lakbima.lk

ඉන්දු- පාකිස්තාන යුද්ධයක් නතර කළ ගුවන් නියමුවා


ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති සීතල යුද්ධය මෙන්ම ඉන්දු - පාකිස්තාන් දේශසීමාවේ පිහිටි කාශ්මීරයට අයිතිවාසිකම් කියන දෙරට අතර සිදුවන ගැටුම් බොලිවුඩ් චිත්‍රපටවලට වස්තු විෂය වූයේ වරක් දෙවරක් නොවේ. මෑත භාගයේ එවැනි කතා ඇතුළත් චිත්‍රපට තුනක් බෙහෙවින් කතාබහට ලක්විය. මේ අතරින් සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය රඟපෑ බජිරන්ගි බායිජාන් චිත්‍රපටයට පාකිස්තානයේ සිට ඉන්දියාවට පැමිණ අතරමං වන කුඩා දැරියක් නැවත පාකිස්තානයට ගෙන ගොස් භාරදෙන තරුණයෙකු මුහුණදෙන අත්දැකීම් ඇසුරින් තැනුනකි.

සත්‍ය පුවතක් නොවුණද සිනමා රසිකයන් මහත් ආදරයෙන් වැලඳගත් මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳදමමින් තිරගත වූවකි. දෙවැන්න රන්දීප් හුඩා ප්‍රධාන චරිතය රඟපාන සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ සර්බජීත් චිත්‍රපටයයි. සර්බජිත් සිං වැරදීමකින් දේශසීමාව පසුකොට පාකිස්තානයට ඇතුළු වූ ඉන්දීය ගොවියෙකු වූ අතර පාකිස්තානයේ ඊට මාස තුනකට පෙර සිදුවූ බෝම්බ ප්‍රහාරයන් ඔහු විසින් සැලසුම් කළ බව කියමින් ඔහු සිරගත කරන්නට පාකිස්තාන රජය කටයුතු කළේය.

1991 වසරේදී සිරගත කරන ලද සර්බජිත් 2013 වසරේදී සිරකරුවන් පිරිසකගේ පහරදීමෙන් මියගියේය. තුන්වැනි චිත්‍රපටය මනිරත්නම් අධ්‍යක්ෂණය කොට 2017 වසරේ තිරගත වූ කාත්රු වෙලියිදායි චිත්‍රපටයයි. ජනප්‍රිය නළු කාර්ති මෙහි රඟපාන්නේ පාකිස්තාන දේශසීමාවට තම ගුවන්යානය කඩාවැටීමෙන් පසු දිවි බේරාගත්තද පාකිස්තානයේ සිරකරුවෙක් වන ඉන්දීය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙසිනි.

චිත්‍රපටය වඩාත් සාර්ථකව නිර්මාණය කිරීමට නම් ගුවන් ගමන් හා යුද ගුවන් කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් බහුල ගුවන් හමුදා නිලධාරියෙකුගේ සහය ලබාගැනීමට මනිරත්නම් කල්පනා කළේය. එහිදී ඔහුට හමුවූ සුදුසුම පුද්ගලයාවූ විශ්‍රාමික එයාර් මාර්ෂල් සිම්හකුට්ටි වර්ධමාන් චිත්‍රපටයේ උපදේශකවරයා විය. ගුවන් නියමුවෙකු ලෙස විවිධ වර්ගයේ ගුවන් යානා හතළිහක ගුවන් සැතපුම් හාරදහසක් පියාසර කොට ඇති ඔහු 1974 වසරේ යුද ගුවන් නියමුවෙකු ලෙසද තම සේවය ලබාදී තිබේ.

කාගිල් ගැටුම් සමයේ ගුවාලියර් ප්‍රදේශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස ඔහු කටයුතු කළේය. කෙසේ වුවද මනිරත්නම්ගේ චිත්‍රපටයට උපදෙස් ලබාදී දෙවසරක් ගතවන්නට පෙර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මුහුණදෙන අත්දැකීමටම තම එකම පුත්‍රයා මුහුණ දෙන බව එදා මොනම ආකාරයකින්වත් ඔහු නොසිතූ බව නම් නිසැකය.
 පියා, බිරිය මෙන්ම පවු‍ලේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්දීය හමුදාවන්ට සම්බන්ධව සේවය කළ හා කරන තිස්අට හැවිරිදි වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් හසුරුවමින් සිටි මිග්-21 යුද ගුවන් යානය පසුගිය දිනයක පාකිස්තානයේ මිසයිල ප්‍රහාරයකට ලක්වූයේ ඒ දිනවල කාශ්මිර දේශසීමාවේ ගැටුම් හේතුවෙන් ඉන්දු පාකිස්තාන් යුද්ධයක් ඇවිලෙන තත්ත්වයක් තිබියදීය.

