
මේ ආකාරයෙන් මෙම ඔරලෝසුවෙහි ඝණ්ටාව නිහඬ කරන ලද්දේ, ප්‍රධාන වශයෙන්ම, එය සවි කර ඇති එළිසබෙත් කුලුනෙහි අලුත්වැඩියා කටයුතු වාගයක් සිදු කිරීමට නියමිතව තිබිම හේතුවෙනි. මෙම අලුත්වැඩියා කටයුතු සඳහා සහභාගි වන පිරිසට ඔරලෝසු ඝණ්ටාවේ මහත් ශබ්දය හේතුවෙන් ඇති විය හැකි ශ්රවණා බාධ සහ වෙනත් සෞඛ්‍යමය ගැටලු වැළැක්වීම සඳහා මේ ආකාරයෙන් එය නිහඬ කරන ලද බව පැවැසේ. දැනට සඳහන් වන ආකාරයට අනුව නැවත බිග් බෙන්හි හඬ අසන්නට ලැබෙනු ඇත්තේ වසර 2021දීය. එහි අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 30කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි ද සඳහන්ය. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 550කට ආසන්න ය.
බිග් බෙන් ඔරලෝසුව සහ ඝණ්ටාව සවි කර ඇති කුලුන කලින් හැඳින්වූයේ හුදෙක් ඔරලෝසු කුලුන යනුවෙන් පමණි. නමුත් 2012 වසරේ එළිසබෙත් මහ රැජිනගේ අභිෂේකයෙහි දියමන්ති ජුබිලිය සැමැරූ අවස්ථාවේ එය එළිසබෙත් කුලුන යනුවෙන් නම් කරනු ලැබිණි.
මෙවර කෙරෙන අලුත්වැඩියාවන්හිදී එළිසබෙත් කුලුනෙහි පියස්ස ඉවත් කර අලුත් පියස්සක් ඉදි කිරීම, ඔරලෝසුව පිහිටුවා ඇති ගඩොලින් බැඳි කුටීරය වෙනුවට වීදුරු කුටීරයක් ඉදි කිරීම, ඝණ්ටාවෙහි රාමුව අලුත්වැඩියා කිරීම, වතුර කාන්දුවන ස්ථාන රැසක් පිළිසකර කිරීම, කුලුනට විදුලි සෝපානයක් සවි කිරීම ඇතුළු කටයුතු රැසක් නිමකිරීමට නියමිතය. මෙම අවස්ථාවෙහි මෙකී අලුත්වැඩියා කටයුතු සිදු කිරීම ඔරලෝසුවෙහි සහ කුළුණෙහි කල් පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍යව ඇති බව ඒ පිළිබඳ ඉංජිනේරුවරුන්ගේ අදහස වී තිබේ.
සඳුදා බිග් බෙන් ඔරලෝසුව නිහඬ වූ අවස්ථාව විශේෂයෙන් එංගලන්ත වැසියන්ට ඉතා ශෝකී අවස්ථාවක් වූ බව වාර්තා වෙයි. එදින දහවල් එහි අවසන් හඬ නැගීම ශ්‍රවණය කිරීම සඳහා විශාල පිරිසක් ඒ අවට රැස්ව සිටි බවද සඳහන් විය. බිග් බෙන් ඔරලෝසුව එංගලන්තයේ පේරෟඩත්වය පිළිබඳ සංකේතයක් වශයෙන් සැලකෙන නිසා එය වසර හතරක් වැනි දිගු කාලයකට නිහඬ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා ද පැන නැගිණි. එරට පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන වාද විවාද ඇති වූ බැව් වාර්තා විය. මෙම වසර හතරේ කාල සීමාව ගැන නැවත සලකා බලන මෙන්ද යෝජනා ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් නව අවුරුදු උදාව වැනි විශේෂ අවස්ථාවලදී එය තවදුරටත් හඬ නගනු ඇති බවද සඳහන් වෙයි.
බිග් බෙන් ඔරලෝසුව ඉදි කරන ලද්දේ 1858 වසරේය. එය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලේම එක් පාර්ශ්වයකයි. මෙයට බිග් බෙන් යන නම ලැබුණේ කෙසේද යන්න ගැන ස්ථිර අදහසක් ඇති බවක් නොපෙනේ. නමුත් සාමාන්‍ය පිළිගැනීම වී ඇත්තේ එහි ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ ශ්‍රීමත් බෙන්ජමින් හෝල් සිහිවනු පිණිස ඊට එම නම තබන්නට ඇති බවයි. තවත් මතයකින් කියැවෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨ බොක්සිං ශූරයෙකු වූ බෙන් කෝන්ට් සිහිවනු පිණිස එම නම තබන්නට ඇතැයි කියාය. ඔරලෝසුව හා සම්බන්ධ දැවැන්ත ඝණ්ටාව මෙම ස්ථානයට රැගෙන විත් ඇත්තේ තේම්ස් නදිය ඔස්සේ බවද මේ පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වෙයි.
බිග් බෙන් ඔරලෝසුව මේ ආකාරයෙන් නිහඬ කෙරුණු පළමු අවස්ථාව මෙය නොවේ. 1858 වසරේ එය සවි කිරීමෙන් පසු 1859 සිට 1863 දක්වාද වසර හතරක් එය නිහඬ කර තිබූ බව වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ එහි පැවති යම් තාක්ෂණික ගැටලුය. නැවතත් 1976 සහ 2007 වසරවලද ඔරලෝසුව නිහඬ කර තිබි ඇති බැව් පැවැසේ.
කිත්සිරි මල්වත්ත
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.