lakbima.lk

ජුනි 8 වැනි දින පැවැති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය බොහෝදෙනෙකු බලා‍පොරොත්තු වූවක් නොවීය. බොහොමයක් දෙනා කල්පනා කළේ මෙම මැතිවරණයෙන් අගමැතිනි තෙරේසා මේ නායකත්වය දරන කොන්සර්වේටිව් පක්ෂය  විශාල ජයග්‍රහණයක් දිනා ගනු ඇතැයි කියාය. නමුත් මේ වනවිට ලැබි ඇති ප්‍රතිඵලය එම පක්ෂය අපේක්ෂාවෙන් සිටි ප්‍රතිඵලය නොවන අතර අගමැතිනියද ලොකු අර්බුදයක හෙලන්නට එය සමත් විය. ඇයට ඉල්ලා අස්වන ලෙස කෙරෙන ඉල්ලීම් පවා පසුගිය දිනවල ඉදිරිපත් වනු දැකගන්නට ලැබිණි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ පසුබිම කුමක්ද?
මෙවර මහා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය බොහෝ දුරට තෙරේසා මේ ගේ වුවමනාව මත සිදුවූවක් ලෙසිනි සැලකෙන්නේ. බ්‍රිතාන්‍යයේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේය. නමුත් එය වසර ගණනකින් ඉදිරියට ගැනීමට අගමැතිනිය තීරණය කළාය. එයට හේතුව ලෙස ඇය ප්‍රධාන වශයෙන්ම පෙන්වා දුන්නේ මේ වනවිට ආරම්භ වී ඇති බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය (බ්‍රෙක්සිට්) හා සම්බන්ධ කාරණයකි.

පසුගිය වසරේ පැවැති ජනමත විචාරණයකදී බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කළේ එරට යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුය කියාය. එම තීරණය අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා වන  නිල ක්‍රියාවලිය දැන් ආරම්භ වී තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වූ පසු ඔවුන් දෙපාර්ශ්වය අතර ගණුදෙනු සිදුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාද තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාවලදී බ්‍රිතාන්‍යයට වැඩි වාසි හිමිවන ආකාරයේ ගිවිසුම්වලට එළැඹීමට නම් දැනට වඩා ශක්තිමත් පදනමක සිට යුරෝපා සංගමය සමග කේවල් කළ යුතුව ඇති බව අගමැතිනියගේ ස්ථාවරය විය. එම ශක්තිමත් පදනම ඇති කර ගැනීමට නම් දැනට වඩා ශක්තිමත් ආණ්ඩුවක් ඇති කර ගත යුතු බවද ඇය පවසා සිටියාය. නමුත් සිදු වූයේ ඇය අපේක්ෂා කළ දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. කලින් තිබූ ශක්තිමත් බවත් මෙවර ඇති කර ගැනීමට කොන්සර්වේටිව් පක්ෂයට නොහැකි විය.

2015 පැවැති මහා මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය ඩේවිඩ් කැමරන්ගේ නායකත්වය යටතේ  ආසන 330ක් දිනා ගන්නට සමත් විය. නමුත් මෙවර මැතිවරණයේදී ඔවුන්ට දිනාගත හැකි ව ඇත්තේ ආසන 317ක් පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විත වන අතර යම් පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීමට නම්  ආසන 326කට වඩා දිනාගත යුතුය. ඒ අනුව දැන් ඇති වී තිබෙන්නේ කොන්සර්වේටිව් පක්ෂයට තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයකි. මේ නිසා අගමැතිනිය ආසන 10 ක් දිනාගත් කුඩා පක්ෂයක් වන ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය (Democratic Unionist Party) සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානම් වෙමින් සිටියි.

කෙසේ හෝ වේවා,  තෙරේසා මේ මෙවැනි හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය ගැන ඇගේ කොන්සර්වේටිව් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් කැමැත්ත දැක්වූයේ නැත. එය අනතුරුදායක කටයුත්තක් බව දැන සිටි බැවිනි. දැන් ලැබි ඇති ප්‍රතිඵලය ඔවුන්ගේ සැකසංකා තහවුරු කර ඇති අතර මේ නිසා අගමැතිනිය වෙත විශාල පීඩනයක් එල්ල වන්නට පටන්ගෙන තිබේ. ඇතැමුන් පවසා සිටින්නේ ඇය පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මේ වනවිටත් ඇගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශකයන් කිහිපදෙනෙකුටම ඉල්ලා අස්වීමට සිදුව ඇත.

