lakbima.lk

ඉතිහාසය නිර්මාණය කොට සමුගත් සැබෑ ඇමෙරිකානුවා ජෝන් මැකේන්

ඒ බරක් ඔබාමා ඇමෙරිකාව පාලනය කරන සමයේ  අන්තර්වාර මැතිවරණයක් පැවැති කාලයයි. මේ කියන දිනවලම ඇමෙරිකාවේ පැවැත්වෙන එඩ් ආර්. මරෝ වැඩ සටහනට සහභාගිවෙමින් සිටි මට ඇරිසෝනා ප්‍රාන්තයේ වෝල්ටර් කේ‍රාන්කයිට් මාධ්‍ය විදුහ‍ලේදී දැනගන්නට ලැබුණේ ඇරිසෝනා සෙනෙට් සභිකයෙකු මෙන්ම බරක් ඔබාමා සමග 2008 වසරේ ජනපති පුටුවට තරග වැදුණු ජෝන් මැකේන් අසල නගර ශාලාවට පැමිණි සිටින බවය. මැකේන් ගැන බොහෝ කතා අසා තිබූ හා මා ප්‍රියකරන චරිතයක්දවන ඔහු දැකගෙන කතාකරන්නට මට අවස්ථාව පෑදුණේ ඒ වනවිට බොහෝ හිතවත්ව සිටි මැතිව් ටේ‍රාටර් ඇතුඵ මාධ්‍ය විදුහ‍ලේ සිසු, සිසුවියන් නිසාය. මැකේන් බලන්නට ආසයි කියු මා එහි ගෙනගියේ ඔවුන්ය. මේ මතකය සිතුවම්පටක් මෙන් යළි දිගහැරුණේ  වයස අවුරුදු අසූඑකේදී මේ සුප්‍රකට ඇමෙරිකානුවා මිය ගිය පුවත ඇසුණු විටය.

මැකේන්ට වැලඳී තිබුණේ මොළයේ පිළිකාවක් වුවද ඔහු මියගියේ පිළිකාවට ප්‍රතිකාර ගැනීම නැවැත්වීම හේතුවෙනි.වසරකට පෙර ඇසකට උඩින් තිබූ ‍ලේ කැටිත්තක් ඉවත්කිරීමට ගිය වෛද්‍යවරු මැකේන්ට මොළයේ පිළිකාවක් ඇති බව සොයාගත්හ. එතැන් සිට ප්‍රතිකාර ඇරඹුණද වේගයෙන් පැතිරයන පිළිකාව පරාජය කිරීමට තමාට නොහැකි බව දැනගත් විට මැකේන් ප්‍රතිකාර ලබාගැනීම නතර කරන්නට තීරණය කොට තිබුණි.ඇරිසෝනාවේ තම ගොවි‍පොළ නිවසේදී පවු‍ලේ සාමාජිකයන් ඉදිරියේ ජීවිතයෙන් සමුගත් ජෝන් මැකේන් වෙනුවෙන් ධවල මන්දිරයේ හා සෙසු ප්‍රධාන ගොඩනැගිලිවල ධජ අඩකුඹු කෙරුණේ ඇමෙරිකාවට සුවිශේෂ චරිතයක් පමණක් නොව ඔහු පාලක රිපබ්ලිකන් පක්ෂයේද ‍‍‍ජ්‍යෙෂ්ඨතම සාමාජි කයෙක් වූ බැවිනි. මැකේන් හයවරක් සෙනෙට් සභිකයෙකු ලෙස පත්ව තිබේ.

ජෝන් මැකේන්ගේ ජීවිතයේ තවත් නොමැකෙන සලකුණක් වන්නේ වියට්නාම යුද්ධයට සහභාගි වීමය. එවකට නාවුක හමුදා සාමාජිකයෙක් වූ ඔහු වියට්නාම යුද්ධයේදී සතුරන්ගේ අත්අඩංගුවට පත් වූ අතර වසර හයක පමණ කාලයක් අත්අඩංගුවේ සිටියදී ලක් වූ විවිධ වධ බන්ධන හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයන් ඔහු තුළ විය. ඔහුගේ සීයා මෙන්ම පියාද තරු හතරේ නාවුක හමුදා ජෙනරාල්වරුන්ය. දේශපාලනයට පැමිණ පසුකලක බරක් ඔබාමා සමග ජනපති පදවියට තරග වැදුණු ඔහුගේ උප ජනපති ලෙස තරග වැදුණේ සේරා පේලින්ය. මැකේන්ගේ පරාජයට සේරාද වගකිවයුතු බව දේශපාලන විචාරකයන්ගේ අදහස වූ අතර ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු ඇසුරින් හොලිවුඩ් චිත්‍රපටයක්ද නිර්මාණය වුයේ කතාකළ යුතු බොහෝදෑ ඒ තුළ තිබූ නිසාමය. කෙසේවුවද තම මරණය නියත බව දැනගත් පසු මැකේන් තම අවමංගල්‍යයේ කතාවක් කිරීමට ඔබාමාට ආරාධනා කොට තිබිණි. මෙය බොහෝ දෙනෙකුගේ විමතියට හේතුවක් වූයේ ජනපති පදවියට කිසිසේත්ම සුදුසු නොවන පුද්ගලයෙකු ලෙස මැකේන් විසින් ජනපතිවරණ ප්‍රචාරක සමයේදී බරක් ඔබාමාව දැඩි ලෙස විවේචනය කර තිබිම හේතුවෙනි. මැකේන් තවත් කතාවක් සඳහා ආරාධනා කොට තිබුණේ දේශපාලන විරුද්ධවාදියෙකු වූ ජෝර්ජ් බුෂ් ටය. බුෂ් පළමුවරට ජනපති පදවිය සඳහා තරග කරන අවස්ථාවේ ඔහු සමග අපේක්ෂකත්වය සඳහා තරග කළේ මැකේන්ය. පසුව ඔහු බුෂ්ට සහයෝගය පළකරමින් ඡන්ද ව්‍යාපාරයට එක්විය. ඔබාමා මෙන්ම බුෂ්ද පිළිකාව සමග සටන්කරමින් සිටි මැකේන් බලන්නට ආ විශාල පිරිස අතර විය. රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු වුවද ඔහු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව තදින්ම විවේචනය කළේය. රුසියාව හා ට්‍රම්ප් සම්බන්ධ ඔහුගේ ඇති අකැමැත්ත මැකේන් අවසන් මොහොතේත් පළකොට තිබුණේ තම සිරුර රැගත් පෙට්ටිය ඔසවාගෙන යන අය අතරට රුසියාවෙන් පලාවිත් ඇමෙරිකාවේ පුරවැසි බව ලබාගත් අයෙකු තෝරා ගැනීමෙනි.

