lakbima.lk

දවස් 65 කට අඳුරේ ගිලෙන ඇමරිකාවේ උතුරු කෙළවරේම පිහිටි නගරය

සෑම වසරකම දවස් 65 ක් නොකඩවා අඳුරේ ගිලෙන්නාවූ ද දින 85 ක් හිරු එළිය පතිත වන්නා වූ ද  අැමරිකාවේ උතුරු කෙලවරේම පිහිටි නගරය ලෙස හඳුනා ගැනෙන්නේ ඇලස්කාවේ උට්ක්වියාවික් නගරයයි. පසුගිය නොවැම්බර් 18 දා දින 65 ක් සඳහා හිරු නොපෙනී ගිය අතර නැවතත් හිරු උදාව සිදු වන්නේ ජනවාරි 23 දවල් 1 ටය.

ධ්‍රැවීය රාත්‍රීන් එළඹෙන භූ පරාසයට අයත් මෙම නගරයේ  ඉපැරණි නාමය වන්නේ 'බැරෝ' ය. මෙහි  මුලු ජනගහණය 4400 කි.  නගරවාසීන්ගේ  අවශ්‍යතා පිරිමැසීම සඳහා සෑම ගිම්හානයකම ‍ෆෙරී බෝට්ටු මඟින් භාණ්ඩ ප්‍රවාහනය කෙරේ. නගරයේ භාණ්ඩ හා සේවා ඉතා මිල අධික වන අතර දැරිය නොහැකි තරම් බඩු මිල ඉහළ නඟින්නේ සීත කාලයේ දී  ය.

නගරවැසියන් ගේ මූලික අවශ්‍යතා සපිරෙන ලෙස උසස් පාසලක් ,රෝහලක්, භාණ්ඩ මධ්‍යස්ථානයක් හා බැංකුවක් පවතියි. මෙහි ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වන්නේ සැහැලල්ලු ගුවන් යානා ය. ගිම්හානයේ දී පවා ඉතා සීත කාලගුණයක් පවත්නා බැවින් එහි වැසියන්ගේ ජීවිතය අන් කලාප වල මිනිසුන්ට වඩා අතිශයින් වෙනස් ය. සීත කාලයේ දී මාර්ග සොයා ගැනීම දුෂ්කර බැවින් බල්ලන් සමඟ ගමන් යාම මෙම වැසියන්ගේ පුරුද්දකි.

මේ වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් ලෙස වාර්තා වේ. කෙසේ වෙතත් ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් මෙම නගරය මුහුදු ජලයට යට වීමේ තර්ජනයට මුහුණපාමින් සිටියි. 

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.