lakbima.lk

අහසින් වැටුණු අමුතු වැසි

 

වර්ෂාපතනයක් ලෙස අප හඳුනාගන්නේ කුඩා ජල වාෂ්ප පතිත වීමක් වුවත් සමහර කාල පරිච්ඡේද වලදී විවිධාකාරයේ පතනයන් දැක ගත හැකි ය.  ලෝකයේ විවිධ ප්‍රදේශ වෙත පතිත වූ අපූරු වැසි වල සිදුවීම් කිහිපයකි මේ.   මින් සමහරක් සිතා ගැනීමටත් නොහැකි අපූරු සිදුවීම්.

මකුලු වර්ෂාව

අහසින් මිලියන ගණනාවක මකුලුවන් බිමට පතිත වුවහොත් දැනෙන හැඟීම කුමක් ද?  ඒ හැඟීම කුමක් වුවත් ඕස්ට්‍රේලියාවේ 2015 දී පතිත වූ මකුලු වර්ෂාවත් බ්‍රසීලයේ සාඕ පෝලෝ අගනුවර වෙතටත් ඇද හැලුණු මකුලු වර්ෂාව මේ අතරින් සුවිශේෂයි.බ්‍රසීලයට පතිත වු මකුලු විශේසය පියෑඹීමට හැකි  මකුලු විශේෂයක් ලෙසයි සොයා ගැණුනේග මොවුන් සිය අභිජනන කාල සමයන්හි දී මෙලෙස පියාසැරීම සිදු කරන බවයි පැවසෙන්නේග. එම විශේෂයේ විද්‍යාත්මක නාමය වන්නේ Anelosimus eximius spiderයි. එමෙන් ම මොවුන් සාමාන්‍යයෙන් මීටර් 65ක් කරම් උස් ගස් එකට යා කරමින් දැල් වියනා අතර හදිසි සුළං ප්‍රහාර හමා ඒමෙන් මොවුන් කැදළි පිටින් ගසා යෑම සිදු විය හැකියි.

ගෙඹි වැසි

ශුද්ධ වූ බයිබලයට අනුව ගෙම්බන් වැටීම විසල් ශාපයක පෙරනිමිත්තක් බවයි සැළකෙනුයේ. විද්‍යානුකූලව මෙවන් ගෙඹි වර්ෂා සහ ඉස්ගෙඩි වර්ෂා තද සුළං ප්‍රවාහ සමඟ ඇදී යා හැකියි. එමෙන් ම ටෝර්නාඩෝවක් වැනි විශාල ප්‍රවාහ සමඟ වුව ද මෙවන් වර්ෂා ඇති විය හැකියි. ඉතිහාසය පිරික්සන විටදී 1873 දී  ඇමෙරිකාවේ කැන්සාස් නුවරටත් 1901 දී මිනොසෙටාවටත් 1981 දී ග්‍රීසියටත් මෙවැනි ගෙඹි වර්ෂා පතිත වී ඇත.  ග්‍රීසියට පතිත වූ ගෙඹි වර්ෂාවේ පුදුමය වනුයේ එම ගෙම්බන් උතුරු අප්‍රිකාවට ආවේණික සතුන් විශේෂයක් වීමයි.

මත්ස්‍ය වැසි

මත්ස්‍ය වැසි අප වැනි නිවර්තන කලාපීය රටවලට අරුමයක් නොවේ. මන්ද ඇති විය හැකි ජල තල ආසන්න දැඩි සුළං ප්‍රවාහ කැළඹීම් හේතුවෙන් මෙම මත්ස්‍ය වැසි සිදුවීම සාමානය වේ. ඉහත කිවූ  ගෙඹි වර්ෂා වලටත් වඩා ඉතා ඉක්මණින් මත්ස්‍ය ප්‍රවාහ සිදු විය හැකියි.  මන්ද මත්ස්‍යයින්ගේ අනාකූල හැඩය නිසා ඔවුන් පහසුවෙන් ඉහළ යාම සිදුවෙයි.ලෝක වර්ෂා ඉතිහාසය තුළ ලෝකයේ විවිද ස්ථාන තුළ මත්ස්‍ය වර්ෂා හට ගෙන ඇත. 2014 දී ශ්‍රී ලංකාවේත් 1948 දී එංගලන්තයෙනුත් 1966 දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරිනුත් 1861 සිංගප්පූරුවෙනුත්    මත්ස්‍ය වර්ෂා වාර්තා විය. ඉන්දියාවට වරක් පතිත වූ මත්ස්‍ය වර්ෂාව තදබල වූයේ එම මත්ස්‍යයින් රාත්තල් 8ක් තරම් බර වීම හේතුවෙනි.

පණු වර්ෂා

බිම් පණුවන් කැදලි පිටින් පතිත වීමක් 2001 වර්ෂයේ මාර්තු 14 වැනි දා Galashiels Academy නම් එංගලන්ත පාපන්දු පිටියකින් වාර්තා විය. මෙම පණු වර්ෂාව හට ගෙන ඇත්තේ පැහැබර කාලගුණයක දී වීම විශේෂත්වයක්. මෙවැනිම පණු වර්ෂාවක් 2007 දී ඇමෙරිකාවේ ලුසියානා  ප්‍රාන්තයේ නගරයක් වූ ජෙනින්ග්ස් වෙතින් වාර්තා විය.

එළදෙනක් අහසින් පතිත වීම

1997 වර්ෂයේ දී අනතුරට පත් වූ  ජපන් ජාතික මසුන් මරණ ‍බෝට්ටුවක් රුසියානු නාවුකයන් විසින් බේරාගන්නා ලදී. අනතුර වූයේ කෙ‍සේ දැයි විමන විට පවසා ඇත්තේ අහසින් වැටුණු එළදෙනක් සිය බෝට්ටුව මතට කඩා වැටීම  හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි. කෙසේවෙතත් මෙම අද්භූත කතාව විස්වාස නොකළ රුසියානු           නායකයින් මෙම මසුන් මරන්නන් අත් අඩංගුවට ගන්නා ලදී. සිදුවීමෙන් සති 2කට පසු රුසියානු ගුවන් හමුදා සාමාජිකයෙකු දන්වා ඇත්තේ සොරාගත් එළදෙනක් පටවා ගෙන යන අතරතුරේ දී එම එළදෙන ගුවනේ දී කලබල කිරීම හේතුවෙන් ගුවන්යානයෙන් එම එළදෙන බිමට පතිත කර බවයි. ඒ අනුව එළදෙන මෙසේ වැටී ඇත්තේ අඩි 30 000ක උසිනි.

මුදල් වර්ෂා

ඕනෑම කෙනෙකු ආස හිතෙන පුදුම සහගත වර්ෂාව වනුයේ මුදල් වර්ෂාවයි. ඉතිහාසය පිරික්සන විට  දී 1957 දී ෆ්‍රෑන්ක් 1000 කොළ දහස් ගණනක් ප්‍රංශයේ බර්ග්ස් වෙත පතිත විය. එමෙන්ම 1975 දී ඩොලරයේ නෝට්ටු 588ක් චිකාගෝවේ ඉලිනොයිස් ප්‍රාන්ත මතට කඩා වැටිණි. 1968 දී අහසින් කාසි පෙට්ටියක් බිමට පතිත වූ අතර පෙට්ටිය කැඩී යාමෙන් ලක්ෂ ගණනක කාසි බිම පතිත විය. පුදුම සහගත කරුණ නම් එම ස්ථානයෙන් ගුවන්යානයක් පියාසර නොකර අතර උස් ගොඩනැගිල්ලක් ද නොවීය.  

 

උත්පලා ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.