lakbima.lk

නයගරාව ගල්ගැහෙයි


පසුගිය ජනවාරි තිහ හා තිස්එක යන දිනවල ඇමෙරිකාවේ හා කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාව හරි අපූරු ඡායාරූපයක් ගනිමින් සිටියෝය. දැඩි සීතලට ඔරොත්තුදෙන ඇඳුමින් සැරසී උණුවතුර කෝප්ප රැගෙන පිටතට ආ ඔවුහු තමාගේ ඡායාරූපයක් ගන්නා ලෙස වෙන කෙනෙකුට පවරා එක්වරම මේ උණුවතුර විසිකළෝය. අහස දෙසට විසිකළ උණුවතුර එසැනින් ගල්වූ අතර තම රුව සහිතව එම අපූරු ඡායාරූපය සිහිවටනයක් කොට ඔවුහු නිවෙස් තුළට ඇදෙනු පෙණිනි.

මහමග යන වාහන සීතල හිම තට්ටුවක් අතුරාගෙන ගමන්ක‍ලේ අයිසින් කල කේක් ගෙඩි සිහියට නංවමිනි. සුන්දර නයගරා ඇල්ල සීතලට මිදී නිසොල්මනේ බලා සිටියදී නිවැසියන්ට උපදෙස් ලැබුණේ නිවෙස් තුළටම වී සිටින ලෙසටය. හදිසිය කට ඔවුන් මහමගට බැස්සේ හිසේ සිට දෙපතුල දක්වාම උණුසුම් කබාවලින් වසා ගෙනය. එවැන්නන්ගේ නිරාවරණව පැවැතියේ ඇස් බැම හා ඇසිපිය පමණක් වුවද ඒවායේද හිම තැවරී තිබෙන ආකාරය දැකිය හැකිවිය.

ඇමෙරිකාව හා කැනඩාව අතර මහා විල් සහිත ප්‍රදේශය තුළ විල් මත වලාකුළු මාවත් සැදුණේ හිම මිදී වළාකුළු හැඩයක් ගත්විටය. මේ සීතල සිදුකළ පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනකි. පාඩුව හරියටම ගණන් බලන්නට තව කල්ගතවනු ඇත. රිය අනතුරු හා හිම මැද අතරමංවීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ තැන් තැන්වලින් ‍පොලීසියට ලැබුණු දුරකතන ඇමතුම් ගණන වෙනදාට වඩා දස ගුණයකින් අධික බව කියැවිණි.
ජනවාරි මාසයේ අවසන් බාගයේ ඇරඹුණු මේ දැඩි සීත කාලගුණය විසින් ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි හා නැගෙනහිර කැනඩාවේ ජීවිත විසිදෙකක් බිලිගන්නා ලදී.

ධ්‍රැවාසන්නව පිහිටි අඩු පීඩනකාරි තත්ත්වයක් විසින් ඇති කරන ලද වාසුළියක් විසින් මෙම අසාමාන්‍ය සීත කාලගුණය ඇතිකරන ලද අතර එය එතෙක් මතෛක් මෙවැනි අසාමාන්‍ය කාලගුණයක් මෙම රටවලට බලපෑ
පළමු අවස්ථාව බවද කියැවෙයි. ජනවාරි විසිහතේ සිට විසිනවය දක්වා අඟල් දහතුනක් උසට හිම ඇතිකරමින් බලපෑ සීත කාලයේ සුළි කුණාටුවකට පසු මෙම අසාමාන්‍ය සීතල ඇතිවූ අතර පෙබරවාරි දෙවැනිදායින් පසු මෙම අඩු පීඩනකාරි තත්ත්වය බටහිර දෙසට ඇදෙමින් පවතියි. මෙම අසාමාන්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් සිදුවන කාලගුණ විපර්යාසයේ පෙර ලකුණු බව විශ්වාස කෙරේ.

මෙම අඩු පීඩනකාරි තත්ත්වය සාමාන්‍ය දෙයක් වුවද ‍පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන මෙය කොටස් කිහිපයකට කැඩී වෙන්වී යාම මෙවර ඇතිවූ අසාමාන්‍ය තත්ත්වයයි.

කැනඩාවේ ඇල්බර්ටා, මැනිටෝබා, නුනාවට්. ඔන්ටාරියෝ, කුබෙක් යන ප්‍රදේශවලටත් ඇමෙරිකාවේ මිනෙසොටා, ජෝර්ජියා, ඉලිනොයි, ඩිස්ට්‍රික් ඔෆ් කොලම්බියා, ඉන්ඩියානා, අයෝවා.මිචිගන්,නිව්යෝක්, උතුරු ඩැකෝටා, විස්කොන්සින් යන ප්‍රදේශවලට මෙම අධික සීතල බලපැවැත්විණි. මේ අතරින් කුබෙක් ප්‍රාන්තයට එක් දිනක් තුළදී සෙන්ටි මීටර් විසිපහක් උසට හිම වැටුණු අතර වසර සියයක් තුළ වැඩිම සීතලකින් හා වැඩිම හිමපතනයකින් යුතු දිනය ලෙස එය වාර්තා ‍පොත් අතරට එක්විය.

වසර දහයකට පසු ජනවාරියේ එහි පැවැත්වෙන සීත උත්සවය කල්දමන්නට සිදුවිය. එහි සීතලින් මියගිය අය අතර එරට හිටපු විපක්ෂ නායකවරයෙකුගේ අනූතුන් හැවිරිදි මවද විය. මහලු නිවාසයක සිටි ඇයව වැරදීමකින් එළියේ සිටියදී කිසිවෙකු විසින් දොර අගුළු දමා තිබූ අතර දැඩි සීතල මැද මියගොස් සිටියදී ඇගේ සිරුර හමුවිය. ඔන්ටාරියෝහි ඇතැම් ප්‍රදේශවලට පුරා පැය විස්සක් එක දිගට හිම වැස්සක් වැටී තිබුණි.

