lakbima.lk

සුළං බලයෙන් ක‍්‍රියාත්මක වන ගුවන්යානයක්

ගුවන් යානයක් ගැන සලකා බැලූ විට එහි ක‍්‍රියාකාරී කොටස් බොහොමයක් ඇති බව අපට පෙනෙයි. විශාල පංකා, එන්ජින්, අවරපෙති ආදී මෙකී නොකී බොහෝ දේවල් එහි දකින්නට තිබේ. කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මාසයේ ‘සයන්ස්ඬේලි’ වෙබ් අඩවිය වාර්තා කොට තිබුණේ ලොව ප‍්‍රථම වරට මෙවැනි ක‍්‍රියාකාරී කොටස් නොමැති ඉතා නිහඬ ගුවන් යානයක් නිපදවීමේ තාක්ෂණය සොයාගෙන ඇති බවය. මෙහි කිසිදු ක‍්‍රියාකාරී කොටසක් නොමැති නිසා ඉන්ධනවල අවශ්‍යතාවයක් ද පැනනොනගියි. එවිට පරිසර දුෂණය සිදුවන්නේ ද නැත.

මේ තාක්ෂණය සොයාගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය විසිනි. ඉතා සැහැල්ලූ ස්වභාවයෙන් යුක්ත මේ ගුවන් යානයට බලය සැපයෙන්නේ ‘අයනමය සුළඟ’ මගිනි. අයනමය සුළඟ යනුවෙන් කියැවෙන්නේ යම් වස්තූන් දෙකක් මත ඇති ස්ථිතික විද්‍යුතය නිසා ඇතිවන ශක්ති විශේෂයකි. මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් මේ තාක්ෂණය වඩාත් වැඩිදියුණු කොට මෙම ගුවන් යානය සඳහා යොදාගෙන තිබේ. මෙය නිහඬ වුවත් ගුවන්යානය මත දී නිපදවෙන මේ අයනමය සුළඟ අතිප‍්‍රබල ධාරාවක් උපද්දවයි. මේ තාක්ෂණය මුලින්ම ඩ්‍රෝන යානා සඳහා භාවිත කොට පසුව ගුවන්යානා සඳහා යොදාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

දැනට වසර ගණනාවකට පෙර විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල මෙවැනි නිහඩ යානාවන් ඇතුළත් වූ බව පවසන මෙම පර්යේෂණ කණ්ඩායම, මෙම සොයාගැනීම සදහා එවැනි සංකල්ප ඉවහල්වූ බව පවසයි. ”අනාගත ගුවන් යානාවල කිසිදු ක‍්‍රියාකාරී කොටසක් තිබිය යුතු නැතිබව මම කල්පනා කරන්න පටන් ගත්තා. එ්වා හරියටම ‘ස්ටාර්ටෙ‍්‍රක්’ චිත‍්‍රපටයේ දක්නට ඇති යානා හා සමාන විය යුතු බවයි මම නිතරම කල්පනා කළේ.” මෙම පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානී මහාචාර්ය බැරට් පවසා සිටියි. ඔවුන් මේ පිළිබඳව පර්යේෂණ ආරම්භකොට තිබුණේ දැනට වසර නවයකට පමණ පෙර සිටයි. පර්යේෂණ ගණනාවකට පසු ඔවුන් අයන සුළං පිළිබඳ කල්පනා කරන්නට පටන්ගෙන තිබේ. මේ අයන සුළං සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබුණේ 1920 තරම් ඈත කාලයේදීය මේ සංකල්පයට අනුව ඝන සහ සිහින් ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතරින් යම්කිසි විද්‍යුත් ධාරාවක් ගමන් කළවිට ඉදිරියට ගමන් කිරීමේ බලයක් නිපදවෙන අතර එම බලය අයන සුළං නමින් හඳුන්වනු ලබයි. ‘විද්‍යුත් වායු ගතික විද්‍යාව’ මෙය හඳුන්වන තවත් නමක් ලෙස සැලකෙයි. මේ සංකල්පය මත පදනම්ව පර්යේෂණ කණ්ඩායම කුඩා ගුවන් යානා ආදර්ශයක් ගොඩනගනු ලැබුණි. රාත්තල් 5ක් පමණ බරින් යුක්ත මෙහි අත් තටුවල මුළු දිග අඩි 5ක් පමණ වෙයි. මේ ආකෘතිය හරහා විද්‍යුතය ගමන් කරන සිහින්

රැහැන් සවිකොට තිබෙන අතර මෙම රැහැන් ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝඩ ලෙස ක‍්‍රියාත්මක ඝන රැහැන් පද්ධතියක් ද සවිකොට තිබේ. එ්වා ඉලෙක්ට්‍රෝඩ ලෙස ක‍්‍රියාත්මක වන අතර මෙයට බලය සැපයෙන්නේ ලිතියම් - පොලිමර් බැටරියකිනි. ලබාදෙන විදුලිය අධිවෝල්ටීයතාවක් බවට හැරවිය හැකි බල සැපයුම් පද්ධතියක් මෙහි ස්ථාපනයකොට තිබෙන අතර එයින් 40,000ක පමණ වෝල්ටීයතාවයකින් යුක්ත විදුලියක් නිපදවන්නට හැකියාව තිබේ.

රැහැන්වලට බලය සැපයුණු පසු අවට ඇති වායු අණු එක්පැත්තකට තල්ලූ කොට දමන්නට පටන් ගන්නා අතර යානය ඉදිරියට ඇදී යන්නට බලය ලැබෙන්නේ මේ ආකාරයටයි.

ආදර්ශ යානයක් වුවත් පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මේ තාක්ෂණය උපයෝගී කොටගෙන ක‍්‍රියාකාරී කොටස්වලින් තොර සාමාන්‍ය ප‍්‍රමාණයේ නිහඬ ගුවන් යානයක් නිපදවීමේ හැකියාව තිබෙන බවයි. මේ පියවරට ළඟා වන්නට අවශ්‍ය කරන තාක්ෂණය තව දුරටත් වැඩි දියුණු කරන්නට පර්යේෂණ කණ්ඩායම කටයුතු කරමින් සිටියි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.