Coss Ear2
lakbima.lk
COSS Ear 1

දහනම වැනි සියවසේ අසාමාන්‍ය විවාහයක කතාව

ඇමෙරිකාවේ වර්මොන්ට් ප්‍රාන්තයේ ව්බේ‍රිජ් ගම්මානයේ සුසාන භූමියක අමුතු ආකාරයේ සොහොනක් වෙයි. එහි සටහන්වන සිල්වියා ඩේ්‍රක් හා චැරිටි බ්‍රයන්ට් යන කාන්තාවන් දෙදෙනා නිදහස් සටන් සමයේ ඉපිද දහනමවැනි ශත වර්ෂය මැද භාගයේ මියගොස් තිබේ.දශක හතර හමාරක කාලයක් තමා අයිති සමාජයේ මහ බල කණුවූ ඔවුහු එම ගම්මානයේ කුඩා නිවසක වෙසෙමින්, ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් එක්ව කරගෙන යමින්, ඉරුදින දහම් පාස‍ලේ උගන්වමින් ජීවත්වුණේ තම ඥාති දුවා දරුවන් රැසකට කිරි අම්මලාද වෙමිනි. තමා විසින් මෙන්ම නෑ හිතවතුන් විසින්ද දහනමවැනි සියවස තරම් ඒ දුරාතීතයේ ඔවුන් දෙදෙනා පිළිගන්නා ලද්දේ විවාහක යුවළක් ලෙස වීම මෙම සටහන අප විසින් තබන්නට හේතුවයි.
මේ අසාමාන්‍ය කතුන් දෙදෙනාගේ කතාව වර්තමානයට බලපාන ආකාරය  මුලින්ම වටහාගන්නා ලද්දේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥවරියක වන රේචල් හෝප් ක්ලෙව්ස් විසිනි. චැරිටි බ්‍රයන්ට්ගේ ඥාති පුත්‍රයා වන විලියම් කලන් බ්‍රයන්ට්ගේ ජීවිත කතාව කියවද්දීය ඇයට ඒ ගැන දැනගන්නට ලැබුණේ. විලියම් දහනමවන ශතවර්ෂයේ ප්‍රකට කවියෙකු හා කතුවරයෙකු විය. තමා වර්මොන්ට්හි සංචාරය කළ අවස්ථාවක ඇසූ දුටු තම නැන්දණියගේ හා ඇගේ මිතුරියගේ චර්යාවන් විලියම් සටහන් කරන්නේ මෙලෙසිනි.
“එය අලංකාර, කාව්‍යමය බැඳීමකි. ගැහැනුන් දෙදෙනෙක් අතර අපූරු සබඳතාවක් ඉන් මූර්තිමත් කෙරෙයි.”
ඇමෙරිකාවේ පළමු සමලිංගික විවාහය මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී දස වසරකට පසුවත් ඊට සහයෝගය දක්වන්නන් අධිකරණයේ තීන්දුව කෙතරම් වෙනසක් ඇතිකළේද යන්න සාකච්ඡාවට ලක්කළ අතර විචාරකයෝ පවසා සිටියේ එය සම්ප්‍රදායට අභියෝග කළ නව හා විප්ලවීය වෙනසක් ලෙසටය. නමුත් එදා බ්‍රයන්ට් හා ඩේ්‍රක්ගේ ජීවන රටාව එතරම් පහසුවක් නොවේ. එමෙන්ම ඇමෙරිකානු ඉතිහාසයේ මෙවන් සබඳතා එදා සිටම විවිධාකාරයෙන් පැවැති බවට මෙය උදාහර ණයකි. තමාගේ සමීක්ෂණය තුළ ක්ලෙව්ස් සොයාගත් වැදගත්ම කාරණාව වනුයේ අතීතයේ ඇමෙරිකානු සමාජය සාමාන්‍ය ෙදෙනික ජීවන රටාවක් ලෙස සමලිංගික විවාහයන් අවංකවම පිළිගනු ලැබුවේ කාන්තාවන් දෙදෙනකු අතර නීත්‍යනුකූල විවාහයක් හෝ පිළි නොගන්නා වකවානුවක වීම යන්නය.
මේ අසාමාන්‍ය කාන්තාවන් දෙදෙනා ගැන ‍පොතක් ලියූ රේචල් එය “චැරිටි ඇන්ඩ් සිල්වියා - අ සේම් සෙක්ස් මැරේජ් ඉන් අර්ලි ඇමෙරිකා” (චැරිටි හා සිල්වියා- ඇමෙරිකාවේ මුල් යුගයේ සමලිංගික විවාහයක කතාව) ලෙස එය නම් කළාය. මේ දෙදෙනාගේ කතාව කියැවෙන කාලයේ වර්මොන්ට් බටහිර ප්‍රදේශය කඩාවැටුණු ආර්ථිකයක් හා ‍පොරබදින කාලයකි. එවකට එහි පසුබිම හා ෙදෙනික ජීවන රටාවන් කතාවේ සැලකියයුතු කොටසක කියැවෙයි. යාන්තමින් එළිය කළ නිවසක්. ලෙඩ රෝග හා අද සිතනවිටත් බිය උපදවන ආකාරයේ ප්‍රතිකාර ක්‍රම, කාන්තාවකගේ සමාජය හැඩ ගස්වන කුඩා පවුල් සබඳතා චැරිටි හා සිල්වියාගේ අසාමාන්‍ය කතාවේ පසුබිම වෙයි. පුරාණ ඇමෙරිකාවේ සමලිංගික විවාහයන් ගැන සවිස්තරාත්මකව විස්තර කරන පළමු ‍පොත ලෙස මෙය සැලකිය හැක. තවමත් ලියා නැති අතීත සමලිංගික සබඳතා ගැන දැවැන්ත ඉතිහාසයේ කොටසක් ලෙස බ්‍රයන්ට් හා ඩේ්‍රක් සැලකිය හැකි අතර දහනම වැනි ශත වර්ෂයේදී ගැඹුරු රහසක් ලෙස සැලකිය හැකි කරුණක් ක්ලෙව්ස් බොහෝ විස්තර සහිතව ගෙන එයි.
