lakbima.lk

අද ලෝකයම හොල්ලන මේ කියන සමාගම් ආරම්භ වුණේ කොහොමද?

අන්තර්ජාලයේ පිහිටෙන් ප‍්‍රකෝටිපතියන් වූ සමාගම් කිහිපයක් ගැනයි අපි අද ඔබට කියන්න යන්නේ. එ්ත් මේ සමාගම්වල ආරම්භය දිහා බැලූවාම පේන්නේ තනි පුද්ගලයකු හෝ  දෙන්නෙක් මේ ව්‍යාපාර පටන්ගෙන තිබෙන්නේ ඉතා සුළුවෙන් බවයි. එ් විතරක් නෙමෙයි. අද ලෝ ප‍්‍රකට ධනවත් ව්‍යාපාර වුණාට එදා මේ සමාගම් ආරම්භ කළ බොහොමයක් දෙනා එදා මේ ව්‍යාපාර පටන් ගෙන තිබෙන්නේ එක්කෝ විනෝදයට එහෙමත් නැත්නම් අධ්‍යාපනය සඳහායි. ඔය අතර තමන්ගේ පහසුව සඳහා කළ අත්හදා බැලීම් නිසා බිහිවූ ව්‍යාපාරත් තිබෙනවා. පුංචියට පටන් ගෙන අද මුළු ලෝකයම ආක‍්‍රමණය කළ මේවගේ ව්‍යාපාර සහ එහි නිර්මාතෘවරුන් ගැන කියවා බලා ඔබත් පුංචියට හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගන්න. මොකද අද ප‍්‍රකෝටිපතියන් සේ වැජඹෙන බොහොමයක් දෙනා අද එ් තත්ත්වයට ඇවිදින් ඉන්නේ බොහෝ කැපකිරීම් සහ දුක් ගැහැට විඳලායි.

ෆේස්බුක් සමාගම

අපි කවුරුත් දන්න ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ තමයි මාක් සකර්බර්ග්. ඔහු අද ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 10 දෙනා අතර ඉන්නේ ෆේස්බුක් නිසා. නමුත් 2004 වසරේ ෆේස්බුක් ආරම්භ කරද්දී ඔහු ෆේස්බුක් එකෙන් මේ තරම් ධනස්කන්ධයක් හොයන්න පුළුවන් වෙයි කියලා හීනෙකින්වත් හිතන්නේ නැතිව ඇති. ඔහු ෆේස්බුක් නිර්මාණය කළේ ඔහු අධ්‍යාපනය ලැබූ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් විදියට යි. ඒ කීප දෙනෙකු එකට එකතු වෙලා සමාජ ජාලයක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන කාරණය ගැන ඔහු කරපු ව්‍යාපෘතිය සඳහා අපේ රටේ විශ්වවිද්‍යාලවල සිසුන් සිදු කරන බොහොමයක් ව්‍යාපෘති ඒ අධ්‍යයන කටයුත්තෙන් පස්සේ නතර වෙනවා. නමුත් සකර්බර්ග් තමන්ගේ සමාජ ජාල ව්‍යාපෘතිය දවසින් දවස යාවත්කාලීන කරමින් වර්ධනය කළා. ඉස්සෙල්ලාම තමන්ගේ මිතුරන් කීප දෙනෙක් විතරක් ජාලයට එකතු කර ගත්තා. පස්සේ ඔහුගේ බැච් එකේ ඉන්න අයව එකතු කර ගත්තා. ඊටත් පස්සේ ඔහුගේ අධ්‍යයන වර්ෂයේ ඉන්න හැමෝම එකතු කර ගත්තා. ඊට පස්සේ මුළු විශ්වවිද්‍යාලයේම ඉන්න අයව... ඔය විදිහට අද වෙද්දී ලෝකය වටේම ෆේස්බුක් පාවිච්චි කරන අය බිලියන දෙකකට වඩා වැඩි ප‍්‍රමාණයක් සිටිනවා. ෆේස්බුක් සමාගම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ක විතර ආදායමක් උපයනවා.

ඒ වගේම ෆේස්බුක් සමාගමේ සේවකයන් 25000 ක් විතර සේවය කරනවා.

