ෂක අංශවල සාමාජිකයින් ඉලක්ක කරමින්ද වරින් වර ප්‍රහාර එල්ල වෙයි. 
කෙසේ නමුත් මෙම කලාපයේ මුස්ලිම් බැතිමතුන් පිරිසක්ම ඉලක්ක කර මෙතරම් දරුණු ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව ලෙසිනි මෙය සැලකෙන්නේ. ඇතැම් නිරීක්ෂකයන්ට අනුව මෙය පැහැදිලිව තේරුම් ගැනීමට අපහසු ප්‍රහාරයක් බවට පත්ව ඇත්තේ මේ ආකාරයෙන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශය තුළ මෙම සටන්කාමීන්ට ඇති මහජන සහයෝගය දියවී යන බැවිනි. එය මෙම අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව රජය පැත්තෙන් එල්ලවන ප්‍රහාරයන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කරන්නකි. මේ වනවිටත්  සන්නද්ධ සටන්කාමීන්ගේ කඳවුරු ලෙස සැලකෙන ස්ථාන වෙත රජයේ හමුදා ප්‍රහාර දියත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබිණි. 
මේ අතර අයි.එස්. සංවිධානයට සම්බන්ධකම් ඇති කණ්ඩායම් මෙන්ම අල් කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායම්ද මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඔවුන් දෙපිරිස අතරද ගැටුම් පවතී. මේ නිසා සිකුරාදා ප්‍රහාරය සම්බන්ධයෙන්  මේ වනවිටත් පවතින්නේ පැහැදිලිව තේරුම්ගත නොහැකි, තරමක ව්‍යාකූල තත්ත්වයක් බව දැකිය හැකි වෙයි. 
මැද පෙරදිග කලාපයේ ඉරාකය, සිරියාව වැනි රටවල අයි.එස්. සංවිධානය පසුගිය කාලය පුරා රඳවාගෙන සිටි බලය මෑතක සිට කමෛන් ගිලිහෙමින් ඇති බවද මේ වනවිට නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. මේ නිසා එම සංවිධානයේ ශක්තිය 
පිළිිබඳ ගිලිහෙමින් ඇති ප්‍රතිරූපය නැවත නගා සිටුවීමේ අරමුණින් මෙවැනි ප්‍රහාරයක් දියත් කළාද යන අදහසද අවධානයට ලක්ව තිබෙනු දැකිය හැකි විය. 
ප්‍රහාරය සිදු වන අවස්ථාවේ අයි.එස්. සංවිධානයේ ධජය එම ස්ථානයේ දක්නට ලැබුණු බවද, සටන්කාමීන් 30 දෙනෙකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇතැයි සැලකෙන බවද මේ පිළිබඳ විමර්ශන කරන අංශ ප්‍රකාශ කර තිබේ.
 
නිහාල් පීරිස්

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1174

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1041

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1627

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3165

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4015

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4147

Please publish modules in offcanvas position.