ඉතා පෞද්ගලික මට්ටමින් තම විවාහය චැරිටි හා සිල්වියා පවත්වාගෙන ගිය ආකාරය ඔවුන්ගේ ඥාති පුත්‍රයා ලබාදෙන තොරතුරුවලින් පැහැදිලි වෙයි. දෙවියන් සමග ඔවුන්ගේ සමීප බව, නෑ හිතවතුන් මෙන්ම එකිනෙකා සමගත් ඔවුන්ගේ සබඳතාවයන් මෙන්ම ඔවුන්ගේ සබඳතාව පිටස්තරයින්ගේ ඇසින් දුටු ආකාරයද මෙහිදී විස්තර කෙරේ. ඒ කාලයේ ජීවත් වූ වෙනත් අයගේ ලිපි හා දින‍පොත්වලින් මෙන්ම සිල්වියාගේ දින‍පොතින්ද, ඔවුන් දෙදෙනාට පිටස්තරයින් එවූ ලිපිවලින්ද මේ ‍පොත සඳහා ක්ලෙව්ස් තොරතුරු ලබාගෙන තිබේ. මෙහිදී විශේෂත්වය වන්නේ මෙම විවාහය ගැන නිල වාර්තාද තිබිමය. එකල පැවැති නීතියවට අනුව නීත්‍යනුකූල විවාහයකට ඇතුළුවීමට මේ දෙදෙනාට නොහැකි වුවද හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය, දේපළ හවු‍ලේ පාලනය කළ ඔවුන්ගේ සබඳතාව නීතිය විසින්ද පිළිගෙන තිබිණි. එවකට වූ බදු වාර්තා ‍පොත්වලද මේ දෙදෙනා ගැන සටහන් වෙයි. එකල සම්ප්‍රදායට අනුව කාන්තාවන්ගේ දේපළ ඔවුන්ගේ සැමියන්ගේ නමින් පැවැතියද මෙම අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකුගේ නමින් සියල්ල පවත්වාගෙන යාමට නීතිය හෝ සම්ප්‍රදාය බාධා නොකළ බවක් පෙනෙයි.
නීතියෙන් විවාහ නොවුණත් චැරිටි හා සිල්වියා තම සම්බන්ධය විවාහයක් ලෙස සලකා තිබෙන බවද පැහැදිලිය. එකිනෙකාට ලියූ ලිපි හා කවිවල චැරිටි විසි න් සිල්වියා හඳුන්වා දී ඇත්තේ එකල බිරිය හදුන්වන්නට යෙදුනු “හෙල්ප්මීට්”ලෙසටය. ඔවුන් දෙදෙනා ගැන දන්නා සියලුදෙනාම චැරිටි එම නිවසේ සැමියා හා සිල්වියා බිරිය වූ බව දැන සිටි බවක් පෙනෙයි. කෙසේවුවද ඔවුන් සැමියා, බිරිය හා විවාහය යන වචන භාවිතා කිරීමෙන් වැළකී සිටි බව පැහැදිලිය. මේ සම්බන්ධයට සිල්වියාගේ පවුලෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවටද සාක්ෂි ඇති බව ක්ලෙව්ස් කියයි. සිල්වියාගේ සොහායුරන්ගෙන් එක් අයෙක් හැර අනෙක් අය මෙම නිවසට පැමිණී0ම ප්‍රතික්ෂේප කළ අතර මව වසර දහයක පමණ කාලයක් එහි නොපැමිණියාය. කෙසේ වුවද තමා පවුලට හා සමාජයට කළ සේවය හරහා ඔවුන් නැවත දිනාගෙන තම සම්බන්ධය පිළිගත හැකි තැනකට ගෙන එන්නට සිල්වියා හා චැරිටි සමත් වූ බව පෙනේ.
මේ අපූරු කතාව ‍පොතක් ලෙස සමාජයට පිළිගන්වන්නට තමා පෙළඹ වූ ප්‍රධාන හේතුව වන්නේ සමලිංගික විවාහය යනු සමාජය සිතනතරම් අලුත් දෙයක් නොවන බව පෙන්වීමට යැයි රේචල් ක්ලෙව්ස් කියයි. එමෙන්ම එම විවාහයන්ටද නීත්‍යනුකූල බවක් හිමිවියයුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.