යා හූ සමාගම

1994 අවුරුද්දේ ජෙරී යං සහ ඬේවිඞ් ෆිලෝ කියන මිතුරන් ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ දෙන්නාම එකට එකතු වෙලා වෙබ් අඩවියක් නිර්මාණය කළා. ඒකේ නම ජෙරී ඇන්ඞ් ඬේවිඞ්. අවුරුද්දක් විතර යද්දී මේ වෙබ් අඩවිය ටිකෙන් ටික ප‍්‍රචලිත වෙන්න පටන් ගත්තා. නමුත් මේ යන විදියට ඒකට මේ වගේ නමක් හරි යන්නේ නැහැ කියලා හිතපු මේ දෙන්නා  "Yet Another Hierarchical Officious Oracle" කියන අර්ථයෙන් Jerry and David වෙබ් අඩවිය Yahoo කියලා නම් කළා. 1995 අවුරුද්ද  වෙද්දී යා හූ එක නිකන්ම නිකන් වෙබ් අඩවියක් නෙවෙයි, ඊ මේල් පහසුකම සහිත වෙබ් අඩවියක් බවට පත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. 1995 අවුරුද්දේ මේ වැඬේට ඔවුන්ට වියදම් වුණේ ඩොමේන් එකට වියදම් වුණු මුදල විතරයි. යා හූ එකවුන්ට් දෙකකින් පටන් ගත්තු මේ වෙබ් අඩවියේ අද එකවුන්ට් මිලියන 800 ඉක්මවූ ප‍්‍රමාණයක් භාවිතා වෙනවා. එහි සේවය කරන පිරිස 9000 ඉක්මවනවා. යා හූ සමාගම මේ වෙද්දී අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක විතර ආදායමක් උපයනවා.

ගූගල් සමාගම

ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් නිසා බිහි වුණු තවත් ලෝක ප‍්‍රකට වූ නැතිවම බැරි සමාගමක් තමයි ගූගල් සමාගම. මේ ව්‍යාපෘතිය කරන්න තීරණය කළේ 1996 අවුරුද්දේ ලැරී පේජ් සහ සර්ජි බි‍්‍රන් කියන සිසුන් දෙදෙනායි. ඔවුන්ට  ඕනෙ වුණේ අන්තර්ජාලය ඔස්සේ  ඕනෑම දෙයක් පහසුවෙන් සොයා ගත හැකි සෙවුම් යාන්ත‍්‍රණයක් නිර්මාණය කරන්නයි. ඔවුන් මුලින්ම ඒකට දාපු නම වුණේ "BackRub" නමුත් මේ නම දිගින් දිගටම පාවිච්චි කිරීමට පහසු නමක් නෙවෙයි කියලා තීරණය කරපු ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ එය "Google" විදියට වෙනස් කරලා සමාජගත කළා. ඔවුන්ට මුලින්ම ඩොමේන් එකට ගෙවන්න ප‍්‍රමාණවත් තරම් මුදල් පවා තිබුණේ නැහැ. නමුත් අද වෙද්දී ගූගල් සමාගම අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්ම වූ ආදායමක් උපයනවා. ඒ වගේම ගූගල් සමාගමේ 85000 ක විතර සේවක පිරිසක් සේවයේ යෙදී සිටිනවා.

වට්ස්ඇප් සමාගම

යා හූ සමාගමේ සේවය කරලා දිගු විවේකයක් ගත කිරීමේ අරමුණෙන් ඉන් ඉවත් වුණු දෙන්නෙක් තමයි බ‍්‍රයන් ඇක්ටන් සහ ජෑන් කෝම්. සේවයෙන් ඉවත් වුණාට පස්සේ ඔවුන් ෆේස්බුක් සමාගමේ සේවය කරන්න අයැදුම් කළත් ඔවුන්ට එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් මේ දෙදෙනා දකුණු ඇමෙරිකාවේ විවේක සුවයෙන් කාලය ගත කරන අතරේ ඔවුන්ට හිතුණා අලූත් ව්‍යාපාරයක් පටන් ගන්න. ඔවුන්ට  ඕනෙ වුණේ ජංගම දුරකථනවලට සරිලන ආකාරයේ සමාජ ජාලයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ ආ ගිය තොරතුරු කතා කරනවා වගේ ප‍්‍රාථමික ජාලයක් නිර්මාණය කරන්නයි. ඒ විදියට තමයි වට්ස්ඇප් නිර්මාණය වුණේ. වට්ස්ඇප් සමාගම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 19 ක ආදායමක් උපයනවා. මෙච්චර විශාල ආදායමක් උපයන වට්ස්ඇප් සමාගමේ සේවය කරන්නේ සේවකයින් 50 දෙනෙකු පමණක් වීම පුදුමයට කාරණයක්.