තම පැරෂුටය ආධාරයෙන් ඇවිළෙන  යානයෙන් පිටතට පැනගත් වර්ධමාන් වැටුණේ කබලෙන් ළිපටය. ඒ පාකිස්තාන දේශ සීමාවට සැතපුම් හතක් පාකිස්තානයට වන්නට පිහිටි හොරාන් නම් පාකිස්තානු ගම්මානයට ඔහුගේ පැරෂුටය පහත් වූ නිසාය. පැරෂුටයේ වූ ඉන්දිය කොඩියෙන් ගම්මු ඔහු හඳුනාගත් අතර මුලදී අභිනන්දන් සිතුවේ තමා සිටින්නේ ඉන්දියාවේ බවය. තමා සිටින්නේ පාකිස්තානයේ බව දැනගත්විට හඹා එන ගම්මුන් වෙත වෙඩි තබමින් අසල ‍පොකුණක් වෙත දිවගිය අභිනන්දන් තමා වෙත වූ ලියකියවිලි එහි ගිල්වාදැමූ අතර එසේ කළ නොහැකි වූ ලියවිල්ලක් කෑලිකොට ගිල දැමුවේය.

පන්ජාබයේ වගා දේශසීමා දොරටුව අසල නිදහස්ව එන ගුවන් නියමුවා පිළිගන්නට ඉන්දිය කොඩි රැගෙන සිය දහස් ගණන් ජනතාව රැස්වූයේ ඔහුගේ දේශමාමකත්වය ගැන තොරතුරු ඒ වනවිට රට පුරා පැතිර තිබූ බැවිනි. බොලිවුඩ් චිත්‍රපටයක සිදුවීම් සිහිගන්වන ඔහුගේ කතාව මොහොතින් මොහොත මුළු ඉන්දියාවම බලා සිටියේ දැඩි ආවේගයකිනි.

කෝපයට පත් පාකිස්තාන ගැමියන්ගෙන් අභිනන්දන් බේරාගන්නා පාකිස්තානු හමුදා භටයන් ඔහු රැගෙන යන ආකාරය දැක්වෙන විඩියෝවන් පාකිස්තානය විසින් විකාශය කරන ලද අතර ‍ලේ වැකුණු මුහුණින් යුතු ඔහුව ගැටගසා හා ඇස් වසා සිටියදී අභිනන්දන්ගෙන් පාකිස්තාන හමුදාව ප්‍රශ්න කරන ආකාරයද ප්‍රචාරය කරන ලද්දේ ඉන්දියානුවන් තුළ දැඩි කෝපයක් ඇතිකරවමිනි. තේ බොන අතරේ ඔහුගෙන් ප්‍රශ්න කරන ආකාරය තවත් වීඩියෝවක දැක්විනි. මෙහිදී දැඩි සංයමයකින් යුතුව පිළිතුරු දෙන අභිනන්දන් තම මෙහෙයුම හෝ ගුවන්යානය ගැන අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරයි.

පාකිස්තානයට ඇතුළුවූ මොහොතේ සිට අභිනන්දන් හැසිරුණු ආකාරය ඉන්දියානුවන්ගේ පමණක් නොව පාකිස්තානුවන්ගේද පැසසුමට ලක්වූ අතර පාකිස්තානුවන්ද ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා සිටි අය අතර වූහ.                                  

ගැමියන්ගෙන් ඔහු බේරාගැනීම ගැන පාකිස්තානයට ඇතැමුන් ප්‍රශංසා කරන අතරේ තවත් පිරිසකගේ විවේචනයට ලක්වූයේ අත්අඩංගුවට පත් පුද්ගලයෙකු සම්බන්ධ මෙවැනි විඩියෝවන් මාධ්‍යයට මුදාහැරීම අශීලාචාර බව කියමිනි. මෙය මානව හිමිකම් සම්බන්ධ ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවට මත පළවත්ම මෙම දර්ශන හා වීඩියෝවන් පාකිස්තාන රජය විසින් මකාදමා තිබිණි. නැවත ඉන්දියාවට පැමිණි පසු අභිනන්දන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන ලදුව ඔහුගේ සිරුරේ සීරිම් තුවාල රැසක් හා බිඳුණු ඉලඇටයක් ඇති බව සොයා ගන්නා ලදී.