1936 වසරේ අගෝස්තු විසිනවවැනිදා උපත ලැබූ ජෝන් සිඩ්නි මැකේන් 1987 සිට මියයනතුරුම සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කළේ ඇරිසෝනා ප්‍රාන්තයේය. නමුත් නාවුක හමුදා නිලධාරියෙකු වූ ඔහුගේ අවසන් කටයුතු හා භුමදානය සෙනසුරාදා (1 වැනිදා) සිදුවන්නේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි නාවුක හමුදා ඇකඩමියට අයත් සුසාන භුමියේදීය. 1967 වසරේ වියට්නාම යුද්ධයේදී යු.එස්.එස්. ෆොරස්ටල් නෞකාවේ සිටියදී එහි ඇති වූ ගින්නකට හසුවීමෙන් ඔහු දිවිබේරා ගත්තේ අනුනමයෙනි. එම වසරේම ඔහුගේ යානය සතුරු ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ මැකේන් සතුරන්ගේ අත්අඩංගුවට පත්වූයේ ඒ අවස්ථාවේදීය. 1981 වසරේදී කපිතාන්වරයෙකු ලෙස නාවුක හමුදාවෙන් විශ්‍රාම ලැබූ ජෝන් මැකේන් ඇරිසෝනා ප්‍රාන්තයට පැමිණියේය. ඔහුගේ දේශපාලන ගමන ඇරඹුණේ එතැන් සිටය. තම පක්ෂය තුළ ඔහු වඩාත් ප්‍රකට වූයේ බොහෝ තීන්දු තීරණවලට විරුද්ධ වන්නෙකු ලෙසය. පසුකලක වියට්නාමය හා ඇමෙරිකාව අතර තානාපති සබඳතා ගොඩනැංවීමෙහිලා ඔහු කැපී පෙනෙන කාර්යභාරයක් දේශපාලකයෙකු ලෙස ඉටුකළේය.

මැකේන්ගේ පළමු විවාහය සිදුවූයේ රොනල්ඩ් රේගන් පාලන සමයේ ධවල මන්දිර අමුත්තන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ කැරොල් ෂෙප් සමගය. ඇය ඊට පෙර විවාහ වී සිටියේ නාවුක හමුදාවේ ඔහුගේ සගයෙකු සමග වීම විශේෂත්වයකි. 1965 වසරේදී මැකේන් හා කැරොල් අතර විවාහය සිදු වූ අතර එම විවාහයෙන් ඔවුන්ට සිඩ්නි නමින් දියණියක් වෙයි. කැරොල්ගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාද තම භාරකාරත්වයට මැකේන් විසින් ගත් අතර එම විවාහය 1980 දී දික්කසාදයකින් කෙළවර විය. මැකේන් දෙවනවරට විවාහ වූයේ තමාට වඩා වසර දහ හතකින් බාල ව්‍යාපාරික කාන්තාවක වූ සිඩ්නි හෙන්ස්ලි සමගය. එම විවාහයෙන් දරුවන් සිව්දෙනෙකි. ඉන් එක් දියණියක වන මේගන් මැකේන් තීරු ලිපි රචිකාවක, ‍ලේඛිකාවක හා රූපවාහිනි මාධ්‍යවේදිනියක ලෙස ප්‍රකටය.

තම මරණයෙන් පසු ප්‍රකාශයට පත්කරන ලද ලියැවිල්ලෙහි ඇති මෙම කියම න්වලින් මැකේන් තුළ ජීවත් වූ දේශප්‍රේමි ඇමෙරිකානුවා පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.

“අපගේ වත්මන් දුෂ්කරතාවලින් අධෛර්යයට පත්නොවී ඇමෙරිකාවේ ‍පොරොන්දු හා එහි දැවැන්ත බව ගැන විශ්වාසය තබන්න. මෙහිදී කළ නොහැක්කක් නොමැත. ඇමෙරිකානුවන් කිසිදිනක උත්සාහය අත්නොහරින පිරිසකි.අප කිසිදිනක යටත් නොවෙමු.ඉතිහාසයෙන් කිසිදිනෙක නොසැඟවෙන අප ඉතිහාසය නිර්මාණය කරන ජනතාවකි''

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.