lakbima.lk

පාකිස්තාන අගමැතිගේ නොදන්න කතා

මෙම ලිපිය ලියන විට පාකිස්තානයේ 19 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන හිටපු ක‍්‍රිකට් නායකයෙකු සහ තෙහෙරක් ඉ ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන්  දිවුරුම් දීමට නියමිතව තිබේ. මේ වනවිට 65වන වියේ පසුවන ඔහු පාකිස්තාන ජාතික ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩා කළ හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරින් කෙනෙකු ලෙස ද නමක් දිනා සිටියෙකි.
දේශපාලන දිවියේ දී ඉතා මන්දගාමී වූ නමුත් සාර්ථක ගමනක් යමින් පවතින ඉම්රාන් තරුණ වියේ දී නාහෙට නාහන තරුණයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය. සුඛපරම  ජීවිතයක් ගත කිරීමේ මහත් ආශාවකින් පෙළුණු ඔහු සිය ජීවිතයේ පළමු වරට පෙම්වතියක හිමිකර ගනු ලබන්නේ වයස අවුරුදු 14 දීය. ඒ මිතුරන් සමග රාත‍්‍රී සමාජශාලාවලට යෑමේ දී දැන හඳුනා ගන්නා තරුණියකි. වයස අවුරුදු 18 වනවිට ඔහු පෙම්වතියන් රැසක් ඇසුරු කර තිබිණි.
1987 වසරේ දී ඔහුට මුණ ගැසෙන සීනා වයිට් ද ඉම්රාන්ගේ පෙම්වතියන්ගෙන් කෙනෙකි. ඇය බි‍්‍රතාන්‍යයේ හල්හිබාරොන් වයිට් පවුලේ ගෝඞ්න් වයිට් සාමිවරයාගේ දියණියයි. ඉම්රාන් සීනා සබඳතාව වසර හයක් පුරා පැවැති අතර වයිට් පවුල විසින් ඉම්රාන්ඛාන්ට එරෙහිව නඩුවක් ගොනු කළේය. එ් ඔහුට දාව සීනා වයිට් බිහිකරන්නට සිටි දරුවාගේ පීතෘත්වය ඉම්රාන් විසින් ප‍්‍රතික්ෂේප කිරීම  අවස්ථා කීපයකදීම ඔහු විසින් ඇයට අපහාස කර තිබූ අතර ඇගේ කුසේ සිටින්නේ තම දරුවා නොවන බව ද පවසා තිබිණි. වරක් හොර රහසේ සීනා මුණගැසුණු ඉම්රාන් දරුගැබ විනාශ කර දමන්නට ද ඇයට යෝජනා කළ බවද ඇය එයට එකග නොවීම නිසා මෙම සබඳතාව ඉම්රාන් විසින් නතර කළ බවටද කටකතා පැතිරිනි.
 1992 වසරේ ජුනිමස 15 වැනි දා සීනා දියණියක ප‍්‍රසූත කළ අතර ඇය ටයිරන් ජේඞ් ලෙස නම් කෙරිණි. මෙම සිදුවීමෙන් පසුව වයිට් පවුල ඉම්රාන්ට විරුද්ධව නඩුවක් ගොනු කළ අතර එහිදී ටයිරන්ගේ පියා ඉම්රාන් බව ඔප්පු වුව ද ඇගේ අයිතිය සීනා වයිට් වෙතම ලබාදෙනු ලැබිණි. සීතා සිය දියණියගේ නමට ඔහුගේ වාසගම පවා නොදැමීමට වග බලා ගත්තාය.
1995 වසරේ මැයි මාසයේ 43 හැවිරිදිවූ ඉම්රාන් 21 හැවිරිදි බි‍්‍රතාන්‍ය යුවතියකවූ ජෙමීමා ගෝල්ඞ්ස්මිත් සමග විවාහවිය. මෙම විවාහය සිදුවූයේ ප‍්‍රංශ දේවස්ථානයක පැවැති විනාඩි දෙකක දේව මෙහෙයකින් පසුවය. ඉන් මාසයක් ගත වූ පසු ඉම්රාන් සහ ජෙමීමා බි‍්‍රතාන්‍යයේ පවත්වන ලද උත්සවයකින් පසු නීත්‍යානුකූල විවාහ දිවියට එළැඹුණහ. ඉන්පසු ජෙමීමා ඉස්ලාම් දහම වැලඳ ගත්තාය. මෙම යුවළ සුලෙයිමාන් සහ කසීම් නම් වූ පුතුන් දෙදෙනෙකුගේ මව්පියන්ය. මාධ්‍යවේදිනියක සහ රූපවාහිනී නිවේදිකාවක වූ ජෙමීමාට පාකිස්තානයේ ජීවත් වෙමින් සිය වෘත්තිය කරගෙන යාමේ බාධක පැන නගින්නට වූයේ ඇය ඒ වනවිට ඉස්ලාම් බැතිමතියක බවට පත්ව සිටි බැවිනි. මේ නිසාම වසර නවයක විවාහ ජීවිතයට තිත තැබූ ඇය ඉම්රාන්ගෙන් වෙන්වන්නට තීරණය කළාය.
ඉන් වසර 11කට පසු ඉම්රාන් වෙනුවෙන් නැවත වරක් මංගල සීනු හැඩවිණි. ඒ ඔහු සහ බි‍්‍රතාන්‍ය පාකිස්තානු සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක වූ රෙහානා ඛාන්ගේ විවාහය නිසාය. 2015 වසරේ ජනවාරි මාසයේ විවාහ වූ ඔවුන් එම වසරේම ඔක්තෝබර් මාසයේ දික්කසාද වූහ.
ඉන් අනතුරුව ඉම්රාන් ඛාන්ගේ ජීවිතයට එකතු වූයේ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව වූ බුෂ්රා මනේකාය. 2016 වසරේ සිට ඔහුගේ අධ්‍යාත්මික උපදේශිකාව වූ බුෂ්රා සමග ඉම්රාන් විවාහ වූයේ 2018 වසරේ ජනවාරි මස පළමුවෙනි දාය. බුෂ්රා දියණියන් දෙදෙනකුගේ සහ පුතෙකුගේ මවක වන අතර ඇගේ සැමියා කාවර් ෆරීඞ් මනේකා මේ වනවිට දරු තිදෙනා ද සමග බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටී. ඉම්රාන් සිය සමීපතමයන්ට පවසා ඇත්තේ ඔහුගේ මෙම ජයග‍්‍රහණයට හේතුව සිය බිරිඳ බුෂ්රා විසින් ගෙන එන ලද වාසනාව බවයි.

 දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.