lakbima.lk

හිට්ලර් නිසා අපූරු හෝටලයකුත් නිර්මාණය වූ බව ඔබ දන්නවාද?

ඇඩොල්ෆ් හිට්ලර්! මේ නම කියූ විගසින් බොහෝ දෙනෙකු තුළ ඇතිවන්නේ යහපත්, ප‍්‍රසන්න හැඟීමක් නම් නොවෙයි. එ්, ලෝක ඉතිහාසය තුළ ඔහුට හිමි වී තිබෙන අපකීර්තිමත් නාමය නිසයි. එවන් අපකීර්තියක් ලබන්නට හේතු වුණු එක් කරුණක් නම් පිරිසිදු ජර්මනියක් බිහිකිරීම වෙනුවෙන් එ් රටේ විසූ අහිංසක යුදෙව්වන් දහස් ගණනක් හිට්ලර්ගේ අණෙන් කෲර ලෙසින් ඝාතනය වීමයි. ශිෂ්ට සම්පන්න ලෝකය මේ කි‍්‍රයාකාරකම් කිසිවක් අදටත් අනුමත කරන්නේ නැහැ.

නමුත් හිට්ලර් ලෝකයට දායාද කර තැබූ ඇතැම් දේවල් අදටද අපට ඉතාමත් ප‍්‍රයෝජනවත්. මේ කතාව ඔප්පු කරන්නට ඉදිරිපත් කරන්නට පුඵවන් එක් නිදසුනක් තමයි ජර්මනියේ ”ප්රෝරා” ගොඩනැගිල්ල.

බෝල්ටික් සාගරයේ පිහිටි ජර්මනියට අයත් රුගේන් දුපතේ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන්නට 1939 දී හිට්ලර් මුලපිරුවා. මෙය ඉදිකෙරුණේ හිට්ලර්ගේ නාසි හමුදාව විසින්. ගඩොල් හා කොන්ක‍්‍රීට්වලින් තැනූ මෙහි දිග මීටර් 4500 කට ආසන්නයි. ‘ප්රෝරා’ නම් වූ මෙය ලෝකයේ තිබෙන දිගම ගොඩනැගිලිවලින් එකක්.

මෙය යොදාගැනුණේ හිට්ලර් ක‍්‍රියාත්මක කළ ‘සතුට තුළින් ශක්තිමත් වීම’ නම් ප‍්‍රචාරක වැඩසටහනට සහභාගි වූ ආරාධිතයින් 20,000 කට පමණ සුවපහසුකම් ඇතුව නතර වී සිටින්නටයි. 2 වැනි ලෝක යුද්ධය පටන් ගැනීමත් සමග මේ ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් කටයුතු අතරමග නතර වුණා. කාලයක් මේ ගොඩනැගිල්ල යුද්ධයෙන් අවතැන් වූවන්ගේ නවාතැන්පොළක් හැටියටද පැවැතුණා.

අවුරුදු 70 ක් පමණ මේ ගොඩනැගිල්ල තිබුණේ කිසිවෙකුගේ හෝ අවධානයක් නැතිවයි. මේ කාලය තුළ ගොඩනැගිල්ල කිසිම අලූත්වැඩියාවක් නැතිව ගරාවැටෙමින් තිබුණා.

මේ අතර 2013 දී ජර්මානු  දේපළ වෙළෙඳ සමාගමක් මේ ගොඩනැගිලි සංකීර්ණය මිලදී ගෙන අලූත්වැඩියා කරන්නට පටන් ගත්තා. 2016 දී එ් කටයුතු අවසන් වුණා. අද මේ දැවැන්ත ගොඩනැගිල්ල සියලූම පහසුකම්වලින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක්, මහල් නිවාස සංකීර්ණයක් මෙන්ම තරුණයන් සඳහා වන නේවාසිකාගාරයක් බවට අද එය පත්වී අවසන්. දැන් මෙය හැඳින්වෙන්නේ ‘ප්රෝරා හෝටලය’ නමින්.

සංචාරක ආකර්ෂණය දිනාගන්නට හේතුවන අංග රැසක් මේ හෝටලයට එක්කර තිබෙනවා. මෙහි සිට බෝල්ටික් මුහුදේ අසිරිය හොඳින් විඳගන්නට පුළුවන්. මේ හෝටලය ඉදිවීම ගැන ජර්මානුවන් නම් සතුට පළකරනවා. එ් අතර තවත් කොටසක් මේ හෝටලයට පිවිසීම පවා ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඊට හේතුව දරුණු නාසි හමුදාව මේ ගොඩනැගිල්ල ඉදිකර තිබෙන නිසයි. එ් කෙසේ වෙතත් දකින සැමගේ නෙත් සිත් ඇදගන්නා ‘‘ප්රෝරා’’ හෝටලය අනාගතයේදී ලෝකයේ සංචාරක ආකර්ෂණය වඩාත් හොඳින් දිනාගන්නා තැනක් වන බවට නම් සැකයක් නැහැ.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.