Coss Ear2
lakbima.lk
COSS Ear 1

උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට තවත් තර්ජනයක්

මේ වනවිට කොරියානු කලාපය තුළ ගිනියම් වෙමින් ඇති යුද ආතතිය තවත් පියවරකින් ඉදිරියට ගෙන යන ආකාරයේ සිදුවීමක් පසුගිය 11 වෙනි දින සිදු විය. එනම් ඇමෙරිකාවේ මූලිකත්වයෙන් යුතුව ඉදිරිපත් වූ යෝජනාවකට අනුව  උතුරු කොරියාවට එරෙහිව තවත් දරුණු  ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක්  පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කිරීමයි. (ඔවුන් මේ ආකාරයෙන් සම්බාධක පනවන්නේ උතුරු කොරියාව ක්‍රියාත්මක කරමින් සිටින 
න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ නතර කර ගැනීමේ අපේක්ෂාවෙන් බව මේ වනවිට ප්‍රසිද්ධ කාරණාවකි.) පසුගිය අගෝස්තු මාසයේද මෙවැනිම සම්බාධක රැසක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවන ලද අතර එයින් සති කිහිපයකට පසු දැන් තවත් අලුත් සම්බාධක කිහිපයක් පැනවීමට පියවර ගෙන තිබේ. 
මේ නිසා උතුරු කොරියාවේ ආර්ථිකයට දරුණු බලපෑමක් වනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. මෙම අලුත් තත්ත්වය තුළ උතුරු කොරියාව මහත් කෝපයට පත්ව සිටින බවක් ද දැකිය හැකි අතර ඇමෙරිකාවට එරෙහිව දරුණු ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් තර්ජනාත්මක ලෙස අනතුරු අඟවා තිබේ. ඉදිරියේදී ඇමෙරිකාවට ඉතිහාසයේ කිසි දිනෙක අත් නොවිඳි ආකාරයේ  ඉතා වේදනාකාරී  අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම ‘’වේදනාකාරී අත්දැකීම්’’ මොනවාද යන්න පැහැදිලි කර නැතත් මෙම  ප්‍රකාශය ඉතා බරපතළ එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇමෙරිකාවට පවා පහර දිය හැකි දිගු දුර මිසයිල දෙකක් දැන් මාසයකට දෙකකට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද අතර ඇමෙරිකානු ගුවන් කඳවුරු පිහිටි දිවයිනක් වන ගුවාම් නැමැති දිවයින ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවටද  සති කිහිපයකට පෙර තර්ජනය කළේය.
11 වෙනි දින පනවන ලද සම්බාධක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් එය උතුරු කොරියාවට ලොකු බලපෑමක් කරනු ඇතැයි සිතිය හැක්කේ ඒ අනුව උතුරු කොරියාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීමට යෝජනා වී ඇති බැවිනි. මෙය එරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි කාරණයකි. ඊට අමතරව උතුරු කොරියාවේ රෙදිපිළි අපනයනය සපුරා තහනම් කිරීමටද යෝජනා වී තිබේ. රෙදිපිළි යනු උතුරු කොරියාවට විදේශ විනිමය ගෙන එන දෙවැනි විශාලම ආදායම් මාර්ගයයි. එමෙන්ම විදේශයන්හි රැකියා සඳහා යන උතුරු කොරියානු ශ්‍රමිකයින්ට වීසා නිකුත් කිරීමද තහනම් කෙරෙනු ඇත. විදෙස් ශ්‍රමිකයින් හරහා  රටට ලැබෙන විදෙස් විනිමයද මේ නිසා විශාල වශයෙන් පහත වැටෙනු ඇත.
මුලින් ඇමෙරිකානු පාර්ශ්වයෙන් යෝජනා වීමට නියමිතව තිබුණේ ඛනිජ තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටය. නමුත් එවැනි යෝජනාවකට, උතුරු කොරියාවේ මිත්‍ර රටවල් ලෙස සැලකෙන චීනයේ සහ රුසියාවේ එකඟතාව ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අදහස මත තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් නොකර යම් දුරකට සීමා කිරීම සඳහා යෝජනා කෙරිණි. උතුරු කොරියානු නායක කිම් ජොන් -උන්ගේ වත්කම් සම්බන්ධයෙන් සහ ඔහුගේ සංචාරයන් සම්බන්ධයෙන් පැනවීමට අපේක්ෂා කළ තහංචි දෙකක්ද අවසන් යෝජනාවෙන් ඉවත් කරන ලදී. උතුරු කොරියානු නායකත්වයට යම් සීමිත බලපෑමක් කළ හැකි තහංචි සඳහා චීනය සහ රුසියාව එකඟ වුවද එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන ආකාරයේ සහ කිම් ජොන් උන් පාලනය කඩා වැටෙන ආකාරයේ තහංචිවලට ඔවුන් එකඟ වීමට ඉඩක් නැති නිසා මේ ආකාරයෙන් සම්බාධක තරමක් ලිහිල් කිරීමට තීරණය වී තිබේ. දැන් කව්රුත් බලා සිටින්නේ මෙම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව කවර ආකාරයේ පියවරක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙනි. 