මේ අතර කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන  කම්කරු පක්ෂය (Labour Party) මෙම මැතිවරණයේදී අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉදිරියට පැමිණ සිටීමද කොන්සර්වේටිව් පක්ෂය මත අමතර පීඩනයක් ඇති කිරීමට සමත්ව තිබේ. ජෙරමි කෝබින් ගේ නායකත්වය යටතේ එම පක්ෂය විශාල ඉදිරි පිම්මක් තබා ඇති අතර පසුගිය මැතිවරණයේදී දිනා සිටි ආසන 229 ආසන 262ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටියි. වාමාංශික නැඹුරුවක් සහිත ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් කම්කරු පක්ෂය මේ ආකාරයෙන් පෙරට ඒම මේ වනවිට ලොව පුරා විශාල අවධානයක් දිනාගත් කාරණාවක් බවට පත්ව ඇත. පසුගිය දා ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා හිලරි ක්ලින්ටන් සමග තරග කළ, වාමාංශික අපේක්ෂකයෙකු වූ බර්නි සැන්ඩර්ස් ද ජෙරමි කෝබින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුට සුබ ප්‍රාර්ථනා කර තිබිණි.

මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයේදී පක්ෂවල අවධානයට යොමු වූ ජාතික ප්‍රශ්න අතර වඩාත් කැපී පෙනුණු ඒවා කිහිපයක් විය. ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය ඉන් එකකි. එමෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ක්‍රියාවලිය(බ්‍රෙක්සිට්)  හා බැඳුණු කාරණාද විශාල වැදගත්කමක් ගත්තේය. තවත් කැපී පෙනුණු කාරණයක් වූයේ බ්‍රිතාන්‍යයට පැමිණෙන සංක්‍රමණිකයින් නිසා ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයයි. එසේම රට තුළ වැඩි වෙමින් තිබෙන ඇති-නැති පරතරයද, පීඩිත ජනකොටස් මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික ගැටලු ද ප්‍රධාන තැනක් ගත්තේය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය මෙවර මේ ආකාරයෙන් ඉදිරියට ඒමට වැඩි වශයෙන්ම බලපෑවේ ඔවුන් ඉහත කී පීඩිත, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මැතිවරණ ‍පොරොන්දු බව පෙනී යයි. තෙරේසා මේ ගේ කොන්සර්වේටිව් පක්ෂය බ්‍රෙක්සිට් වැනි කාරණා ගැන වැඩි උනන්දුවක් දක්වද්දී කෝබින් සාමාන්‍ය ජනතාවට සෘජුව බලපාන ගැටලු ගැනද කතා කරමින් වඩාත් ඔවුන් අතරට යාමට සමත්ව ඇති ආකාරයක් පෙනේ. ඔහු විශේෂයෙන් තරුණ පරපුර අතර ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත්ව තිබිමද විශේෂ අවධානයට ලක්වන්නකි. මැතිවරණය සම්බන්ධයෙන් නිකුත්ව ඇති ජනමත සමීක්ෂණවලට අනුව අවුරුදු 18- 24 අතර වයස් කාණ්ඩයේ අයගෙන් තුනෙන් දෙකක් පමණ සහය දී ඇත්තේ කම්කරු පක්ෂයට බව සඳහන් වෙයි. එමෙන්ම වයස අවුරුදු 25-34 අතර කාණ්ඩයේ අයගෙන් සියයට 50ක් පමණ එම පක්ෂයට සහයෝගය දී ඇති බව සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යය තුළ කාලයක් තිස්සේ පවතින සුළුතරයකට පමණක් වරප්‍රසාද හිමි කර දෙන සම්ප්‍රදායික දේශපාලන, ආර්ථික සැකැස්ම පිළිබඳව තරුණ පරපුර තුළ ඇති විරෝධය මෙන්ම අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍රවල සහන ලබා දීම සඳහා කම්කරු පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ආදිය මෙහිදී වැදගත් සාධක ලෙස ක්‍රියා කර ඇති බව පෙනේ. තරුණ පරපුර මෙම දිශාවට ඒකරාශී කිරීමේදී සමාජ මාධ්‍යද විශාල කාර්යභාරයක් ඉටු කළ අයුරු දැකිය හැකි විය. එමෙන්ම පුද්ගල චරිතයක් ලෙසද කෝබින්  තෙරේසා මේ ට වඩා ජනතාවට ආකර්ෂණීය කෙනෙකු බව පෙනී යයි. ඔහු ඉතා සරල ගති පැවතුම් ඇති, අව්‍යාජ බවක් පල කරන චරිතයක් ලෙස ජනතාවගේ ආදරය දිනා ගනිමින් සිටින බව දැකිය හැකි වෙයි.

