lakbima.lk

ලෝකයේ විවිධ රටවලට එල්ලවන ත්‍රස්ත ප්‍රහාර දිනෙන් දින වැඩි වෙමින් ඇති අතර මේ සම්බන්ධ අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉරානයෙනි. පසුගිය බදාදා (7 වැනි දින) පෙරවරුවේ ඉරානයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සහ ඉරාන විප්ලවයේ නියමුවා ලෙස සැලකෙන අයතුල්ලා කොමෙයිනිගේ සොහොන් ගැබ පිහිටා ඇති ස්ථානයේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 12 දෙනකු මරණයට පත් වූ අතර හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා විය.
 ප්‍රහාරකයන්ගෙන් සමහරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ කාන්තාවන් ලෙස වෙස්වලාගෙනය. ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැති අතර, වෙනත් කාර්යාල පිහිටි කොටසකට ඇතුළු වී වෙඩි තබන්නට පටන් ගෙන තිබේ. ඒ අතර එක් ප්‍රහාරකයකු මරාගෙන මැරෙන බෝම්බයක්ද පුපුරුවා හැර ඇත. මඳ වේලාවක් යනතුරු ප්‍රහාරකයන් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනකු රඳවාගෙන සිටි බවටද තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදුවෙද්දී පවා ප්‍රධාන සභා ගැබ තුළ සිටි මැති ඇමැතිවරුන් සිය කටයුතු නතර නොකර අඛණ්ඩව කරගෙන ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.  ආරක්ෂක අංශ ප්‍රහාරකයන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් විය.
අයතුල්ලා කොමෙයිනි සොහොන් ගැබ ආසන්නයේ ප්‍රහාරය සිදු වූයේ ඊට මඳ වේලාවකට පසුවය. එහිදීද තවත් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර අවි ගත් ප්‍රහාරකයන්  ඒ අවට සිටි අයට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත් බවද සඳහන් විය. එහිදීද ආරක්ෂක අංශ විසින් එක් ප්‍රහාරකයකු ඝාතනය කරන ලද බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.
ප්‍රහාරය සම්බන්ධ වගකීම  භාර ගනිමින් අයි.එස්. හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ (ඵතචථඪජ ඉබචබඥ) සංවිධානය පසුව නිවේදනයක් නිකුත් කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ගත් බව සඳහන් විඩියෝ දර්ශන පෙළක්ද ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.
අයි.එස්. සංවිධානය සහ ඉරානය අතර විරසකය කාලයක් තිස්සේ පවතින්නකි. විශේෂයෙන් සිරියාව සහ ඉරාකය  වැනි රටවල ක්‍රියාත්මක වන අයි.එස් සටන්කාමීන්ට එරෙහිව ඉරානය ප්‍රහාර එල්ල කරන නිසා ඔවුන් අතර පවතින්නේ දැඩි පසමිතුරු බවකි. මෙම පසමිතුරු බව දැන් කාලයක සිටම පවතින්නක් වුවත් පසුගිය කාලයේ අයි.එස්. සංවිධානය ඉරානය තුළ මේ ආකාරයේ ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තේ නැත. ඒ නිසා මෙවර ප්‍රහාරය බොහෝ දෙනකු තුළ විමතියක් මෙන්ම කම්පනයක්ද ඇති කරන්නට සමත්ව ඇති බව පෙනේ.
ඉරානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කවදත් ඔවුන්ගේ සතුරන් ලෙස සැලකෙන සෞදි අරාබියටයි. එම චෝදනාවට පදනම් වන්නේ සෞදි අරාබිය වක්‍රකාරයෙන් අයි.එස්. සංවිධානයට සහය දක්වනවාය යන ඔවුන්ගේ තර්කයයි. සෞදිය අයි.එස්. සංවිධානය යොදාගනිමින් ඉරානයට පහර දුන්නාය වැනි අදහසක් ඇති කිරීමට ඉරානය උත්සාහ කරන බව පෙනේ. (අයි.එස්. සංවිධානය අනුගමනය කරන ඉස්ලාම් දහමේ අන්තවාදී අර්ථකතනයක් ලෙස බොහෝ දෙනා සලකන වහාබ්වාදය  සෞදි අරාබිය තුළ විශාල වශයෙන් පැතිරුණු ධාරාවකි. සෞදි අරාබිය සහ අයි.එස්. සංවිධානය අතර සබඳතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමට මෙයද එක් හේතුවකි.
ඉරානය කියන ආකාරයට මෙම ප්‍රහාරය එල්ල කළේ සෞදි අරාබිය දැනුවත්වද, නැද්ද යන්න නිශ්චිතව පැවැසිය හැකි සාක්ෂි කිසිවක් නැතත් ඉරානය සහ සෞදි අරාබිය අතර කලෙක සිටම පවතින දැඩි එදිරිවාදිකම් අලුත් වටයකින් ඉස්මත්තට ගෙන එන්නට මෙම සිදුවීම හරහා මග පෑදී ඇති බව පැහැදිලිව දැකිය හැකි වෙයි.
