lakbima.lk

සුප‍්‍රසිද්ධ ලිබර්ටි ප‍්‍රතිමාව ඉදි කර තිබෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් වරාය මැද පිහිටා තිබෙන ලිබර්ටි දූපතේය. එක අතක පොතකුත් එක අතක ගිනිසිළුවකුත් තබාගත් කාන්තාවකගේ රූපයක් මෙම ලිබර්ටි ප‍්‍රතිමාවෙන් නිරූපණය වේ. එය ඇමෙරිකාවේ සංකේතයක් ලෙසද වර්තමා නය වනවිට භාවිත වේ. එසේ වුවද ලිබර්ටි ප‍්‍රතිමාව ඉදි කිරීම සහ එය වටා බැඳුණු අප‍්‍රසිද්ධ වූත් අපූර්ව වූත් කතා බොහොමයකි.
මෙම ප‍්‍රතිමාව ඉදිකර තිබෙන්නේ ප‍්‍රංශයෙන් ඇමෙරිකාව ලද ත්‍යාගයක් ලෙසය. ඒ ඇමෙරිකානු විප්ලවය පැවැති කාලයේ ප‍්‍රංශයත් ඇමෙරිකාවත් අතර තිබුණු මිත‍්‍රත්වයේ සංකේතයක් ලෙසිනි. නමුත් සත්‍ය වශයෙන්ම ඇමෙරිකාවට ප‍්‍රංශයෙන් මෙවැනි ප‍්‍රතිමාවක් ත්‍යාගයක් ලෙස කිසිසේත්ම වුවමනා වී තිබුණේ නැත. මන්ද යත් එය ත්‍යාගයක් ලෙස ලැබුණද එය සවි කිරීම සඳහා ස්ථානයක්, සවි කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, නඩත්තු කටයුතු ආදිය සඳහා අති විශාල මුදලක් අවශ්‍ය වීමත් එතරම් මුදලක් වැය කිරීමට ඇමෙරිකානු රජයේ කැමැත්තක් නොතිබීමත් නිසාය.
ප‍්‍රතිමාව නිර්මාණය කිරීමට පෙර ප‍්‍රංශ රජය ඇමෙරිකාවට දන්වා තිබුණේ තමන් මෙවැනි ප‍්‍රතිමාවක් තෑගි කිරීමට බලාපොරොත්තු වන බවත් එය සවි කිරීම සඳහා පාදමක් නිර්මාණය කරන ලෙසත්ය. මේ සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීම සඳහා ඇමෙරිකානු රජයට මහත් වෑයමක් කරන්නට සිදුවිය. ඔවුන් සිය කලා කෘති රැසක් මහජන ප‍්‍රදර්ශණය සඳහා තැබීමත්, යම් යම් කලා කෘති වෙන්දේසි කිරීමත්, ලොතරැයි දිනුම් ඇදීම් පැවැත්වීමත් ආදිය සිදුකරන ලදී. මෙම පාදම සඳහා පමණක් වැය වූ මුදල 1870 කාලයේදී ඇමෙරිකානු ඩොලර් 102000ක් වූ අතර අද වනවිට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක පමණ අගයකි. එය ඇත්ත වශයෙන්ම ඇමෙරිකානු රජයට එය දැවැන්ත මුදල් නාස්තියක් ලෙස ඒ වනවිට පෙනී ගොස් තිබිණි.