තෙරේසා මේ මෙවැනි හදිසි මහා මැතිවරණයක් කැඳවීමේදී විශ්වාසය තැබූ ප්‍රධාන කාරණයක් විය. ඒ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවති ජනමත විචාරණයේදී වැඩි පිරිසක් ඡන්දය දුන්නේ එසේ වෙන්වීම සඳහා වීමයි. ඒ අනුව රට තුළ පැවතියේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ මානසිකත්වයක් යයි පැවසීය හැකිය. තෙරේසා විශ්වාසය තැබුවේ මෙම තත්ත්වය මතය. මෑත කාලයේදී ඇයද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටි නායිකාවක වූ අතර මැතිවරණයේදී ඇය ඉල්ලා සිටියේ එම වෙන්වීමේ කටයුත්ත බ්‍රිතාන්‍යයට වාසිදායක ආකාරයෙන් ඉටු කර ගැනීම සඳහා ජනවරමකි. තෙරේසා මේ මෙම කාරණය ගැන වැඩි අවධානයක් යොමු කරමින් මැතිවරණ සටන මෙහෙයවුවද ජනතාවට ඊට වඩා හෝ ඒ තරමටම හෝ වැදගත් වූ වෙනත් කාරනාද පැවති බවය මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ.

එමෙන්ම ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කාරණය සම්බන්ධයෙන් වුවද ඇය දැරූ සමහර ආකල්ප සමග ඇතැමුන්ට ගැටලු පැවති බවයි. එහිදී ඇය දැරූ ඇතැම් ස්ථාවරයන් තද වැඩි බවද, ඒවා බ්‍රිතාන්‍යයට දිගු කාලීන වශයෙන් හානිකර බවද සමහරුන්ගේ අදහස වූ බව පෙනිණි. කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් ඒ සම්බන්ධයෙන් ඊට වඩා මෘදු, මධ්‍යස්ථ ආකල්පයක් දැරූවෙකු ලෙස සැලකුණු අතර එම පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵලයට එයද දායක වූ ආකාරයක් දැකිය හැකිය.

මැතිවරණය ආසන්නයේ බ්‍රිතාන්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරද කෝබින් ඉතා ශූර ලෙස තෙරේසා මේ ට එරෙහිව යොදා ගත්තේය. මෙම ප්‍රහාරවලට එක් හේතුවක් ලෙස කෝබින් පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවල පවතින දුර්වලතාය. මෙවැනි දුර්වලතා හටගත්තේ තේරේසා මේ කලකට පෙර ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරිය ලෙස කටයුතු කළ කාලයේ ආරක්ෂක අංශ වෙත ලබා දෙන ප්‍රතිපාදන අඩුකිරීමට ගත් තීරණය නිසා බවට ඔහු තර්ක කළේය. මෙවැනි සාධකද ඡන්දදායකයන් තෙරේසාගෙන් ඈත් කර කෝබින් වෙත සමීප කරන්නට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය.

කෙසේ හෝ වේවා බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටි සංකීර්ණ දේශපාලන, සමාජ ආර්ථික තත්ත්වය මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග වඩාත් බරපතල වී ඇති බව නිසැකවම පැවැසිය හැක්කකි. මේ තුළින් පෙනී යන්නේ රට තුළ විශාල බෙදීමක් වර්ධනය වෙමින් පවතින බවයි. මේ අතර තෙරේසා ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂයේ සහය ඇතිව පිහිටුවන්නට යන සුළුතර ආණ්ඩුවට වැඩි ආයුෂ නොතිබෙන්නට  ඉඩ ඇති බවටද අනතුරු ඇඟවීම් පළවෙනු දැකිය හැකි වෙයි. ඊට හේතුව මෙම පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර පවතින සමහර වෙනස්කම්ය. මෙම ව්‍යාකූලත්වය මත ළඟදීම නැවතත් මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවන තත්ත්වයක් වුව ඇති විය හැකි බවටද අදහස් පලවෙනු දක්නට ලැබේ.

නිහාල් පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.