යූ ටියුබ් සමාගම

චැඞ් හර්ලි ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්.  ස්ටීව් චෙන් සහ ජාවෙඞ් කරීම් ඉලිනෝයි විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්. මේ තුන් දෙනාම පොකට් මනි හොයා ගන්න ‘‘පේ පැල්’’ එකේ එකට වැඩ කරපු අය. මේ තුන් දෙනාට තම තමන්ගේ ජංගම දුරකථනවලින් හැමදෙයක්ම වීඩියෝ කිරීමේ පුරුද්දක් තිබුණා. පස්සේ ඔවුන්ට  ඕන වුණා තම තමන්ගේ වීඩියෝ බෙදා හදාගෙන බලන්න. ඒ වැඬේට ඔවුන් තුන් දෙනාට එකට එකතු වෙන්නම සිදු වුණා. ඊටත් පස්සේ  ඕනෙ වුණා ඔවුන් රූගත කළ වීඩියෝ සියල්ල ඔවුන්ගේ අනිත් මිතුරු මිතුරියන් එක්කත් බෙදා හදාගෙන බලන්න. අන්න එතකොට තමයි පොදුවේ වීඩියෝ නරඹන්න පුළුවන් ආකාරයේ වෙබ් අඩවියක අවශ්‍යතාව ඇති වුණේ. අන්න ඒ විදියට තමයි ඔවුන් 2005 අවුරුද්දේ යූ ටියුබ් නිර්මාණය කළේ. කිසිම මුදලක් අතේ නැතිව නිර්මාණය කරපු යූ ටියුබ් එකෙන් මේ වෙද්දී ඔවුන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 30 ක ආදායමක් උපයනවා. නමුත් ‘‘යූ ටියුබ්’’ සමාගමේ සේවය කරන්නේ සේවකයන් 600 ත් 700 ත් අතර පිරිසක් විතරයි.

විකිපීඩියා සමාගම

අපි නොදන්න වචනයක් ගැන හොයා ගන්න නම් අපි ශබ්දකෝෂය බලනවා වගේ අපි නොදන්න මොනයම් හෝ කාරණයක් ගැන හොයා ගන්න  ඕනෙ වුණොත් අපි බලන්නෙ විකිපීඩියා එක. ලෝකයේ තියන  ඕනෑම දෙයක් පහසුවෙන් හොයා ගැනීමේ අරමුණෙන් ‘‘විකිපීඩියා’’ එක නිර්මාණය කළේ ජිමී වේල්ස් සහ ලැරී සැන්ගර් කියන දෙදෙනායි. 2001 අවුරුද්දේ ජනවාරි මාසේ අන්තර් ජාලයට මුදා හැරිය විකිපීඩියා වෙබ් අඩවිය සමාගමක් බවට පත් වුණේ 2001 මැයි මාසේ. මේ වෙද්දී විකිපීඩියා සමාගම භාෂා 301 කින් ලිපි විකිපීඩියා එකට සම්පාදනය කරනවා. මේ වැඬේට විකිපීඩියා සමාගමේ ස්ථීර ලේඛකයන් 280 ක් විතර ඉන්නවා. ඊට අමතරව විවිධ රටවල විවිධ භාෂා කතා කරන  ඕනෑම කෙනෙකුට පුළුවන් විකිපීඩියා එකට ලිපි සම්පාදනය කරන්න. මේ වෙද්දී විකිපීඩියා එකේ ලිපි මිලියන 40 ක් විතර තියෙනවා. එක දවසකට විකිපීඩියා එක පාවිච්චි කරන පිරිස බිලියන 18 ඉක්මවනවා කියලත් වාර්තා වෙනවා. ඒ විදියට විකිපීඩියා සමාගම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක විතර ආදායමක් උපයනවා.

වයිබර් සමාගම

2010 අවුරුද්දේ ඊශ‍්‍රායලයේ ටෙලාවිස් නගරයේ මිත‍්‍ර හමුදාවන්ගේ ආරක්ෂක අංශයේ ප‍්‍රධාන තොරතුරු ඉංජිනේරු නිලධාරීන් දෙදෙනකුට ලොකු ගැටලූවකට මුහුණ දෙන්න සිදු වුණා. මේ නිලධාරීන් දෙදෙනා තමයි ටැල්මන් මාකෝ සහ අයිගර් මැගසිනික්. ගැටලූව තමයි ටෙලාවිස් නගරයේ ආරක්ෂක සේවයේ යෙදී ඉන්න අතරේ තම තමන්ගේ රටවල ඉන්න පවුල්වල අය එක්ක කතාබහ කරන්න අධික මුදලක් වැය වීම. මේ දෙදෙනා අන්තර්ජාලය උපයෝගී කර ගෙන ජංගම දුරකථනය හරහා ඇමතුම් ගතහැකි ක‍්‍රමයක් ගැන අත්හදා බැලූවා. ඒ අත්හදා බැලීමේ ප‍්‍රතිඵලය තමයි වයිබර් සන්නිවේදන ජාලය. අද වෙද්දී ‘‘වයිබර්’’ සේවය ලබා ගන්නා ලියාපදිංචි පුද්ගලයන් ගණන මිලියන 900 ඉක්මවනවා. වයිබර් සමාගම තමන්ගේ ආදායම සරිකර ගන්නේ වයිබර් ස්ටිකර් අලෙවි කිරීමෙන් විතරයි. මේ විදියට ඔවුන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක විතර ආදායමක් උපයනවා. වයිබර් සමාගමේ සේවකයින් 120 දෙනෙක් සේවයේ යෙදෙනවා.

දුලාංජලී මුතුවාඩිය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.