මෙය නිර්මාණය කර තිබුණේ ප‍්‍රංශ ජාතික ෆේ‍්‍රඩරික් බාර්තෝඩි නම් ශිල්පියා සහ අයිෆල් කුලූන නිර්මාණය කළ ගුස්ටාව් අයිෆල් නම් ශිල්පීන් දෙදෙනා විසිනි. එය සාමාන්‍ය කාන්තා රූපයක් ලෙස නිර්මාණය කළද සැබවින්ම ප‍්‍රතිමාවේ මුහුණ බාර්තෝඩිගේ මවගේ මුහුණුවරට සියයට සියය ක්ම සමාන විය. බාර්තෝඩි සිය මව ඇමෙරිකාව තුළ අමරණීය චරිතයක් බවට පත් කළ ආකාරයයි ඒ. නමුත් සමහරුන් පවසන්නේ එය අතීත රෝමයේ ජීවත් වුණු goddess of liberty දෙවගන බවයි. ඒ නිසා මෙය ලිබර්ටි ප‍්‍රතිමාව ලෙස නම් කර ඇති බවත් පැවෑසේ. නමුත් මෙහි සත්‍ය නම liberty enlightening the world ය. ඒක කෙටි කර statue of liberty ලෙස හඳුන්වයි. මෙම ප‍්‍රතිමාවේ අනුරුවට සෑදූ ප‍්‍රමාණයෙන් කුඩා ප‍්‍රතිමා රැසක් ප‍්‍රංශයේ විවිධ ස්ථානවල සවි කර තිබේ.
1884 වසරේ ජුලි මාසයේ සාදා නිම කළ ප‍්‍රතිමාව, කොටස් 350 කට වෙන් කර පෙට්ටි 214 ක අසුරා නැව් මගින් ඇමෙරිකාවට ප‍්‍රවාහනය කර තිබිණි. 1885 ජුලි මාසයේ ප‍්‍රතිමාවේ කොටස් නිව්යෝක් නගරයෙදී එකට සවි කර 1886 ඔක්තෝබර් මාසෙ 28 වෙනිදා එය නිරාවරණය කරන ලදී. මේ ප‍්‍රතිමාවෙ උස අඩි 305 කි. එය සාදා ඇත්තේ තඹවලිනි. මුල් කාලයේ ළා කහ පැහැයට හුරු රන් පැහැයෙන් තිබූ ප‍්‍රතිමාව පසු කාලයේ කොල පැහැයට හැරී තිබුණේ ද කඅ නිසා ය. ප‍්‍රතිමාව නිම කර ඇත්තේ  එය නරඹන්නට පැමිණෙන්නන්ට ප‍්‍රතිමාව ඇතුළෙන් මුදුණටම නැගිය හැකිවන ලෙසය. ලිබර්ටි ප‍්‍රතිමාවේ සම්පූර්ණ බර මෙටි‍්‍රක් ටොන් 204 කි. එය හොඳින් වැඩුණු අප‍්‍රිකානු ඇතුන් 40 දෙනෙකුගේ බරට සමාන වේ. ප‍්‍රතිමාවෙ සිටින කාන්තාව පැළඳ සිටින සපත්තුවේ ප‍්‍රමාණය ‘879’ බව විශ්වාස කිරීමට පවා හැකි නොවේ. 
ලිබර්ටි ප‍්‍රතිමාවේ සිටින කාන්තාව අතින් ගෙන සිටින ගිනිසිළුවෙන් නිරූපණය වන්නේ Enlightenment නොහොත් අවබෝධය හෝ ආලෝකනය යන්නයි. මෙම ගිනි දැල්ල සාදා තිබෙන්නෙ කැරට් 24 දඹ රත්තරන්වලිනි. ඇගේ අනිත් 
අතේ තිබෙන පොත ඇමෙරිකාවේ නිදහස් කෙටුම්පතයි. ඇමෙරිකාව බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබූ 1776 ජුලි 4 දිනය මෙම කෙටුම්පතේ මුල් පිටුවේ සටහන් කර තිබේ. ඇය සිය හිසේ පැළඳ සිටින උල් 7ක් තියෙන ඔටුන්නෙන් නිරූපණය වන්නේ සප්ත මහා සාගරයයි. ප‍්‍රතිමාවේ සිටින කාන්තාවගේ පාදවල කැඞී ගිය දම්වැල් කැබලි දෙකක් පෙනෙන්නට තිබේ. ඉන් නිරූපණය වෙන්නේ ‘ඇමෙරිකානු ජාතිය වහල් බවින් මිදී සිටී’ යන්නයි. වර්තමානය වනවිට ලිබර්ටි ප‍්‍රතිමාව පිහිටා ඇති ලිබර්ටි දූපත සියලූ රෝග සඳහා නිරෝධානයන කලාපයක් බවට පත්කර තිබේ.
 
දුලංජලී මුතුවාඩිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.