පාකිස්තාන හමුදාව තමාව කිසිවිටෙකත් ශාරීරික හිංසාවන්ට ලක්නොකළද දැඩි මානසික පීඩනයකට ලක්කළ බව පසුව අභිනන්දන් කියා සිටී අතර බොහෝ සංස්කරණයන්ට ලක්කළ බව පෙනෙන ඔහු කතා කරන බව කියන අවසන් වීඩියෝවේදී කතා කරන විට වින්ග් කමාන්ඩර්වරයා දැඩි ලෙසම මානසික ආතතියෙන් පසුවු බව ගුවන් හමුදාවේ ප්‍රකාශක පවසා සිටියේය. මෙහිදී අභිනන්දන් පාකිස්තාන හමුදාව පසසන අතර ඉන්දීය මාධ්‍ය විවේචනය කරන ආකාරයක් පෙනෙයි.

 කෙසේ වුවද චිත්‍රපටයේදී සිදුවුවාක්මෙන් සැබෑ සොල්දාදුවෙකු වන තම පුත්‍රයාද අත්අඩංගුවෙන් මිදී හෝ නිදහස ලබාගෙන හෝ ගෙදර එන බව එයාර් මාෂල් වර්ධමාන් දැඩි ලෙස විශ්වාස කළේය. නැවත පැමිණි තම පුත්‍රයා පිළිගැනීමට ගුවන් මගින් නවදිල්ලිය වෙත ගිය වර්ධමාන් යුවළට ගුවන්යානයේ මගීන්ගෙන් හා කාර්ය මණ්ඩලයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

අභිනන්දන්ගේ මවද යුද කලාපවල තම සේවය නොමසුරුව ලබාදී ඇති වෛද්‍යවරියකි. 2004 වසරේ ඉන්දීය ගුවන් හමුදාවට බැඳුණු අභිනන්දන් විවාහවූයේද එහිදී පෙමින් බැඳුණු බලගණ නායිකා තාන්වි මහර්වා සමග වන අතර විවාහයෙන් පසු ඇය රැකියාවට සමුදුන්නාය. ඔවුන්ට එක් පුතෙක් වෙයි.

එකම සොයුරියද විදේශගතව ජීවත්වන බැවින් නිතර තම දෙමවුපියන්ගේ සුවදුක් බැලීමට අභිනන්දන් පුරුදුව සිටි බව ඔහුගේ මිතුරෝ කියති. තමිල්නාඩුවේ තිරුපනාමුර් ගම්මානයේ උපත ලැබූ අභිනන්දන් වර්තමානයේ පදිංචිව සිටින්නේ චෙන්නායි හීය. ඔහු ඉන්දිය ජාතික ආරක්ෂක ඇකඩමියේ උපාධිධරයෙකි.වැඩිදෙනෙකුට මේ වනවිට මතක නැතිවිය හැකි වුවද මීට වසර අටකට පෙර සහෝදර යුද ගුවන්යානා නියමු සෙබළුන් කිහිපදෙනෙක් සමග ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට අභිනන්දන් වර්ධමාන්ද සහභාගි වූවේය.

තෙදිනක් පාකිස්තානයේ රඳවාගෙන ප්‍රශ්න කරන ලද වින්ග් කමාන්ඩර්වරයා වහාම තම රටට භාරදෙන ලෙස ඉන්දියාව ඉල්ලා සිටි අතර සාමයට අත දිගුකිරීමක් ලෙස ඔහු නැවත ඉන්දියාවට භාරදීමට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගත් තීරණය මේ දිනවල ලොව පුරා ප්‍රසාදයට ලක්ව තිබේ. මෙම තීරණයට එරෙහිව පාකිස්තාන අධිකරණයට පැමිණිල්ලක් කෙරුණද එදිනම අධිකරණය එය නිශ්ප්‍රභ කළේය. 1999 වසරේ කාගිල් යුද සමයේද මෙවැනි සිදුවීමක් වාර්තා විය.

එහිදී පාකිස්තාන සීමාවේදී තම ගුවන්යානය අනතුරට ලක්වූ ඉන්දියානු යුද ගුවන් නියමුවෙකු වූ කාම්බාම්පති නාචිකේතා පාකිස්තාන් හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

දින අටකට පසු ඔහු නිදහස් කරන ලද අතර අත්අඩංගුවේ සිටි කාලයේදී තමා ශාරිරිකවද හිංසාවන්ට ලක්වූ බව ඔහු කියා සිටියේය.        

 අභිනන්දන් පමණක් නොව දැන් ඔහුගේ රැවුලද ඉන්දියාව පුරා ජනප්‍රියය. අභිනන්දන් කට් ලෙස හඳුන්වන මෙම රැවුල සකස් කරගැනීමට තරුණ පරපුර ලොකු උනන්දුවක් දක්වන අතරේ වසර පනහකට පසු ඇතිවන්නට ගිය ඉන්දු පාකිස්තාන යුද්ධයක් නතර කළ සිදුවීම ලෙස වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් ගේ කතාව ඉතිහාසයේ ලියැවෙනු ඇත.

 නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.