Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලොව වැඩිම ආදායම් ඉපැයූ ඇවටාර් දෙවැනි කොටස ළඟදීම

හොලිවුඩ් සිනමාව බිහි කළ, ලොව පුරා වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය ලෙස සැලකෙන්නේ  2009 වසරේ තිරගත වූ 'ඇවටාර්'(Avatar) චිත්‍රපටයයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ ගණනක් ඈත පිහිටි ග්‍රහ මණ්ඩලයකට අයත් චන්ද්‍රයෙකු මත ජීවත් වන ගෝත්‍රික කොට්ඨාසයකට මිනිසුන් වෙතින් එල්ල වන ආක්‍රමණයක් පිළිබඳ කතාවක් රැගත් 'ඇවටාර්' සුප්‍රකට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ නිර්මාණයකි. එය ඉපැයූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න බව පැවැසේ. එය ලංකාවේ මුදලින් නම් රුපියල් බිලියන 450කට කිට්ටුය.
මේ කියන්නට යන්නේ 'ඇවටාර්'  චිත්‍රපටය රස විඳි සිනමා ප්‍රේක්ෂකයන් තුළ සතුටක් ඇති කළ හැකි ප්‍රවෘත්තියකි. එනම් 'ඇවටාර්' චිත්‍රපටයේ දෙවැනි කොටසක් නිර්මාණය කිරීමට අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් සූදානම් වෙමින් සිටින බවයි.
කලින් සඳහන් කළ ලෙසම 'ඇවටාර්' පළමු කොටසට පසුබිම් වූයේ පිටස්තර ග්‍රහ මණ්ඩලයක පවතින ඉතා දුර්ලභ ලෝහයක් සොයා යන පෘථිවි වාසීන් පිරිසක් එහි ජීවත්වන ස්වදේශීය ගෝත්‍රික පිරිසක් ආක්‍රමණය කිරීමත්, ඒ නිසා හටගන්නා ගැටුමත් පිළිබඳ කතා පුවතකි. මෙහිදී ආක්‍රමණික පෘථිවි වාසීන් අතර සිටින එක් සාමාජිකයෙකු සහ පිටසක්වල ගෝත්‍රයේ තරුණියක අතර ආදර සම්බන්ධයක් ඇති වන අතර අවසානයේ ඔහු ගෝත්‍රික ජන කොට්ඨාසය වෙනුවෙන් සටන් කරන්නට පටන් ගනියි. 'ඇවටාර්' දෙවැනි කොටසින් කියැවෙන්නේ මොවුන්ගේ විවාහයෙන් පසු ඉපදෙන දරුවන්ද සමග ඔවුන් මිනිස් ආක්‍රමණයන්ට එරෙහිව කරන අරගලය පිළිබඳව බව වාර්තා වෙයි.
නමුත් 'ඇවටාර්-2' චිත්‍රපටය සාර්ථක නොවනු ඇතැයි යනුවෙන් බොහෝ දෙනා සැකපළ කරන බවද සඳහන් වේ. ඊට හේතු වන්නේ එහි පළමු කොටස තිරගත වී මේ වනවිට වසර දහයකට ආසන්න කාලයක් ඉක්ම ගොස් තිබිමයි. මේ නිසා මෙම දෙවැනි කොටස පළමු කොටස තරම් ජනප්‍රිය නොවනු ඇතැයි යන්න ඇතැමුන්ගේ අදහසය. 'ඇවටාර්-2' තිරගත වනු ඇතැයි පැවැසෙන්නේ 2020 වසරේ වීම  මෙම අදහස ඇති කරන්නට හේතු වූ තවත් කාරණයකි. නමුත් මෙම මතය නිශ්ප්‍රභ කළ හැකි අපූරු තොරතුරක් ගැනද පසුගියදා ඇමෙරිකානු මාධ්‍ය අනාවරණය කර තිබිණි. එනම් 'ඇවටාර්-2' තුළින් ජේම්ස් කැමරන් තවත් අලුත්ම තාක්ෂණික විප්ලවයක් කරනු ඇති බවයි. අධ්‍යක්ෂ කැමරන් කොහොමත් සිය චිත්‍රපට හරහා තාක්ෂණික පෙරළි කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටින කෙනෙකු බවද අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කැමරන් 'ඇවටාර්-2' ත්‍රිමාන (3-D) තාක්ෂණයෙන් නිර්මාණය කරනු ඇති අතර එහිදී ඔහු ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දීමට නියමිතය. ඒ,  ත්‍රිමාන කණ්ණාඩිවලින් තොරව චිත්‍රපටය නැරඹීමට හැකි නව තාක්ෂණයක් හඳුන්වා දීම මගිනි. මේ වන විට අප ත්‍රිමාන චිත්‍රපට නැරඹීමේදී ඒ වෙනුවෙන් නිපැයුණු විශේෂ කණ්ණාඩි යුවළක් දෑසෙහි පැළඳගත යුතු බව රහසක් නොවේ. නමුත් ඇවටාර් 2 ත්‍රිමාන චිත්‍රපටය නැරඹීමේදී තවදුරටත් ප්‍රේක්ෂකයන්ට මෙම හිරිහැරය විඳින්නට සිදු නොවනු ඇත.
'ඇවටාර්-2' තිරගත වනු ඇත්තේ මුල් කොටස තිරගතව වසර 10කට පසු වුවද මෙම තාක්ෂණික හරඹය නිසා ලොව පුරා තරුණ ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය නැරඹීමට ‍පොරකනු ඇතැයි යන්න නිෂ්පාදකයන්ගේ විශ්වාසය වී ඇත. 
පළමු කොටසේ ප්‍රධාන චරිත රඟ පෑ සෑම් වර්තිංටන් සහ සෝ සල්ඩානා මෙම දෙවැනි කොටසටද සම්බන්ධ වනු ඇතැයි පැවැසේ. ඊට අමතරව Fear the Walking Dead රූපවාහිනී මාලා නාටකයේ රඟ පෑ ක්ලිෆ් කර්ටිස් සහ Game of Thronesහි රඟ පෑ ඌනා චැප්ලින්ද 'ඇවටාර් 2' හි රඟපානු ඇතැයි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් වාර්තාවන තවත් විශේෂ පුවතක් වන්නේ කොටස් පහක් දක්වා මෙම චිත්‍රපට මාලාව නිර්මාණය වන බව හා ඉතිරි කොටස් තුනෙහි තිර රචනයන්ද මේ වනවිට කැමරන් විසින් ලියා අවසන් කර ඇති බවය.
 
කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.