lakbima.lk

2050 වනවිට මුහුද යටට යන නගරය ඉන්දුනීසියාවේ ජකර්තා

ලෝකයේ වේගයෙන්ම ගිලා බසිමින් ඇති නගරය බවට ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය පත්ව ඇති අතර ඒ පිළිබඳව යොමු වන අවධානය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. නගරයෙහි ඇතැම් පෙදෙස් වසරකට සෙන්ටිමීටර් 25 බැගින් ගිලා බසිමින් ඇති බව පැවැසෙන අතර පසුගිය වසර 10ක කාලය තුළ මීටර් 2 කින්, එනම් අඩි 6කට වැඩි ප්‍රමාණයකින් ගිලා බැස ඇති බව සොයා ගෙන තිබේ. මෙය සුළුපටු කාරණයක් නොවන බව මෙම ගණන් හිලව්වලින්ම පැහැදිලි වේ. උතුරු ජකර්තා ප්‍රදේශය මේ ආකාරයෙන් විශාලම අභියෝගයට මුහුණ දී ඇති ප්‍රදේශයයි. ලක්ෂ 40 ක පමණ ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශය තව වසර කිහිපයක් යනවිට සම්පූර්ණයෙන්ම ජලයෙහි ගිලීයනු ඇති බව භූවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ නිසා මෙම නගරය බේරා ගැනීමට ඉක්මනින් යම් සැලැස්මක් ක්‍රියාත්මක නොකළහොත් එය බේරා ගැනීමට නොහැකිවන තත්ත්වයට පත්වනු ඇති බව ඔවුහු ප්‍රකාශ කරති. තව දශක කිහිපයකින් මුළු නගරයම ‍පොළොව තුළ ගිලී අතුරුදන්ව යනු ඇති බවට මෙම විද්‍යාඥයෝ අනතුරු අඟවමින් සිටිති. මේ වනවිටත් සමහර තට්ටු ගොඩනැගිලිවල බිම්මහල් ඇත්තේ අඩක් ‍පොළොවේ ගිලී ගොසිනි.

ජකර්තා නගරය මෙවැනි ඉරණමකට මුහුණ දීමට ප්‍රධාන හේතුව ලෙස පැවැසෙන්නේ නගර වැසියන්ට ජලය සපයන නළ ජල පද්ධති හිඟකමයි. මෙම නගරයෙ මිලියන 10 ක පමණ ජනගහනයක් වාසය කරන අතර ඔවුන් ජලයලබා ගන්නේ ළිංවලිනි. මෙම ළිංවලට ජලය සැපයෙන, ‍පොළොව යට ඇති ජලකුහරවල ජලය හිස් වීමෙන් පසු නැවත ඒවාට ජලය පිරෙන මාර්ග අවහිර වී ඇති බව සොයා ගෙන තිබේ. එවිට සිදුවන්නේ එයට ඉහළින් ඇති බිම එතුළට ගිලා බැසීමයි. ජලයෙන් හිස්වන කුහරවලට නැවත ජලය පිරීම වළකන ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙම කලාපයට වැටෙන වර්ෂාපතනයෙහි පවතින මඳ බවයි. ජකර්තා නගර ප්‍රදේශයට වසරකට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍යයෙන් අඟල් 60ක පමණ ඉතා අඩු අගයක් ගනියි. නමුත් මෙම වර්ෂාපතනයෙන් ලැබෙන ජලය පවා ‍පොළොවට උරා ගැනීම වැළකෙන්නේ නගරය පුරාම, නිවාස සහ වෙනත් ගොඩනැගිලි නිසා කොන්ක්‍රීට් පුරයක් බවට පත්ව තිබිම නිසාය. මේ නිසා ජලය ‍පොළොවට උරා ගැනීම වැළකී යාමට අමතරව ‍පොළොවට වැඩි වැඩියෙන් බර එකතු වීමද විනාශය තවත් ඉක්මන් කරන්නකි. මෙම තත්ත්වය මත සිදුවන්නේ වැසි ජලය විශාල ප්‍රමාණයක් ගංගාවලට ගලා යාමයි. ජකර්තා නගරය මැදින් ගංගා දහතුනක් ගලා යන අතර වැසි කාලයේදී නගරය නිතර ගං වතුරට යට වන්නේ අර්බුදය තවත් දරුණු අතට හරවමිනි.

 උතුරු ජකර්තාවේ ඇතැම් ප්‍රදේශ මේ වනවිට කෙතරම් දුරකට ‍පොළොව යටට ගිලා බැස ඇත්ද කියතොත් දැන් එම ප්‍රදේශ පවතින්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4 කටත් වඩා පහතින් බවද සඳහන් වේ. මේ නිසා මුහුදු ජලය නගරය තුළට කඩා වැදීම දැවැන්ත ගැටලුවක් බවට පත්ව තිබේ. මෙය වැළැක්වීම සඳහා කලකට පෙර විශාල බැම්මක් ඉදිකළද එයද ගිලා බැසීමට පටන් ගැනීමෙන් තත්ත්වය වඩාත් දරුණු විය. පසුව ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක වියදමින් තවත් විශාල බැමි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා සැලැස්මක් සකස් විය. නමුත් පසුගිය දෙසැම්බරයේ එයද අත්හැර දමා මේ වන විට එයට වඩා වියදම් අඩු ව්‍යාපෘතියක ඉදි කිරීම් ආරම්භකර ඇති බව සඳහන් වෙයි. කෙසේ නමුත් මෙවැනි බැමි හුදෙක් පැලැස්තර පමණක් බවත්, මෙම විනාශයට හේතු වන මූලික තත්ත්වයන්ට මේවායින් විසඳුම් නොලැබෙන බවත් බොහෝදෙනා පෙන්වා දෙති. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් වසර 2050 වනවිට නගරයෙන් සියයට 95ක් පමණ සම්පූර්ණයෙන් ජලයෙහි ගිලීයනු ඇති බවට මේ වන විට අනාවැකි පළවෙමින් තිබේ.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.