කුරුල්ලන්ට ආහාර දැමීමට ගොස් වැරදීමකින් නිවසේ දොර අගුළු වැටුණු අනූහැවිරිදි කාන්තාවක්ද පිටත දැඩි සීතලට මැදිව මියගොස් සිටියාය. ෂර්බෘෘක් ප්‍රදේශයේ නිවසක් ගිනිගත්තේ එහි සීතලට මිදුණු නළ මාර්ගවලින් අයිස් ඉවත් කිරීමට ගෙහිමියා පන්දමකින් ඒවා රත්කිරීමට යාමේදීය. ගිනි නිවන භටයින් පනස්පස් දෙනෙක් එක්ව පැය හතරක කාලයක් ගින්න නිවාදැමීමට ගතකළද දැඩි සුළං හේතු වෙන් වහා පැතිරුණු ගින්න නිවාදමන විට නිවෙස මුළුමනින්ම අළුවී ගොස්ය.

නිවෙස් හිමියා, බිරිය, සුරතල් සුනඛයන් දෙදෙනා හා බළලා ජීවිතය බේරාගන්නට සමත්වී සිටියෝය. මේ අතර දැඩි සීතල බලපැවැත්වූ ප්‍රදේශවල රෝහල් කාර්යබහුල වූයේ සීතල නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවුන්ගෙන් ඒවා පිරීයාම නිසාය. පෙන්සිල්වේනියාවේ හිම විසින් ඇතිකරන ලද අයහපත් කාලගුණික තත්ත්වය මැද එකදිගට වාහන විසිහතක් හැපී තිබුණු අතර දෙදෙනෙක් මෙහිදී බරපතළ තුවාල ලබා ඇත. නිව්යෝක් හි බෆලෝ ප්‍රදේශයේ එලෙස හැපුණු වාහන ගණන විසිඑකකි.

ජනවාරි තිස්එක්වැනිදා චිකාගෝ නගරය එතෙක් මතෛක් වැඩිම සීතලවූ දිනය ලෙස වාර්තාවූ අතර ජනවාරි තිස්වැනිදා ඉලිනොයි ප්‍රාන්තය එතෙක් මතෛක් වැඩිම සීතලකින් යුතුවු දිනය ලෙස වාර්තා විය. ඇමෙරිකාවේ දැඩි සීතල මැද පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දැමුණු අතර ජනවාරි තිහ හා තිස්එක දිනවල මෙම ප්‍රදේශවල ලියුම් බෙදීමද නතර කරන්නට සිදුවිය. අයෝවා ප්‍රාන්තයේ දහඅට හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවෙක් දැඩි සීතල හේතුවෙන් මියගොස් සිටියදී හමුව තිබිණ. මියගිය පිරිස තුනක්වූ මිචිගන් ප්‍රාන්තය තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

ලිවින්ස්ටන් ප්‍රාන්තයේ හෙල් නම් ප්‍ර දේශය ජනවාරි තිස්එක්වැනිදා මුඵමනින්ම හිම මිදී ගල්වී තිබිණි.ජනවාරි තිස්එක් වැනිදා ඇමෙරිකාවේ වැඩිම සීතලකින් යුතු ප්‍රදේශය ලෙස මිනෙසොටා හි කොට්න් ප්‍රදේශය වාර්තාවිය. නිව්යෝක් නගරයේ ප්‍රකට පදික වේදිකාව නිවස කොට ගත් මිනිසෙක් බස් නැවතුමක මියගොස් සිටියේ අධික සීතල හේතුවෙනි. හිම ඉවත් කරමින් සිටියදී සිහිසුන්වී ඇදවැටුණු විස්කොන්සින් ප්‍රාන්තයේ පනස්පස් හැවිරිදි පුද්ගලයෙක්ද අධිත සීතල හේතුවෙන් මියගිය අය අතර විය.

මියගිය අය අතරින් දෙදෙනෙක් හිම මත තම වාහනයේ ගමන් කිරීමේදී ඇතිවූ අනතුරකින්ද, එක් අයෙක් හිම ඉවත්කරන යන්ත්‍රයක වැදීමෙන්ද මියගොස් තිබේ. සීතල බලපෑ ප්‍රදේශවල ගුවන් ගමන් දෙදහස් හත්සියයක් ජනවාරි තිස්වැනිදාද, තිස්එක්වැනිදා ගුවන් ගමන් දෙදහ සක්ද අවලංගු කෙරුණු අතර දුම්රිය ගමන් රැසක්ද අවලංගු කෙරිණි. ඇතැම් තැන් වල දුමිරිය අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරවන ලද්දේ රේල්පීලි හොඳින් රත්කිරීමෙන් පසුවය. නිව්යෝක් නගරයේ බන්ධනාගාරයකට අවශ්‍ය උණුසුම ලබානොදීම හේතුවෙන් සිරකරුවන් දැඩි පීඩාවකට පත්වු අන්දම බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර චිකාගෝවෙන් වාර්තා වූයේ අසාමාන්‍ය සිදුවීමකි. ඒ නම නොකියු පුද්ගලයකු විසින් නිවෙස් අහිමි හැත්තෑදෙනෙකුට සීතල පහව යනතුරු සිටින්නට හෝටලයක් තුළ ඉඩ සැලසු ආකාරයයි. එම බිල ඔහු විසින් ගෙවන ලදී.

නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.