සෞදි අරාබිය සහ ඉරානය අතර කාලයක් තිස්සේ පවතින සතුරු ආකල්පවලට පදනම් වන කාරණා කිහිපයක් වෙයි. මෙම රටවල් ආගමික වශයෙන් නිකායන් දෙකක් නියෝජනය කරන දෙරටක් වීම ප්‍රධාන හේතුවකි. සෞදි අරාබිය ඉස්ලාම් ආගමේ සුන්නි නිකාය නියෝජනය කරන රටක් වන අතර ඉරානය  ෂියා නිකාය නියෝජනය කරන රටකි. මේ නිසා සෞදි අරාබිය සහ ඉරානය අතර ඇති පසමිතුරු බව මෙම නිකායන් අතර පවතින ගැටුම සහ බල අරගලය පිලිබිඹු කරන්නක් ලෙස සැලකිය හැකි වෙයි.
මෙම පසුබිම තුළ මැදපෙරදිග කලාපයේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ආදී ඉසව්වල ආධිපත්‍යය වෙනුවෙන් සෞදිය සහ ඉරානය අතර විශාල තරගයක් පවතියි. එහිදී සෞදිය වඩාත් ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ සහය ලබා ගැනීම සඳහා යොමුවන අතර, ඉරානය රුසියාව වැනි පාර්ශ්ව වෙත වැඩි නැඹුරුවක් දක්වයි. මේ තුළ එක් අතකින් බටහිර බලවතුන්ද, අනෙක් අතින් රුසියාව වැනි පාර්ශ්වද මැද පෙරදිග කලාපයේ ඔවුන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා සෞදිය සහ ඉරානය වැනි රටවල් සමග අත්වැල් බැඳගෙන සිටින ආකාරයද දැකිය හැකි වෙයි.
පසුගියදා සිදු වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග නිල සංචාරයද මෙහිදී අවධානයට යොමු විය යුත්තකි. එහිදී ඔහු සෞදි අරාබිය සමග සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට කටයුතු කළේය. ඉරානය යනු ඇමෙරිකාවේද සතුරු පාර්ශ්වයක් ලෙස සැලකෙන්නකි.  මේ නිසා ට්‍රම්ප් සහ සෞදිය අතර සබඳතා ශක්තිමත් වීම ඉරානයට එරෙහි ඇමෙරිකානු වැඩපිළිවෙළේ අලුත් අවදියක් සනිටුහන් කරන්නක් ලෙසද සැලකෙයි. ඉරානයට එල්ල වූ ප්‍රහාරයට උත්තේජනය සැපයූ එක් සාධකයක් ලෙස ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර ඉරානයට එරෙහිව පසුගියදා ඇති වූ අලුත් එකඟතාවන්ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය සෞදි අරාබියට චෝදනා කරන්නේද මෙම පසුබිම තුළය.
පසුගියදා කටාර් රාජ්‍යය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදිය ඇතුළු ඔවුන්ගේ මිතුරු රටවල් කිහිපයක් ගත් තීරණයද මෙහිදී අවධානයට හසු විය යුතුය. මෙයද එක්තරා ආකාරයකින් ඉරානය හුදෙකලා කිරීමට ගත් පියවරක් ලෙස සැලකෙන්නේ මෑත කාලයේ කටාර් රාජ්‍යය සහ ඉරානය එකිනෙකාට වඩාත් සමීප වන ආකාරයක් දැකිය හැකි වූ හෙයිනි. රාජ්‍ය තාන්ත්‍රික තහංචි හරහා කටාර් රාජ්‍යයට බලපෑම් කිරීම මගින් ඔවුන් සහ ඉරානය අතර සබඳතා බිඳ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවද මෙහිදී කතාබහට ලක් වූ එක් මතයකි.
කෙසේ හෝ වේවා මේ වනවිට සෞදි අරාබිය සහ ඉරානය කේන්ද්‍ර කරගෙන මැද පෙරදිග තුළ අලුත් ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති බව පැහැදිලිව දැකිය හැකි අතර මෙම තත්ත්වය පසුගියදා සිදු වූ ට්‍රම්ප්ගේ සෞදි සංචාරය හා බැඳී ඇති බවටද අදහස් පලවෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉරානය සහ ඔවුන්ගේ මිතුරු රටවල් වන රුසියාව වැනි පාර්ශ්වද මෙහිදී නිහඬව සිටිනු ඇතැයි බලා‍පොරොත්තු විය නොහැක. පාර්ලිමේන්තුව තුළ සහ කොමෙයිනි සොහොන් ගැබ අවට සිදු වූ ප්‍රහාරයෙන් පසු ඉරාන හමුදා ප්‍රධානියකු  පවසා තිබුණේ මේ පිටුපස සිටින අයගෙන් පළිගැනීමට ඉරානය පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය.

නිහාල් පීරිස් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.