උතුරු කොරියාවේ මිත්‍රයන් වන චීනය සහ රුසියාව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ මෙම සම්බාධකවලට එකඟතාව දක්වා ඇතත් ඇමෙරිකානු පාර්ශ්වයටද ඔවුන්ගෙන් කොන්දේසි ඉදිරිපත් වෙයි. එනම් ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්වයක් වන දකුණු කොරියාව ඒකාබද්ධව දකුණු කොරියාව තුළ සිදු කරන යුද අභ්‍යාස නතර කරන ලෙසයි. ඇමෙරිකාවත්, උතුරු කොරියාවත් අතර මේ වනවිට උත්සන්න වෙමින් ඇති යුද ආතතියට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ මෙම යුද අභ්‍යාස බව රහසක් නොවේ. උතුරු කොරියාව සිතන්නේ මෙම යුද අභ්‍යාසවල අරමුණ ඉදිරියේදී උතුරු කොරියාව ආක්‍රමණය කිරීම සඳහා සූදානම් වීම බවයි. නමුත් ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් ඒ සම්බන්ධයෙන් වෙන කතාවක් කියමින් සිටියි. ඔවුන් පවසන්නේ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි යුද තර්ජනයකට මුහුණ දීම සඳහා තමුන් සූදානම් වෙමින් සිටින බවය. ඔවුන් එසේ පවසන්නට හේතු වන්නේ උතුරු කොරියාව දැන් කලෙක සිටම න්‍යෂ්ටික මිසයිල නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටීමයි. 
තමුන් මෙවැනි මිසයිල වැසටහනක් ඉදිරියට ගෙනයන්නේ මන්ද යන්න ගැන උතුරු කොරියාව කියන කතාවක් තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය  සමග එක්ව, උතුරු කොරියාවේ පවතින (ඇමෙරිකානු විරෝධී) කිම් ජොන්- උන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතවත් පාලනයක් ඇති කරගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවය. එය වැළැක්වීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් විය යුතු බවය.
උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඇමෙරිකානු පාර්ශ්වයට  දැඩි හිසරදයකි. එක අතකින් එය ඔවුන්ට ආරක්ෂක තර්ජනයක් වන අතර අනෙක් අතින් නැගෙනහිර ආසියාව තුළ ඔවුන්ගේ සැලසුම්වලට බාධාවකි. ඔවුන් විවිධ සම්බාධක පනවමින් මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කර ගැනීමට බලපෑම් කරන්නේ ඒ නිසාය යන්න තේරුම් ගැනීම අසීරු නොවේ. මෙයට පෙරද කිහිප වරක්ම එක්සත් ජාතීන් හරහා මෙවැනි සම්බාධක පනවන ලද අතර උතුරු කොරියාවේ ප්‍රධාන අපනයනයන් වන ගල් අඟුරු, යකඩ, මත්ස්‍යයින් ආදිය අපනයනයට සීමා පැනවිණි.
මෙම ප්‍රශ්නයේදී උතුරු කොරියාවට අසල්වැසි චීනයේ සහ රුසියාවේ සහයෝගයද යම් පමණකට ලැබෙමින් තිබේ. උතුරු කොරියාව තුළ පාලනයේ වෙනසක් සිදුව, ඇමෙරිකන් ගැති පාලනයක් බිහි වුවහොත් එය තම රටවලට දැඩි ලෙස බලපාන බව ඔවුන් දන්නා බැවිනි. ඇමෙරිකානු පාර්ශ්වය උතුරු කොරියාවට එරෙහිව කෙතරම් සම්බාධක යෝජනා කළ ද ඒවා සිතන තරම් සාර්ථක නොවන බවටත්, ඊට හේතුව චීනයේත්, රුසියාවේත් මෙම සහයෝගය බවටත් ඇතැම්හු චෝදනා කරති. මෙම පාර්ශ්ව සම්බාධකවලට එකඟ වුවද ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන බවටද නිතර චෝදනා එල්ල වෙයි. චීනය යනු උතුරු කොරියාවේ ප්‍රධානම ආර්ථික සහකරුවා වන අතර සම්බාධක සාර්ථක වීමට නම් නිසැකවම චීනය ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. මෙවර පනවා ඇති අලුත් සම්බාධකවලටද චීනය සහ රුසියාව එකඟතාව පළ කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් කෙතරම් දායකත්වයක් දක්වනු ඇත්ද යන්න බොහෝ දෙනා අවධානය යොමු කරන කාරණාවකි.
මේ අතර පසුගිය දිනෙක රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අපූරු කතාවක් කියා තිබිණි. එනම් උතුරු කොරියාවට එරෙහි සම්බාධක එතරම් ඵලදායී නොවනු ඇති බවටය. උතුරු කොරියානුවන් තණකොළ කෑවත් ඔවුන්ගේ්  න්‍යෂ්ටික අවි වැඩසටහන නතර නොකරනු ඇති බව ඔහු තවදුරටත් පවසා තිබිණි.
 
නිහාල් පීරිස්
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.